මම පවුලේ බඩපිස්සා. සබරගමු කැම්පස් එකේ ඉගෙන ගන්න ගමන් ඉන්නේ. හැමදාම යන එන එක කරදර හින්දා කැම්පස් එකට කිට්ටුව බෝඩ් වෙලා ඉන්නේ. මට වැඩිමල් අයියලා දෙන්නයි. තාත්තා බිල්ඩින් කොන්ට්‍රැක්ටර් කෙනෙක්. අයියලා දෙන්නටම වැඩිය තාත්තගේ ෆීල්ඩ් එකට මං ආස කලා. ඉතිං මොකක් හරි හදිස්සි වැඩක් දවසට තාත්තට මාව නැතුවම බැරි වෙනවා. ඔය වගේ උදව් කරන්න ගිය දවසක මහා එපාකරපු සිද්දියක් වුනා. ඒක ආයි ආයි මතක් වෙන්න ගත්ත පාර බෝඩිමේ තනියම ඉන්න බැරි සීන් එකකුත් ආවා.
තාත්තා ඒ වෙලාවේ දුවලා පැනලා පිළියම් ටික කරපු නිසා දැන් යාන්තමට ශේප් එකේ ඉන්නවා. ඕක උනේ ගිය සැරේ නිවාඩුවට ගෙදර ආපු වෙලේ. ඔහොම මාස ගානකට සැරයක් ගෙදර ආවත්, ඒ ආපු ගමන්ම මං ඉතිං කෙලින්ම රිංගන්නේ තාත්තාගේ ව(ර්)ක් ශොප් එක අස්සට.
දැන් ලොක්කෙක් වුනාට තාත්තා ජීවිතේ පටන් අරන් තියෙන්න වඩුවැඩ වලින්. එ ගැම්ම අයියලා දෙන්නටම වැඩිය මට තියෙන නිසා වෙන්නැති නිවාඩුවක් ලැබිච්ච හැටියෙ තාත්තගෙ වැඩ වලට උපරිම සපෝට් එක දෙන්න හිතෙන්නේ. ඉතිං ඔය විදිහට ගිය සැරෙ මං එනකොටත් තාත්තට හුස්මක් කටක් ගන්න බැරි විදිහට ගොඩ ගැහිච්ච වැඩත් අස්සේ ලොකු කොන්ට්‍රැක් එකකුත් ඇවිල්ලා තිබ්බා.
“පුතේ.. උඹ වෙලාවට ආවේ. හෙට වැඩක් තියෙනවා කොල්ලෝ.. වැඩි දුරක් නං නෑ. හැබැයි..දවස් දෙක තුනක් එහේ ඉන්න වෙයි. මොකද කියන්නේ..? ගෝලයෝ ටිකත් බලාගෙන වැඩේ ගොඩදාන්න උඹට පුළුවන් වෙයිද..?”
ඒවගේ දේකට ඉතින් නෑ බෑ කීමක් මගේ නෑ. ඔයිට කලිනුත් ඔය වගේ වැඩ දෙකතුනකට ගිහිල්ලා තියෙන නිසා මට වැඩවල නම් අවුලක් තිබ්බේ නෑ. ඉතින් එවෙලේ ගමන් මහන්සිය ගැන හිතන්නැතුවම වැඩේට ලෑස්ති වුනා.
පහුවෙන්දා උදේ 6.00 වෙනකොට අපි පිටත්වුනා. මාත් එක්ක ගාමිණි බාසුයි, තව ගෝලයෝ දෙන්නෙකුයි හිටියා. හොරණ කිව්වට ටිකක් විතර ඇතුලට යන්න ඕන. තැන නම් හොයාගන්න මහා ලොකු අමාරුවක් වුනේ නෑ. මොනවා නැතත් ‘යාල’ කියන නම නම් ඒ පැත්තට නියමෙටම ගැලපුනා.
