සත්‍ය කථාවක් ඇසුරිනි.)
හිමිදිරි උදෑසනම ගාල්ල සිට තමා ඇතුළු දහස් ගණන් පිරිසකුත් ගෙන කොළඹ බලා පැමිණ කොටුව දුම්රිය ස්ථානයෙ හති හරින යකඩ යකා දෙස මොහොතක් බලා සිටි පියුමි තම ජංගම දුරකථනය ගෙන ඇමතුමක් ගත්තේ සෙනඟ අතරෙන් පසෙකට වෙමිනි.
“හලෝ….කොටුව ස්ටේෂන් එකේ….දැනුයි ආවෙ….හරි….හරි….ඉක්මනට එන්න එදා වගේ පරක්කු වෙන්න නම් එපා………..හාං….”
ඇමතුම විසන්දි වූ ජංගම දුරකථනය තම අත්බෑගයට දමා ගනිමින්ම දුම්‍රියපලින් එළියට පැමිණි පියුමි ගුවන් පදිකමාරුවෙන් පාරෙ අනෙක් පසට පැන ගම්පහ බස් නැවතුම්පල වෙත පැමිණියේ වේගවත් ගමනනි. මීලගට පිටත් වීමට නියමිත බසයට නැගි ඇය පසුපස අසුනට බර වූයේ හති හරිමිනි.
පිටත්වීමට වේලාව ඇති බැවින් තවමත් හතර පස් දෙනකු පමණක් සිටින බසයෙ කවුළුවෙන් පිටතට දෙනෙත් යොමා ගත් ඇගේ මතකය කෙමෙන් අතීතයට පිය මනින්නට වූයේ ඇයටද හොරෙනි.
………………………………….
නැතිබැරි කම දෝත දරා උපන් පියුමි උසස් පෙළට මුහුණ දීමට අධ්‍යාපනය හදාරමින් සිටියද ඉගෙනීමේ වාසනාව පරදවා නැතිබැරි කමේ අවාසනාව ජය ගත්තේ, ඇයට යන්තම් දහ අට සම්පූර්ණ වූ සැනින් නිවසටම පැමිණි මංගල යෝජනාවට ඇගේ දෙමාපියන්ගේ කැමත්ත හිමි වූ බැවිනි. එයට ඇගේ අකමැත්ත ප්‍රකාශ කිරීමට තරම්වත් ඇයට ඇගේ ජීවිතය පිලිබද අයිතියක් නොවුනි.
“මේ බලපන් කෙල්ලෙ අවුරුදු 15ක් කියන්නෙ මහා වයසක්ද බං. අනික කෙල්ලෙ කසාද බඳින පිරිමියා කොහොමත් ටිකක් වයස වැඩි උනොත් තමා පවුල් ජීවිතේ සාර්ථක” පියුමිගෙ මව පිටුපස කුස්සි කෑල්ලේ සිට පවසන්නේ කටගොන්නක් බීගත් තම සැමියා පැමිණ එය අසා සිටින බව නොදැනය.
“අවුරුදු 33ක් කියන්නෙ වයසක්ද යකෝ. බොට මතක නැත්ද සුමනො, මන් උඹව ගේනකොට මට 35ක් බොල 35ක්!. අනික ඒ මනුස්සයාට මොනවැයෙන් අඩුවක්ද?. ඉන්න ගේ වත්ත දේපළ… ඔය අනම් මනම් කියවලා මේ මගුල නොකෙරුනොත් තොපි ජීවත් වෙන්න හිතන්න එපා! දැනගන්.”
දෛවය පමණක් නොව තම ආදර දෙමාපියන් පවා තමාට එරහි වූ බැවින් අවසන පියුමිට උරුම වූයේ හිරිමල් වියේ සිටින තමාට වඩා අවුරුදු 15ක් වයසැති සරණතිස්ස සමග රන්හුයෙන් දෑගිලි බැද ගන්නටය.
පාරම්පරික වලවුකරුවකු වූ සරණතිස්සට රැකියාවක් කිරීමේ උවමනාවක් නොවීය. අලුතගෙනා රූමත් බිරියත් මවත් සමග විශාල නිවාසේ ජීවත් වූ සරණතිස්ස මත්පැනට ඇබ්බැහි වූවකු නොවූයේ නම් ඇගේ වාසනා ගුණයක් නිසාය.
කාලය කෙමෙන් ගෙවමින් වසර දෙකක් ගත වූයෙ කාටත් හොර රහසේය.
“ඈ මාග්‍රට් අක්කෙ අපේ සරණතිස්ස ලමයා දැන් පෙලවහක් වෙලා සෑහෙන්න කාලයක්නෙ බං. කෝ තාම උඹට මුණුපුරෙක් දෙන්න හිතලා නැතැයි??”
