මං තමයි ඒ ගෙදර වැඩකාරකම් කළ කෙල්ල. ලොකු නෝනට කඩේ ගියේ මං. උයන්න එළවලු කැපුවේ මං. කෙටියෙන්ම කියනවා නම් ලොකු නෝනගේ යට ඇඳුමේ ඉඳලම සෝදපු කෙල්ල මං.
අපේ තාත්තා මාව ලොකු නෝනා ළඟ නතර කළේ මං ඕලෙවල් ඉවර වුණ ගමන්මයි. ඒකට හේතුව අපේ දුප්පත්කම වගේම මට කාත් කවුරුවත් නැති වුණ එක.
අපේ ගමේ ඉඳන් ගම් දෙකක් විතර දුරින් තිබුණු ලොකු නෝනලා අපේ දුරින් නෑදෑයෝ වෙනවා කියලා තාත්තා දවසක් මං එක්ක කිව්වත් ලොකු නෝනා නම් කැමති නෑ ඒ වගේ කතාවක් නිකමටවත් කියනවට.
“උඹලා අපි නෑදෑයෝ වෙන්නේ කොහොමද. අපි මේ ගමේ හොඳ වැදගත් මිනිස්සු. උඹලා මේ එදා වේල කන්න නැතුව දුක් විඳින මිනිස්සු” ලොකු නෝනා එහෙම කියපු දවස් තිබුණා මට මතකයි.
ලොකු නෝනා සැරයි. නපුරුයි. හතර පෝයටම සිල් ගත්තට වත්තට ඇවිත් ගමේ එකෙකුට පොල් ගෙඩියක් අහුලා ගන්න දෙන්නේ නෑ.
මට හිටියේ තාත්තා විතරයි. අම්මා නැති වෙලා කියලා තාත්තා කිව්වට ගමේ අය නම් කිව්වේ අම්මා වෙන දීගෙක ගිහින් කියලා. මං ඕවා ගැන වැඩිය හාර හාර හොයන්න ගියේ නෑ. හේතුව තාත්තා මට හරි ආදරෙන් සලකනවනේ. අම්මා නැති අඩුව තාත්තා කවදාවත් දැනෙන්න දුන්නේ නෑ මට. මගේ අම්මා වුණෙත් තාත්තා.
තාත්තා ලොකු නෝනගේ වත්තේ මුර කලා කාලයක්. එතකොට මං දහය පන්තියේ විතර.
“සෝමේ කෙල්ලව මට දීපන්. ගෙදර වැඩක් කරගෙන කාලා ඇඳලා ඉන්න එකනේ. මාත් තනියමනේ මේ ගෙදර ඉන්නේ” ලොකු නෝනගේ අන්න ඒ වචනෙට නම් තාත්තට සතුටු හිතෙන්න ඇති.
ඔහොම කාලයක් ගත වෙද්දී තාත්තා අසනීප වුණා. ඒක සනීප කරන්න බැරි ලෙඩක් කියලා දොස්තර කිව්වම තාත්තා මාව බදාගෙන අඬපු තරමක්.
ඊට ටික දවසකින් තාත්තා මේ ලෝකෙන් සදහටම යන්න ගියේ මාව ලොකු නෝනට භාර දීලා. දැන් මේක තමයි මගේ ගෙදර. ලොකු නෝනා මට කියලා ගෙදර වැඩ සේරම කරව ගන්නවා වගේම මට කිසි දෙයක් අඩු කලෙත් නෑ. මට ගැහුවේ බැන්නෙත් නෑ. මං හරි සතුටින් මේ සල්ලිකාර ගෙදර ඉන්නේ.
මට තාත්තව මතක් වුණා. තාත්තගේ සොහොනට ඉඳලා හිටලා ගිහින් අරලියා මල් මිටක් තියලා එන එක මට පුරුද්දක් වෙලා. තාත්තා බලාගෙන ඇති මං එනකල්.
“මං ගියාම ලොකු නෝනා එක්ක හිටපන් මගේ රත්තරනේ” තාත්තා කියපු හැටි මට මතක් වුණා. අනේ මගේ තාත්තා.