ඒ තරම් කැලයක් ඒක. මේ වගේ අස්සක සුපිරි පන්තියේ ගෙයක් තියෙන්න පුළුවන්ද කියලත් හිතෙනවා. අයිතිකාරයා හොද බරකාරයෙක් කියලා තාත්තා කිව්ව කතාව ඇත්ත කියලා තේරුනේ ඒ ගේ දැක්කම. ඒක නම් මාරම ගෙයක්..! ගෙයක් කිව්වට නිකම් මාළිගාවක් වගේ. ආයි සුපිරිම ඇන්ටික් භාණ්ඩයක්. අක්කරයක් විතර වත්ත ගස් වලින් පිරිලා. ඒවත් එසේ මෙසේ ගස් නෙමෙයි. යෝද කදන් තිබ්බ මහා විශාල ගස්. ඒවට මහ ලොකු අතීතයක් තියෙන වග නම් පේන්න තිබ්බා.
“වැඩ පටන් කලින් වටේ ටිකක් විපරං කලොත් හොදා නේද මහත්තයෝ..”
ගාමිණි අංකල් කිව්වේ නිකන් බයෙන් සැකෙන් වගේ. අපි තුන්දෙනත් එක්ක පොඩ්ඩක් වටේ ඇවිදලා බැලුවත් අගක් මුලක් හොයාගන්න බැරි ඒ ගෙයි හරි ප්ලෑන් එක ඔළුවට යන්න දවස් දෙකක්වත් යයි කියලයි මට හිතුනේ. හොදට ඉර පායපු දවසක් වුනත් රූස්ස ගස් නිසා ඉර එළියටත් ගේ ඇතුලට එන්න බැරිකමක් තිබුනා.
කාලයක් වහලා තිබ්බ නිසාද කොහේද ඇතුලේ තිබ්බේ වෙව්ලන සයිස් එකේ සීතලක්. ඊටත් හපන් මහා අමුතු තෙත ගදක් වගේ දෙයක් දැනුනා. ගේ වටේ ගිහින් පිටිපස්ස බැලුවහම තියෙන්නේ තනිකරම වනාන්තරේ. ගෙයි උඩම තට්ටුවට ගිහින් බලද්දි, ඒ වනන්තරේ ඇතුලට යන ඉමක් කොනක් පේන්නෙ නැති පටු අදුරු පාරක් පේන්න තියෙනවා. ඒක කැලේ මැද්දටම ඇරෙන පාරක් වගෙයි පේන්න තිබුනේ.
කොහොම වුනත් හැමතැනම කරක්ගහන්න ගියොත් වැඩේ කල් යන නිසා, දවල් 2.00 විතර වෙද්දි අපි වැඩේ පටන් ගත්තා. තට්ටු හතරේම දොර ජනේල් වල රෙපයාර්ස් ටික තමයි අපිට කරන්න තිබුනේ. මුළු ගෙටම දොර ජනේල් බර ලෝඩ් එකක් තිබ්බා. අපි එදා රෑ 8.00 වෙනකම් විතර වැඩ කරලා එළියට වෙලා පොඩි කයියක් ගැහැව්වේ මහන්සිය නිවා ගන්න.
චුට්ටෙයි, සිරියි ඇඹරෙන්න ගත්ත පාර මට තේරුනා උන්ට ඇග රත්කරගන්න ඕන වෙලා කියලා. “වැඩ ටික හරියට කෙරිලා ඕන දෙයක් කරපල්ලා” කියලා උන්ට සප්පායන් වෙන ඒවත් ‘ලොක්කා’ එවලා තියෙන බව උන් දන්නවා. ඒක මතක් වෙලා නැගිටිද්දි මට ඇහුනා නිකන් වතුර ගලා ගෙන යන සද්දයක්.. මං පොඩ්ඩක් සද්දෙට කන දාගෙන වත්ත පැත්තට ගියා.
වතුර සද්දේ වැඩිවෙනවා. ඒත්..දවල් තිස්සේම මෙහෙම දෙයක් ඇහුනේ නැහැනේ..!සමහර විට රෑට සද්ද බද්ද මුකුත් නැති නිසා වෙන්න ඇති මේක දැන් ඇහෙන්න ගත්තේ.