“අර උඩහා ගෙදර කෙලී බැදලා ගිහින් මාස පහයි. අන්න ඒකිට බඩට මාස හතරක්ලු. ඒක නෙමේ මේ අපේ පියුමි කෙල්ලගෙ තාම නැත්ද වෙනසක්??”
නිවසේ අළුයට සැගව තිබූ ගිනි පුපුරු, තම නෑ හිතමිතුරන් ගොඩ දමන විට සරණතිස්සගේ මවගෙන් පියුමිට හිමි වූයේ සාම්ප්‍රදායික නැන්දම්මෙකුගේ සැලකුම් වලිනුත් ඔබ්බට ගිය කෲර සැලකුම්‍ය.
“අපේ එකත් ගිහින් ගිහින් කර ගැහුවනෙ දරුවෙක් වදාගන්න බැරි වඳ පීදිච්ච කෙසෙල් ගහකට.”
“ටිකක් කට වහගෙන ඉන්න අම්මෙ පිස්සු හැදිලා ඉන්න මාව තවත් පිස්සු වට්ටන් නැතුව.”
සරණතිස්සගේ වුවද මතය වූයේ රූපයට රැවටී දරු සම්පත් අහිමි පියුමිව කරේ එල්ල ගත්තා වැන්නකි.
“අම්මලා උනත් ඇත්තනෙ කියන්නෙ. මට දැන් 35ක් තවත් වයසට ගිහින් දරුවෙක් ලැබුනත් ඒ ලමයා ලොකු වෙත්දි මන් හැරමිටියෙන් යයි.”
පියුමිට තිබූ එකම සැනසීම වූ බේබද්දෙකු නොවූ සැමියා නොම්බර එකේ බේබද්දෙකු බවට පත් වූයේත් ගෙදර නිතර ඇවිලුන අඩදබර මධ්‍යයේය.
උසස් පෙළ කඩ ඉම ගෙවා ගැනීමට නොහැකි වුවද ඒ දක්වා අධ්‍යාපනය හදාරා සිටි පියුමිට නවීන වෛද්‍ය ක්‍රම පිලිබදව දැනුමක් තිබුනේ වාසනාවටදැයි අවාසනාවටදැයි ඇයවත් නොදැන සිටියා විය යුතුය.
“දැන් ළමයි නෑ කියලා බය වෙන්න දෙයක් නෑ. ඒවටත් බෙහෙත් තියෙනවා. අනේ මාත් එක්ක කොළඹ යන්. කාසල් එකේලු ඒ ක්ලිනික් එක තියෙන්නෙ.”
“තමුසෙට ඕන්නම් යනවා මොකද මට ලෙඩක් අඩුපාඩුවක් තියෙනවායෑ බෙහෙත් ගන්න.”
තම සැමියා පවා උනන්දු නොවූවද පියුමි ප්‍රතිකාර සදහා කාසල් වීදියේ කාන්තා රෝහල් සායනයට තනිව හෝ යාමට ගන්නේ දරදඩු තීරණයකි. දරුවෙකු නැතයි ඇයට අවලාද නගන නැන්දම්මාවත්,, අතැගිලි බැදගත් සැමියා වත් ඇයගේ තනියට හෝ ඇය සමග පමිණියේ නැත.
දෙතුන්වර සායන වලටද වෛද්‍ය පරික්ශණ වලටද සහභාගි වූ ඇයට එවායේ ප්‍රථිපල වලින් දන ගැනීමට ලැබුනේ ඇයට දරුවෙකු ලැබීම සදහා කිසිදු අඩු පාඩුවක් නොමැති බවය.
“තිස්ස, අනේ ඊලග පාර ක්ලිනික් එකට මාත් එක්ක යන් ඩොක්ටර් කිවුවා එන පාර හස්බන්ඩ්ව අනිවාර්‍යෙන්ම එක්කන් එන්න කියලා.”
“හස්බන්ඩ් කෙනෙක් නෑ කියනව ඉතිං.”
“දැන් මේ රෑත් වෙලා කොහෙද යන්නෙ?”
“මඟුලෙ… තමුසෙට අනවශ්‍ය දේවල් හොයන්නැතිව ඉන්නවා…” සරණතිස්ස සුපුරුදු ලෙසෙ එදිනද රාත්‍රියේ නිවසින් පිට වූයේ මත්පැනින් සප්පායම් වීමට බව පියුමි නොදැන සිටියා නොවේ. නමුත් වෙනදාට වඩා ඔහු ප්‍රමාද වන විට ඇය තම පැරණි පන්නයෙ දුරකථනය අතට ගත්තෙ ඔහුට ඇමතුමක් ගෙන බැලීමටය.
“හලෝ….හලෝ…. තිස්ස….”
“හලෝ කවුද මේ?…”
“හලෝ….තිස්ස….”