“කෙල්ලේ උඹ අඬනවද?” ලොකු නෝනගේ කට හඬට මං කලබලෙන් ඇස් පිහදා ගත්තේ.
“න් න්..නෑ නෑ ලොකු නෝනා” එහෙම කියාගෙන මං බංකුවෙන් නැගිට්ටේ.
“අද මයෙ කොල්ලා ලංකාවට එනවා. උඹ කාමරේ එහෙම අස් කලා නේද?” ලොකු නෝනා සද්දෙට ඇහුවේ.
“ඔව් ඔව් සේරම වැඩි ටික ඉවරයි” මං එහෙම කියාගෙන හිනා වෙලා කුස්සියට ආවේ.
අද නම් රජ කෑමක් වගේ. මස්, මාළු ඩෙවල් රයිස්, ඉස්සෝ බැදෙන සුවඳ කුස්සිය පුරාම. උයන අම්මත් කඩියෙක් වගේ වැඩ.
ලොකු නෝනගේ පුතා ගෙදර ආවේ මහා රෑ. මට ඇහුණා වෑන් එකක දොරවල් ඇරෙන වැහෙන හඬ. මට කම්මැලී එළියට යන්න. ඒකයි මං බෙඩ්ෂීට් එක පොරවන් ගුලි වෙලා නිදාගත්තේ.
උදේ අවදි වෙලා ලොකු නෝනට කිරි අරගෙන එන්න පාරට ආවේ. එතකොට වෙලාව හතට විතර ඇති. අද නම් හරි සීතලයි. කොහෙද අමතක වුනාණේ ජර්සි එක දාගෙන එන්න.
කිරි බෝතලෙත් පපුවට තුරුල් කරගෙන සීතලට ගුලි වෙවී එන මං දැක්කේ මිදුලේ හිටගෙන උන්න උස මහත හැඩ පිරිමි ළමයෙක්. මෙයාද එතකොට ලොකු නෝනගේ පුතා. අපේ අම්මේ ලස්සන. නළුවෙක් වගේනේ. ලොකු නෝනා කිව්වා හරි. ලස්සන කොල්ලෙක් ලොකු නෝනට ඉන්නේ. එයා මං දිහා බැලුවත් හිනා වුණේ නෑ. හරි ආඩම්බරයි වගේ. මාත් මොකටද හිනාවෙන්නේ කියලා කුස්සිය පැත්තෙන් ගෙට ආවේ.
මං කිරි බෝතල් අරගෙන එන හැම උදේකම ලොකු නෝනගේ පුතා මං දිහා බලාගෙන ඉන්නවා මං දැක්කා. ඒ ඇස් මං වෙනුවෙන්ද මන්දා මග බලන්නේ. නෑ නෑ මට හිතුණ හැටිද කොහෙද. අමතක වුණා කියන්න මට. එයාගේ නම ඇසල කියලා මං දැනගත්තේ උයන අම්මගෙන්.
ඇසල මහත්තයා මං එක්ක කතා නොකලට, හිනා නොවුණට මං දිහා බලනවා මං දවස් ගානක්ම දැක්කා.
ඔහොම දවස් ගෙවිලා යද්දී ඇසල මහත්තයා එක දවසක් මං එක්ක කතා කලා.
“කොහෙන්ද කිරි අරගෙන එන්නේ?” ඇසල මහත්තයා අහපු ප්‍රශ්නේ.
“හඳෙන්” කිව්වා නෙමෙයි කිය වුණා මට.
කොහෙද මටත් තියෙන්නේ මහා පණ්ඩිත කටක්නේ. එයා අහක බලාගෙන හිනා වුණා මං දැක්කා. ඇති යන්තම් නපුරට තරහා නොගියා.
මගේ හැඩකාරකම්, කටකාරකම්, දඟකාරකම්, හුරතල්කම් නිසාද කොහෙද ඇසල මහත්තයා මං එක්ක හිතවත් වුණා. වෙනදටත් වඩා කතා කරන්න පටන් ගත්තා. කිරි අරගෙන එන්න යනකොට තනියටත් ආවා.