“පොඩි මහත්තයෝ කොහෙද කරුවලේ ගාටන්නේ”
ඒ හඩට මාව ගැස්සුනා. එතන ගැස්සෙන්න තරම් හේතුවක් තිබ්බේ නැතැත් ඒ වෙලේ ගාමිණී අංකල් කතා කරේ නැත්තම් කරුවලේම හරි දොළපාර හොයාගෙන යන්න ඕන කියන සීන් එකේ මං හිටියේ.
“නෑ අංකල් වතුර සද්දයක් ඇහෙනවා. මේ ළග පාතම දොළ පාරක් හරි තියෙන්න ඕන. යන්ද බලන්න. කාලෙකින් ඔය වගේ තැනකින් නාගන්න බැරිවුනා.”
“අපොයි මහත්තයෝ..ඔය නන්නාදුනන තැන්වල මේ කරුවලේ යන්නැතුව අර ඇතුලේ දිව්‍ය ලෝක වගේ නාන කාමර තියෙන්නේ..ගිහින් නාගන්න..”
ඒ කතාවට කොහෙනදෝ ඉදන් පාත්වෙච්ච අරුන් දෙන්නාත් හොට දාන්න ගත්තා. ඒකෙන් මේකෙන් ගාමිණී අංකල්ව ශේප් කරගෙන අපි තුන්දෙනා ගියා දොළ පාර හොයාගෙන. සද්දේ හැටියට නම් ගෙයි පිටිපස්ස පැත්තේ තමයි ඕක තියෙන්න ඕන.
හිතුව විදිහ හරියටම හරි කියන්නේ, අපි උඩ ඉදන් බලනකොට දැක්ක පටු කැලෑ පාර හරියට එනකොට ඔන්න වතුර සද්දේ නියමෙට ඇහෙන්න ගත්තා. එතනින් එහාට නම් කිසිම එළියක් නැහැ පට්ට කරුවලයි. ඇදුම් ටික චුට්ටේ අතට දීලා ටෝච් එකත් අරන් මං ඉස්සරවුනා. ඒ පාර තුන්දෙනෙක්ට පෙළට යන්න බැරි තරමට පටුයි.
අන්තිමට ආවේ සිරි. ඌට මගේ ෆෝන් එක දුන්නේ ඒකේ ටෝච් එකත් ගහන්න කියලා. ඇයි දෙපැත්තෙම තියෙන කැලේ හින්දා සතෙක් හිටියත් පේන්නෑ. ඔය විදිහට විනාඩි විස්සක් විතර අපි ඇවිද්දා. මොන රෙද්දේ දොළ පාරක්වත් නෑ. හැබැයි සද්දේ හැටියට නම් මේ ළග තියෙනවා වගේ තමයි තේරෙන්නේ.
ඒ වෙද්දි ඇගේ තිබ්බ දාඩියත් නිවිලා හිරිගඩුපිපෙන තරමට සීතල් තද කරලා තිබ්බා. ආපස්සට හැරිලා යන්න හැදුවත් මේවගේ චාන්ස් හැමදාම වැදෙන් නැති නිසා මෙච්චර දුර ආපු එකේ ඔන්න ඔහේ ඕකට බැහැලම යන්න ඕනේ කියලා හිතුනා.
අනික මෙච්චර වෙලා ගිහිල්ලා නාන්නැතුව නිකම්ම යද්දි ගාමිණි බාස්ගෙන් හොදහැටි අහගන්නවෙයි කියලා අරුන් දෙන්නාත් කෙදිරිගාන්න ගත්ත. ඔන්න ඒ වෙලාවෙදි තමයි කකුලට වතුර පැගෙන්න ගත්තේ.
“අම්මට සිරි..බලපන්කෝ චුට්ටේ..මේක පට්ට තැනක්නේ..”