“තිස්ස….මම තිස්ස නම් නෙමේ හැබැයි මේ පැත්තෙන් දැන් මුවෙක් නම් දිවුවා…තිස්සත් පස්සෙන් දිවුවද දන්නෑ…….”
“සොරි…රෝන් නම්බර් එකක්..” ඇමතුම විසන්දි විය. ඇයට එක් අංකයක් වැරදිනි. එක් අංකයක් වැරදීම ඇයට ජීවිතයම වරදාවි යැයි ඇය සිහිනෙන් වත් නොසිතුවාට සැක නැත.
පසු දිනද එම අංකයෙන් ඇයට ඇමතුමක් පැමිණි අතර ඇයට නිදහසේ ඇමතුමට සම්බන්ද වීමට හැකි වූයේ සුපුරුදු ලෙස සරණතිස්ස නිවසට එන විට අළුයම වන නිසාය.
හුරතල් කතාවෙන් ඇයට ලංවන කසුන් ඇයට සත්‍යම පවසන අතර ඇයද ඔහුට ඇගේ ජීවිත කතාවම පවසන්නෙ ඔහුගේ ආදර වදන් හමුවේ අසරණ වූ මුවැත්තියක ලෙසිනි.
කසුන්ද විවාහ වී දියණියකද සිටින පියෙකි. රාත්‍රි වැඩ මුරය අතර පැමිණි ඇමතුමෙන් හදුනාගත් පියුමි පිලිබද අනුකම්පාව මුසු ආදරයක් ඔහුගේ සිතේද දළුලමින් තිබුනේ ඔහුටද රහසේය.
“මේ 26 මගෙ ඕෆ් එක එදාට ඔයා ක්ලිනික් කියලා එන්න. මට ඔයාව දකින්න ආසයි.”
“මටත් දකින්න නම් ආසයි…ඒත් මට බයයි කසුන්..”
දිනක එසේ ඇරඹි කතා බහේ ප්‍රථිපලයක් ලෙස නොදැක සිටි පෙම්වත් යුවල හමුවී තනිවන්නෙ ඔහුන්ගෙම ලොවකය. ඔහුන්ටම පමණක් හිමි ඒ ලොව ඉදිවන්නේ අසම්මත ලෙස හෝටල් කාමරයක් තුලය.
ඒ හමුව සිදුවී තවත් මාස හතරකට පසු අද දිනද ඇය සායනයේ නාමයෙන් කොළඹ එන්නේ කසුන් සමග පෙම් සුව විදීමටය. නමුත් ඇයගේ සිතේ තෙරපෙන දේ දන්නේ ඇයම පමණි.
“කිරිබත්ගොඩ..කඩවත..කිරිල්ලවල..බැලුම්මහර..මිරිස්වත්ත..ගම්පහ..ගම්පහ..ගම්පහ….”
කොන්දොස්තරගේ හඩින් අතීතයෙන් මිදුන පියුමි වටපිට බැලුවේ තාමත් තමන්ට නුහුරු නගරයේ තමා සිටින්නේ කවර ස්ථානයේ දැයි දන ගැනීමට මෙනි. තාමත් බසය පසු කරන්නෙ ආමර් වීදියය.
“මිරිස්වත්ත එකක්”
ටිකට් පතක් ගෙන ඇය නැවතත් කවුළුවෙන් පිටතට දෙනෙත් යොමාගෙන ජීවන ගමනේ තමා පසු කර වේගයෙන් ආපස්සට ඇදීයන නගරයන් දැස බලා සිටියේ හැගුම් විරහිතවය.
“අප්පේ අද මම නෙමේ, ඔයානෙ පරක්කු.” මිරිස්වත්ත නැවතුම්පලින් බැසගත් සැනින් කසුන්ව හමුවීම පියුමිට නම් සැනසීමක් ගෙන දුන්නාට සැක නැත.
කාලය ගෙවී යයි.. සැමට හොරෙන් කාටත් වරදක් නොකල අහිංසක නමුත් අසම්මත පෙම්වතුන් යුවලක් මිරිස්වත්ත නැවතුම් පලක කුඩා කාමරයක් තුල පෙම්සුව විදිමින් සිටී.
පෙම් සුව පමණක් නොව කම් සුවද විදිමින් සිටි දෙදෙනාටම පැය දෙකක කාලය ගෙවීයනු නොදැනීම අරුමයක් නොවීය. දෙදෙනාම නාගෙන පිටත්වීමට සූදානම්වන මොහොතේ පියුමි දින දෙකක්ම තම හඳවතේ ලැඟුම් ගත් තමාට අහිමි පිටස්තර පුද්ගලයෙකුත් සමග යහන් ගත වූ ඒ යහනේම හිද ගත්තේ දිගු කතාවාට මුල පිරීමට බව කසුන්ට තේරුණේ ඉවෙන් මෙනි.