“වැඩකාර කෙල්ල එක්ක ඔයා ඕනෑවට වඩා කතාවට යන්න එපා පුතා” දවසක් ලොකු නෝනා එයාට කියන හඬ මට ඇහුණා. හරි අවුල් මගේ හිතට. ඒත් එයා වෙනස් වුණේ නෑ.
ඔහොම දවස් ගත වෙලා ගියා. ලොකු නෝනා ඇසල මහත්තයට මනමාලියෝ බලන්න පටන් ගත්තා. ඒක දැනගත්තම නම් ගොඩක් දුක හිතුණා මට.
ඇසල මහත්තයා නම් බෑ කිව්වා. ඒත් ලොකු නෝනා සැරයි.
“තාත්තා නැතුව මං ඔයාව හදන්න ගොඩක් දුක් වින්දා පුතේ” ලොකු නෝනා සැරෙන් කියලා බැරි තැන අඬලා දුක කියලා ඇසල මහත්තයාගේ හිත වෙනස් කරලා මනමාලියක් බලන්න යන්න කැමති කරවා ගත්තා.
මං එදා කාමරේට වෙලා මහ ගොඩක් ඇඬුවා. ඇසල මහත්තයා මට අහිමි වෙනවා කියන හැඟීම මාව පුච්චලා දැම්මා. ඇසල මහත්තයා මට කවදාවත් ආදරෙයි කියලා නෑ. හැබැයි එයා මට ආදරෙයි කියලා මට දැනුණා. ඒ නිසානේ මගේ තනියට පවා එන්නේ. මං හිතුවේ එහෙමයි.
බලන්න ගිය මනමාලි හරි ලස්සනයි. හොදයි. ලොකු නෝනා ඉහලින්ම කැමති වුණා කියලා මං දැනගත්තා. මං එදා රෑට කෑවෙත් නෑ. ඇසල මහත්තයත් ලොකු සතුටකින් ඉන්න වගක් නම් මට පෙනුණේ නෑ.
ඇසල මහත්තයා අකමැති වුණත් ලොකු නෝනා වෙඩින් එකට ලෑස්ති වුණා. කොහොමත් ලොකු නෝනගේ තනි තීරණ තමයි තිබුණේ.
මං ඔහේ මැරිලා වගේ දවස් ගෙව්වා.
වෙඩින් එකට දවස් දෙකකට කලින් රෑ ඇසල මහත්තයා මගේ කාමරේට ආවා.
“නිකිණි මං ඔයාට විතරයි ආදරෙයි. මට ඔයාව විතරයි ඕන. මට වෙන කෙනෙක් බඳින්න බෑ මැණික” ඇසල මහත්තයා මාව තුරුල් කරන් කියද්දී මං ඒ පපුව බදාගෙන ඇඬුවා. අනේ මාත් බලාගෙන උන්නේ එයා ආදරේ කියනකල්නේ.
“අපි දුරකට යමු නිකිණි. මට ඔයාව බලාගන්න පුළුවන්” ඇසල මහත්තයා කොච්චර පෙරැත්ත කලත් මට ලොකු නෝනට පිටින් යන්න බැරි වුණා. තාත්තා නැති මාව බලා ගත්තේ ලොකු නෝනනේ. ලොකු නෝනගේ හිත රිද්දන්න හයියක් නැති වුණා මට.
“අනේ මට සමාවෙන්න ඇසළ මහත්තයා. මට සමාවෙන්න” එහෙම කියනවා හැර මට වෙන කියන්න දෙයක් නැති වුණා.
ඇසල මහත්තයාගේ වෙඩින් එක හෙට. අදත් ඇසල මහත්තයා මට කොහේ හරි ඈතකට යන්න කතා කළා. මං බෑ කියලා ඇඬුවා විතරයි.
හෙට ඇසල මහත්තයා මට අහිමි වෙන හැටි කොහොමද දෙවියනේ මං බලාගෙන ඉන්නේ. ඒ තරම් හයියක් නෑ මගේ හිතට. මං ඒ තරම් ඇසල මහත්තයාට ආදරේ කළා.