අපේ ඉස්සරහ තිබ්බේ මාර ලස්සන දොළක්. දොළ පාර වහගෙන වටේ තිබ්බ ගස් වියන් බැදලා තිබ්බා. රෙදි ටික ගලක් උඩ තිබ්බ මම ටොච් එකත් බැලන්ස් එකේ ගලක් උඩින් තිබ්බා. වෙව්ලන සයිස් සීතලක් තිබ්බත් මේක දැක දැක නිකන් යන්නේ කොහොමද කියලා හිතුනා.
අරුන් දෙන්නටත් කෑ ගැහැව්ව පාර චුට්ටේ වතුරට බැස්සා. ඒත් සිරි නම් පැත්ත පලාතේ ආවේ නෑ. ඌ මූණ අතපය හෝදගෙන අහකට වුනේ සීතලයි කියලා. අපි දෙන්නා දැන් හිතේ හැටියට නාද්දි සිරි කළේ දොළ දිහාට ටෝච් එකත් කරකෝ කරකෝ ගලක් උඩට වෙලා හිටපු එක. ඔහොම පැය කාලක් විතර යන්න ඇති. මෙන්න..එකපාරටම සිරි බෙරිහන්දෙන්න ගතේ නැතෑ.
“ම..මහත්තයා..ගොඩට එ..එන්න..ඉක්මනට..එන්න…”
උගේ සද්දෙට නාන එක පැත්තකින් තිබ්බ අපි ගොඩට ආවා. ඒ එද්දිත් ඌ දොළ පාර දිහා බලාගෙන ගොත ගහනවා. ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන ඇගිල්ල දික් කර කර මොකක්දෝ පෙන්නනවා. අපිත් ඒ පැත්ත බැලුවා. ඒත් කිසි විශේශ දෙයක් තිබ්බේ නෑ. මූ නවත්තන්නෙම නැති තැන පොඩි ශොට් එකක් කම්මුලට දුන්න පාර උගේ ගොතේ හරිගියා.
“අ..අනේ මහත්තයෝ..මෙතනින් ඉක්මනට මාරුවෙමු..මහත්තයා ගා..ව ගෑ..ගෑනියෙක් හිටියා..හරියට යකින්නක් වගේ..කොන්ඩේ කඩා දාලා..අගුරු වගේ කළු ගෑනියෙක්..ඉ..ක්මන් කරපන් චුට්ටේ..යමං මෙතනින්..”.
මේ මොනවද මූ කියන්නේ..! මොන ගැනියෙක්ද..! යකෝ එහෙනම් මමත් දකින්න එපැයි..! එතකොට චුට්ටේ.. ඌත් මා ගාවමනෙ හිටියෙ..! හිත දාහක් ප්‍රශ්න අහනවා..ඒවට උත්තර හොයන්න ඉස්සල්ලා මේකගෙ බය නැති කරලා ඉන්න එපැයි.
“ඉතිං බං ගෑනියෙක් හිටියනම් පට්ට ආතල්නේ.. කලින් කිව්වනම් මං මළාට ගොඩට එන්නෑ..”
ඒ කිව්ව එකට චුට්ටේ මහා දියාරු හිනාවක් දැම්මේ. ඌත් හිටියෙ බයවෙලා කියලා මට තේරුනේ ඌ හතර අතේ බල බල හිටපු නිසා. තවත් මෙතනම ලැගලා ඉන්නවට වැඩිය ඉක්මනින්ම මෙතනින් මාරුවෙන එක හොදයි කියලා අපි ආයිමත් ආවා අර පටු පාරටම. ආයිමත් මං ඉස්සර වුනේ සිරිව මැද්දට දාලා. ඒ ගමන චුට්ටේ කෙදිරිගාන්න ගත්තා ඌට පිටිපස්සෙන් එන්න බෑ කියලා.
“හරි යමංකො එහෙනං ඉස්සරහට..”