“ඇයි බබා……” කසුන් අසන්නේ පියුමිගේ ඔළුව පිරිමඳින ගමන්ය. ඔහුගේ වදන්, හැසිරීම මෙන්ම ඔහුගේ ස්පර්ශයන් පවා හදවත නිවී සනසාලන තරම් මෘදුය. ඇගේ දෙනතේ තෙරපෙන කදුළු බිද ඔහු දකින්නෙ ඒ මොහොතේය.
“කසුන්…මට සමාවෙන්න මන් ආයෙ ඔයාව හම්බවෙන්න එන්නෑ.. මට ආයෙ කෝල් කරන්නත් එපා.. මන් ජාති ජාතිත් ඔයා එක්ක තරහක් නෑ. ඇත්තටම…ඇත්තටම කියනව නම් මන් ඔයාට ණය ගැතීයි…” පියුමිගෙන් පිට වන්නෙ වදන් වලට වඩා ඉකිබිදුමකි.
“මොකක්ද පියුමි ඔයාට වෙලා තියෙන්නෙ. කියන දෙයක් තේරෙන්න කියන්න ළමයො…… ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් උනාද?”
“මට සමාවෙන්න කසුන් ඔයා මට දෙවිකෙනෙක්. තිස්ස මට මොනවා දුන්නත් එයාට මට දරු පැටියෙක් දෙන්න බැරි වුනා. ඒ මදිවට ඒක මගේ අඩුවක් කිය කිය හැමෝම මට වද දුන්නා. මන් මේ ආරංචිය මුලින්ම කියන්නෙ ඔයාට……. මම…මම….අම්මා කෙනෙක් වෙන්න යන්නෙ. දැන් මාස හතරයි.” ඇය ඔහුගේ දෙපතුල අබියස දණින් වැටුනේ දෑත් එකට එක් කර ගනිමිනි. ඇගේ දෑස තෙමාගෙන පල්ලම් බසින කඳුළු වැල් වලට කිසිඳු බාඳාවක් නැති සෙයකි.
“මොකක්…!!!”
“ඔව්..කසුන්. බය වෙන්න එපා මයෙ දෙයියෝ…. ඔව් මයෙ දෙයියො, මන් දන්නවා ඔයාටත් දරු පවුලක් ඉන්නවා. ඒ වගේම මේ මගෙ බඩේ ඉන්න දරුවත් ඔයාගෙ. ඒත් මේ දරුවාවත් මන්වත් ආයෙ ඔයාගෙ ජීවිතේට එන්නෑ. අපි දෙන්නම සදහටම ඔයාගෙ ජීවිතෙන් යනවා…. ආයෙ මාව හම්බවෙන්න හදන්න එපා…. මාව වත්, ඔයාගෙ දරුපැටියාව වත් ආයෙ දකින්න හිතන්නවත් එපා. මම ඔයාගෙ කිරිකැටියව රජෙක් වගේ බලාගන්නම්. ආයෙත් කියන්නෙ මන් ඔයාට ජාති ජාතිත් ණයගැතියි…. ඔයා ඇත්තටම මට දෙවි කෙනෙක් මගෙ දෙයියෝ…..”
“මට මොනවා කියන්නද තේරෙන්නෑ දෙයියනේ, ඒත් මන් නිසා ඔයාගෙ ජීවිතේට යහපතක් උනානම් මට ඒ ඇති. මාත් ඔයාට ආයෙ කරදර කරන්නෑ. ඒත්….. මගේ දරුවව හොදට බලා ගන්න… තාත්තාගෙ නම මට දෙන්න බැරි උනත් එයාගෙ ඇගේ දුවන්නෙත් මගේ ලේ….. එයට මගෙන් වෙන්න ඕන යුතුකමක් තියෙනවා නම්, මට ඕන වෙලාවක කතා කරන්න.. එයාව හොදට බලා ගන්න. මගේ දරු පැටියගෙ අම්මාවත් හොඳට පරිස්සමෙන් බලා ගන්න.. ඔයා සංතෝසෙන් ඉන්නවානම් මට ඒ ඇති….”
දෙදෙනාම තදින් වැළඳ ගෙන, හැඬූ කඳුළෙන් ගෙවා දැමූ තවත් හෝරා දෙකකට පසු කසුන්ගෙන් සමු ගනිමින් ඔහුගෙ ලෙයින් සෑදුනු දරු ගැබත් දරා පියුමි ගාල්ල බලා දිවෙන දුම්‍රියට ගොඩ වූයේ කසුන්ගේ මතකයන් සියල්ල කොටුව දුම්රිය ස්ථානයේ අතරමං කර දමමිනි……….
* (සත්‍ය කථාවක් ඇසුරිනි.)