උදේ ගෙදරම මගුල් සිරියයි. මගේ පපුව පිච්චෙනවා. ඇසල මහත්තයා වෙන කෙල්ලෙක් එක්ක මනමාලයෙක් වෙලා ඉන්න හැටි බලන්න බෑ මට. මගේ පපුව පැලේවි.
උදේ ඇහැරුණ මං ඇඳුම් කෑලි දෙක තුනක් බෑග් එකට දාගෙන එළියට ආවේ කොහේ හරි යන්න හිතාගෙන. මං තාත්තගේ සොහොනට ගිහින් අරලිය මල් ටිකක් තියලා මොනරාගල බස් එකකට ගොඩ වුණා. කොළඹ ඉඳන් මොනරාගල කියන්නේ සෑහෙන දුර.
මොනරාගල ටවුන් එකෙන් බැහැපු මං ජොබ් එකක් හොය හොයා ටවුන් එක පුරා ඇවිද්දා. නොදන්න පැත්තක් වුණත් බය හිතුණේ නෑ මට. ඇසල මහත්තයා අහිමි වුණ දුක විතරයි හිතේ හැම තැනකම තිබුණේ.
කඩවල් දෙක තුනකින් රස්සා තියෙනවද කියලා අහලා මං ගෙදරක වැඩට ආවා. ඒ ගෙදර හිටියේ ඇන්ටි කෙනෙක්. රෝද පුටුවක උන්න ඇයව බලා ගන්න විතරයි මට තිබුණේ. ඊට පස්සෙ මං ඒ ගෙදර වැඩකාරී වුණා.
කවදාවත් බඳින්න අදහසක් මට තිබුණේ නෑ. වෙන කෙනෙකුට ආදරේ නොහිතෙන තරමට මං ඇසල මහත්තයාට ආදරේ කළා. ඔව්, මං ඇසල මහත්තයා නමින් සදහටම තනි වුණා.
වැඩ කරලා සල්ලි එකතු කරන් මං මොනරාගල ටවුන් එකෙන් ඇතුල් පාරක පොඩි ඉඩමක් අරන් ගෙයක් හදා ගත්තා. ඔව් මට ඒකට උදව් කළේ මං බලා ගන්න ඇන්ටිගේ පුතා.
වයසට ගිහින් ඇන්ටි නැති වුණට පස්සේ මං මගේ ගෙදර තනියම ජීවත් වුණා. කාලය මාව තනිකමට හුරු කරලා තිබුණා. අදත් මගේ හිතේ ඉන්න එකම කෙනා ඇසල මහත්තයා. අනේ එයාට මං අදත් හරි ආදරෙයි.
මං ටවුන් එකට ආවා. වෙනදා වගේ හයිය හත්තිය නෑ දැන් මට. ටවුන් එකට ආපු මං දැක්කේ ඇසල මහත්තයා වගේම ලස්සන පිරිමි ළමයෙක්.
“ඇසල අයියේ.. ඇසල අයියේ” අනේ මං එයාට කතා කරගෙන පස්සෙන් දුවගෙන ආවා.
“ඇයි ආච්චි?” ඒ පිරිමි ළමයා ඇස් ලොකු කරන් ඇහුවේ. දෙයියනේ! කාලය ඒ තරම් ගත වෙලාද.
“අනේ සමාවෙන්න පුතේ. මං රැවටුණා” එහෙම කියපු මං ගෙදර ආවේ අඬ අඬා.
ඇසල මහත්තයා මහා ගොඩක් මතක් වුණා. දැන් නම් ලොකු නෝනලා එහෙම නැති වෙලා ඇති. ඔව් දැන් අවුරුදු ගානක් ගත වෙලානේ. මට දැන් අවුරුදු පනහක්. කාලය කොච්චර නම් ගෙවිලා ගිහින්ද.