කියාගෙනම මම පිටිපස්සට ගියා. දැන් අපි එකපෙළට යනවා. අරුන් දෙන්නා එනකොට කිව්ව හෑලි මුකුත් නෑ. රැහැයියන්ගේ සද්දේ නම් කන පැලෙන්නම තිබ්බා. වෙලාව 10.00ත් කිට්ටුයි. ගාමිණී අංකල් ගෙන් මිස් කෝල්ස් දොළහක් තිබ්බා.
“අප්පේ..මිනිහා දැන් හොදට බයවෙලා ඇත්තේ.. ශුවර් එකට සිරියගෙ අතින් සයිලන්ස් වෙන්න ඇති…”
මේ මගුලේ ගෑණියෙක් නිසා එච්චර වෙලා ගියා කියලා දැනුනෙවත් නෑ. මං ගාමිණි අංකල්ගෙ නම්බ(ර්) එක ඩයල් කරලා ස්පීකර් දැම්මා. රින් වෙච්ච හැටියේ එහාපැත්තෙන් කෝල් එක ගත්තා. ඒත්..!කිසිම දෙයක් පැහැදිලි නෑ ‘කිංංංං’ ගාන සද්දෙත් එක්ක කව්දෝ කතා කරනවා. ඒ ගාමිණී අංකල්ද..?හරියට ගෑණු කටහඩක් වගේ..
එහෙම වෙන්නෙ කොහොමද..! ගත්තේ හරි නම්බර් එකද කියලා බලන්න මං ආයිමත් ෆෝන් එක චෙක් කරා. නම්බර් එකේ කිසි වැරැද්දක් නෑ. ඔහොම කොහොම හරි හතර පස් පාරක් අරගත්තත් එකම දේ වෙන්න ගත්ත තැන මං වැඩේ අතහැරලා දැම්මා.
ඔය වෙලාවෙදි තමයි කැලෑව අස්සෙන් නිකන් හීනියට වගේ කොදුරන සද්දයක් ඇහුනේ. නිකන් කනට කරලා රහසක් කියනවා වගේ. මාව නිකන් මොකක්දෝ වෙලා ගියා ඒ සැරේනම්. හිත ගැස්සුන පාර මං අරුන් දෙන්නට හයියෙන් කතා කරා.
චුට්ටේ ‘හුම්’ ගැව්වා මිසක් ඉන් එහාට සද්දයක් නෑ. ඊටත් හපන් දේ කියන්නේ මුන් දෙන්නම මගේ ඉස්සරහින් යද්දි තවත් එකෙක් පිටිපස්සෙන් එන්න ගත්තා වගේ තේරුනා. තුන්හතරපාරක් නැවතිලා ටෝච් එක කැරකෙව්වත් එන එකෙක් පේන්න නම් හිටියේ නැහැ. ‘සිරී දැක්ක ගෑණිවත්ද…!’
කියලා එකපාරටම හිතුනත් ඒ සිතිවිල්ල දිගේ වැඩි දුර යන්න ඉස්සර ලයිට් එළිය දැක්කා. එතකොට තමයි හිතට ටිකක් ෆිට් එකක් ආවේ. වත්තට අඩිය තිබ්බ ගමන් ගාමිණි අංකල් ආවේ නැතෑ දුම්මල වරම අතට අරගෙනම. අරුන් දෙන්නගේ බෙල්ලෙන් අල්ලන් ගෙට අරන් ගිය ගාමිණි අංකල් ආයි.. නෑ.. උන්ට ලුණු ඇඹුල් ඇතුවම දෙසාබානවා.
“යකෝ තොපිල මොන හු..මකබෑවුනාද..කියහංකෝ..අරෙහෙන් ලොකු මහත්තයා කතා කරනවා..මට දෙන්න උත්තර නෑ..යකෝ නොදන්න පැතිවල ඇවිල්ලා….”
මම ඇතුලට යනකොට චුට්ටේ මොන මොනවදෝ කුටු කුටු ගගා හිටියත්, සිරී නම් වගේ වගක් නැතුව බලාගත්ත අතේ ඔහේ බලන් හිටියා. මං එතනට ලංවෙනකොට ගාමිණි අංකල් බය වෙලා වගේ මං දිහාම බලන් ඉන්නවා..
“ම..මහත්තයෝ මො මොකද..ඔය බෙල්ල දි..ගේ ලේ…!
ඒ කියද්දි මගේ අත ඉබේටම බෙල්ලට ගියා. බෙල්ල අතගාලා බලද්දි..ලේ..! මොකක් හරි සිද්ද වුනානම්..දැනෙන්න එපැයි..! කිසිම රිදිල්ලකුත් නෑ..මොකද වුනේ කියලා කල්පනා කරනකොටම ගාමිණි අංකල් මාව පැත්තකින් ඉන්දෝලා මගේ මුළු සර්වාංගෙම චෙක් කරලා බෙහෙත් වගයක් අතුල්ලන්න ගත්තේ.
“බෙල්ල පුරාම හීරිච්ච පාරවල්..මො..මොකද..මේ..ලොකු මහත්තයා දැනගත්තොත් මෙතන විසුමක් වෙන්නෑ..මං දැනගත්තා ඔය පාළු ලිං අස්සේ යනකොට..! අර චුට්ටෙයා දෙඩෙව්ව කතාව ඇත්තක්ද මහත්තයා..? මං කී පාරක් කෝල් කරාද..! මොන.ගන්න සැරයක් ගානේ.. ගෑණියෙක්..මොකක්දෝ..බලියක් කියෝනවා..මං හිතුවෙම මුං දෙන්නගේ කුපාඩිකමක් කියලා..!”
ගාමිණි අංකල්ගේ බර බරේ නතර වුනේම නෑ… එතකොට ගාමිණි අංකල්ටත් ඇහිලා තියෙන්නේ මට ඇහිච්ච දේමද..? එතකොට කව්ද ඒ..? සමහර විට සිග්නල් කේස් නිසාත් ඕවා වෙනවා..එහෙම කියලා හිත හදා ගන්න හැදුවත් ඒක හරිගියේ නෑ..
ඊටත් හපන් බෙල්ල හීරිච්ච කේස් එක. අර කැලෑ පාරේ එනකොට කටුඅත්තක් පැටලෙන්න ඇති. ඒත්..ඒ වගේ දෙයක් නොතේරෙන්න තරම් අවසිහියක් තිබුනේ නෑනේ.. කොච්චර ගලපගන්න හැදුවත් වෙච්ච දේ පැටලෙනවා මිසක් හරි උත්තරයක් හම්බුනේ නැහැ.
“හා..හා..දැන් ඉතිං කරදරයක් නැතුව ආවනේ.. මහත්තයා හොදට කෑම ටිකක් කාලා නිදාගන්නකෝ, හෙට උදේ වෙනකොට ඔය ගතිය හරියයි.. තොපිලත් දැන් අමුවෙන්ම කාපිය. බෝතල් හිස් කරන වෙලාව දැන් පහුවෙලා තියෙන්නේ..”
කාලා බීලා ඉවරවෙලා ලෑස්ති කරලා තිබ්බ කාමරේකට ගියා නිදාගන්න. පහල කාමර වල වැඩ පටන් අරන් තිබ්බ නිසා මට දෙවෙනි තට්ටුවේ කාමරයක් ලෑස්ති වෙලා තිබුනා. ආරක්ශාවටත් හොද හින්දා ගාමිණි අංකල් අරුන් දෙන්නත් එක්ක පහල නිදියනවා කිව්වා.
කාමරේට ගිය ගමන් මගේ ඇගෙන් බාගයක් ඇදට වැටුනා. ඉතුරු කකුල් බාගේ තිබ්බේ ටයිල් පොලව උඩ. මහ ලොකු බර වැඩක් කරලා වගේ ඇගට අමාරුවක් දැනුන පාර අත්දෙකත් ඔළුවේ ගහගෙන සීවිලිම දිහා බලන් හිටියේ පොඩ්ඩක් එහෙමෙහෙ දුවන හිත එකතැනකට ගන්න. ඔහෝම ඉදිද්දිම මට නින්ද ගියාද කොහේද.. ඒත්..! ආයි එකපාරටම ඇහැරුනා..!