කොළඹ ගියා නම් මට ඇසල මහත්තයා බලන්න තිබුණා. එයත් මං වගේ වයසට ගිහින් ඇති. එයාට නම් දරුවොත් ඇති.
මං කොළඹට යන්න බස් එකට ගොඩ වුණා. හිත අස්සේ තාම අර පුංචි කෙල්ල ජීවත් වුණ නිසාද කොහෙද මගේ බඩ පපුව ගැහෙනවා.
පැය ගානක ගමනාන්තය මං කොළඹට ආවා. අදත් එදා වගේම පාරවල් මතකයි මට.
මං ලොකු නෝනගේ ගෙදරට ආවා. අනේ සේරම පාළුවට ගිහින්. ගෙදර කවුරුත් නැති ගානයි. ඇසල මහත්තයා බැඳලා රට ගිහින්වද්ද. අනේ මට එහෙමත් හිතුණා.
හායි ගාලා ඇරලා දාලා තිබුණ ගේට්ටුවෙන් මං ඇතුළට ආවා. මාස ගානකින් මිදුල අතු ගාලා නෑ වගේ. කොළ පිරිලා. සර සර හඬ අතරින් මං ඉස්තෝප්පුවට ගොඩ වෙලා ඇවිත් බලද්දී දැක්කේ පොල් ගෙඩියකුත් කිහිල්ලේ ගහගෙන යන්න හදන මං වගේම වයසක උන්දැ කෙනෙක්.
“මේ ඇහුණද..” මං ඇයට කතා කලාම ඇය පොල් ගෙඩිය බිම දාලා විගහට යන්න හැදුවේ.
“ඉන්න ඉන්න නවතින්න” මං කලබලෙන් කියද්දී ඇය බයාදු විදියට මං දිහා බල බලා ළං වුණා මට. මං ඇස් දෙක පුංචි කරලා ඇය දිහා බැලුවේ.
“ලොකු නෝනා දැන් ගෙදර නැද්ද?” මං හෙමිහිට ඇහුවේ.
“ලොකු නෝනා නැති වෙලා දැන් අවුරුදු විස්සකටත් වඩා වැඩියි” ඇය හෙමිහිට කිව්වේ.
“එතකොට ඇසල මහත්තයා?” ඒ නම කියද්දිත් පපුව හිරි වැටිලා යනවා.
“ඇසල මහත්තයා නැති වෙලත් දැන් අවුරුදු තිහකට කිට්ටුයි. දැන් මේ ගෙවල් පාළුවට ගිහින්” ඇය එහෙම කිව්වම මං ගල් ගැහුනා.
“නැති වෙලා” මං තනියම මුමුණපු හඬ ඇයට ඇහුණද මන්දා.
“ඔව් ඇසල මහත්තයාගේ වෙඩින් එක දවසෙමයි ඇක්සිඩන්ට් එකකින් ඇසල මහත්තයා නැති වුණේ” ඇය බර හඬකින් කිව්වේ. මං එතනම බිම වාඩි කෙරවුණා. දෙයියනේ! එයාට මොකද වුණේ.
“ඇක්සිඩන්ට් එකක්. ඒක කොහොමද වුණේ?” මං ඇස් පිහදාන ගමන් ඇහුවේ.
“ඇසල මහත්තයා කවුරු හරි හොයාගෙන ගිහින්. ඒ එද්දී කාර් එක හැප්පිලා කියලා තමයි දන්නේ. හරි විස්තරයක් දන්නේ නෑ මං” ඇය කල්පනාවෙන් වගේ කිව්වේ.
දෙයියනේ! එයා ගියේ මාව හොයාගෙනද. මං අඬ අඬාම ඔහේ බලාගෙන උන්නා. මං නිසාද එයාට එහෙම වුණේ.
“ගමේ සමහරු නම් කියනවා ඒක හිතලම කරගත්ත අනතුරක් කියලා. ඇත්ත නැත්ත දන්නේ ඉතින් ඇසල මහත්තයාම තමා” එහෙම කියපු ඇය යන්න ගියා.
ඇසල අයියේ. මං ගියාම ඔයාට දරාගන්න බැරි වුණාද.