කකුල් වලට දැනුනේ මාර සීතලක්.. බලනකොට ඒ වෙද්දිත් මං හිටියේ ඇදට වැටිච්ච විදිහටමයි. කකුල් බිම ගහලා නැගිටින්න හැදුවත් කකුල් ගල් වෙලා වගේ.. හෙමින් හෙමින් පැත්ත හැරිලා යාන්තමට නැගිට්ට ගමන් බැලුවේ කකුල් දිහා..කකුල් දෙක පුරාම වතුර..ඒකත් පොඩ්ඩක් නෙමේ ඇද පාමුල ටයිල් එකත් තෙමාගෙන කකුල් වලින් වතුර බේරෙනවා. “මේ මොකක් වෙනවද..!”
මං දඩබඩ ගාලා ඇදෙන් බහින්න හදනවත් එක්කම කව්දෝ දොරට තට්ටු කරනවා. මං ටිකක් වෙලා කන් දීගෙන හිටියා. ආයිමත් තට්ටු කරනවා.
“මහත්තයෝ…දොර අරින්න මං සිරි..”
“ඇයි සිරී.. දොර ලොක් කරලා නෑ..ඇරගෙන වරෙං”
ඒත්.. ඇතුලට එන සිරියෙකුත් නෑ.. උගේ කිසිම සද්දෙකුත් නෑ ඒ පාර මම දොර ගාවට ගිහින් හිමීට දොර ඇරලා බැලුවා. දොර ගාව මොකෙක්වත් නෑ. පහලට ගිහින් බලන්න හිතුනත් ආයි පහලට බහින්න බෑ වගේ හිතුනා. මූට මොකක් උනාද කියලා හිත හිතාම ආයෙමත් ඇදට වැටුනේ කාමරේ මුල්ලක තිබ්බ පාපිස්සක් අරන් වතුර ගොඩට අතහැරලා දාන ගමන්.
වැස්සකුත් නැතිවෙලේ ආපු වතුර පාර ගැන හිතන්න හදද්දිම මෙන්න ආයිමත් ඇහෙනවා පඩි පෙළ දිගේ කවුදෝ එනවා..ඒත් ඒ සද්දෙන් තේරුනේ එන එකෙක් එන්නේ උඩ තට්ටුවේ ඉදන් කියලා. ඒත්..අපේ එකෙක්වත් උඩට ගියේ නෑනේ..අනික මේ රෑ ජාමෙට කව්ද උඩට නගින්නේ..හොරෙක්වත්ද..!
මං විගහට නැගිටලා ඇවිත් දොර ඇරියා. දොර අරිනවත් එක්කම ආපහු මීක් නෑ. ‘මොන රෙද්දක්ද යකෝ මේ’ කියලා දොරත් ලොක් කරපු මම ඔළුවේ ඉදන් පොරෝගෙන ඇදට වැටුනා.
දෙයියනේ කියලා ඉන් පස්සේ ඇහැරුනේ පහුවදා. නැගිටිනකොටත් තුන්දෙනා වැඩ පටන් අරගෙන. ඒ අතින් නම් උන් ශුවර්. ලොක්කෝ හිටියත් නැතැත් උන් වැඩ. කොහොමත් එදා දවස් ඉවරවෙද්දි සෑහෙන වැඩ ටිකක් ඉවරකරගත්තා.
හැබැයි ඊයේ සිද්දිය ගැනනම් එකෙක් වත් ‘හුම්’ නැහැ. මාත් ඉතිං ඕවා මතක් කරන්න ගියේ නැතැත් ගාමිණී අංකල් නම් මගේ බෙල්ලට බෙහෙත් සාත්තුව කරා. හැබැයි..ඒක කරෙත් වටපිට බල බල හොරාට වගේ..