පැයකට වඩා අඬපු මං දොර තල්ලු කරගෙන ඇතුළට ආවා. පුදුම පාළු ගඳක් නහයට දැනුණේ. මකුළු දැල් මූණේ හිටන් තැවරුනා. මගේ අඩි හඬට වවුල්ලු තරගෙට වගේ එහෙ මෙහේ පියාඹගෙන යනවා.
මං ඇසල මහත්තයගේ කාමරේට ආවා. මේ කාමරේට ආපු වාර ගණන මතකත් නෑ මට. අනේ අර ඉස්සර දවස්වල වගේ ඇසල මහත්තයා කාමරේ උන්නේ නෑ. නිකිණි කියලා මට කතා කළේ නෑ.
රෙදි කබඩ් එක ඇරපු මං එයාගේ ඇඳුමක් අතට ගත්තා. අනේ එයාගේ සුවඳ අදත් ඇඳුම්වල. මං තරම් ඒ සුවඳ දන්න වෙන කෙනෙක් නැතුව ඇති.
මං අඬ අඬාම ඇසල මහත්තයගේ පොත් මේසේ ඒ මේ අත පෙරලලා බැලුවා. අනේ එයාගේ ෆොටෝ ගොඩක් තියෙනවා. මං ෆොටෝ සේරම එකතු කරලා අතට ගත්තා. මතක විතරක් තියලා ඔයා යන්නම ගිහින්.
ඇසල මහත්තයගේ සුවඳ පිරුණු ඇඳුමක් අරන් මං එළියට ආවා. ඇයි මං තාම ජීවත් වෙන්නේ කියලා විතරයි මට හිතුණේ.
ගමේ කෙනෙක්ගෙන් ඇසල මහත්තයගේ සොහොන අහගෙන මං සොහොන ළඟට ආවා. අවුරුදු ගානක් ගත වෙලා තිබුණත් ගරා වැටිච්ච සොහොනේ සලකුණු තිබුණා. ටයිල් අල්ලපු සොහොනේ ඇසල මහත්තයගේ ෆොටෝ එකක් අමුණලා තිබුණා. ඒ ෆොටෝ එක කළු වෙලා පුස් බැඳිලා වගේ. මං සොහොන උඩින් ඉඳගත්තා.
“ඇසල මහත්තයා මං ආවා ඔයාව බලන්න” අනේ මං අඬ අඬාමයි කිව්වේ. මගේ කටහඬ ඇහුණ දුරක එයා හිටියේ නෑ. එහෙම හිටියා නම් නිකිණියෝ කියලා එයා මං ළඟට එනවනේ.
“මට සමාවෙන්න ඇසල අයියේ. නොකියම ගියාට මට සමාවෙන්න. මං ආයේ කවදාවත් එහෙම කරන්නේ නෑ. කවදා හරි අපි ආයේ හමු වෙයි නේද. දන්නවද ඇසල අයියේ මේ සංසාරේ තව මහා ගොඩක් දිගයි. ඒ සංසාරේ කවදා හරි අපි ආයේ මුණ ගැහෙයි. එදාට මං කවුරු එපා කිව්වත්, කාගේ හිත රිද්දන්න වුණත් ඔයාව නැති කරගන්නේ නෑ” අඬ අඬා මුමුණපු මං සොහොන් පිට්ටනිය මැදින් වැටුණ අඩි පාරේ ඉස්සරහට ආවා.
ඇසල මහත්තයගේ කට හඬ මට ඇහෙනවා.
“නිකිණි මං ඔයාට ආදරෙයි ළමයෝ” ඇස්වලට උනපු සීතල කඳුළු කම්මුල් තෙමාගෙන රූටලා පහළට වැටෙද්දී මං කනත්තෙන් එළියට ආවේ මතු සසරෙක කොහෙදි හරි මේ පුරුදු සුවඳත් එක්ක අපි ආයේ හමුවෙන්න කියලා සිය දහස් වාරයක් ප්‍රාර්ථනා කරන ගමන්.
නිමි!