“මහත්තයෝ..මං මේ හොරාට මේක කරන්නේ.නැත්තම්…ඊයේ සිද්දියේ මතකේ ආයේ ආයේ අළුත් වෙන නිසා..මොකද..අපේ සිරියාගේ චර්යාවේ ලොකු වෙනසක් තියෙනවා..ඌ ඉන්නේ මේ ලෝකේ නෙමෙයි..”
ඒක මටත් තේරුනා.. වෙනදා මාත් එක්ක හරිහරියට කියෝන එකා අද මාව මගහරිනවා..හරියට මූණ බලලා කතා කරන්නේ නෑ..ඒක නිසාම ඊයේ රෑ වෙච්ච දේ ගැනත් උගෙන් අහන් නැතුව අමතක කරලා දැම්මා. හවස 5.00 වෙද්දි මං කිව්වා වැඩ නවත්තන්න කියලා.
මොකද..ඊයෙත් මුන්ට ඇග රත් කරගෙන ජොලියක් දාන්න බැරිවෙච්ච හින්දා. එළියෙ හට් එකක් යට 7.00 විතර වෙද්දි කට්ටිය වැඩේට සෙට් වුනා. මං බිව්වේ නැතත් තුන්දෙනා ගාවට වෙලා හෑලි ටිකක් කියෝන ගමන් සපෝට් එකක් දුන්නා. පැයක් විතර යනකොට තුන්දෙනා ගානට පදම් වෙලා. සිරිගේ ඈලි මෑලි ගතියත් ඒ වෙද්දි නැත්තටම නැතිවෙලා තිබ්බා.
“ම්ම්ම්..මහත්තයෝ…මේ සි..රීරී..ඕන දේ..කට රෙඩීඊ…හරී…යමං..මේ..දැං..යමන්..නාමු..මහත්තයෝ යමංංංංංංංකෝ !!”
කවදාවත් මේකා මේ විදිහට මට කතා කරලා නෑ. බීලා හින්දා ඒකනම් මං වැඩිය ගනන් ගත්තේ නැතත් ගාමිණි අංකල් උගේ කට මිරිකනවා මං දැක්කා. ගාමිණි අංකල්ගේ අත ගසලා දැම්ම සිරී කෙලින්ම බැලුවේ මං දිහා. ඒ බැල්මනම් මට වැඩිය ඇල්ලුවේ නෑ. ඒකේ තිබ්බේ පට්ට තරහක්.. “යකෝ මූට මොනවා කරාටද මේ විදිහට බලන්නේ..”
ඒ ගැන තවත් හිතන්න ඉස්සර චුට්ටේ පටන් ගත්තා සිංදුවක්..මමත් පුටුවක් ඇදලා ගත්තේ ඩොල්කි පාරක් දාන්න. ගාමිණි අංකලුත් වගේ වගක් නැතුව නටන්න ගත්තා. කට්ටියම දැන් ෆුල් ආතල් එකක් ගන්නවා.
ඔය අස්සේ එකපාරටම මං දැක්කා සිරි ගේ කළබලයක්..ඌ වටපිට බැලුවේ ගොදුරකට ඉව අල්ලන බළලෙක් වගේ. ඒ ගමන පුටුවෙන් නැගිට්ට ඌ වැනි වැනිම යන්න ගියේ අතින් මට සිග්නල් එකකුත් දාන ගමන්..මූට හදිස්සි බරක් එන්න ඇති කියලයි මං හිතුවේ.
ඒත්..විනාඩි දහයකට වඩා ගියා.. මේකා එන පාටක් නෑ. ‘අංකල් වැඩේ කරගෙන යන්න. මං ටාර් ගාලා එනවා’ කියලා ගාමිණි අංකල්ගේ පිටට තට්ටුවක් දාපු මං ගියේ සිරීව හොයන්න.
වටේ බලන ගමන් ගෙයි පිටිපස්ස පැත්තට යද්දිම මං දැක්කා සිරී අර කැලෑ පාරට හැරෙනවා වගේ. මං එතන්ට දුවද්දිත් ඌ පාරේ මැදක් හරියට ගිහින්. එතන ඉදන් ඌට කතා කරත් ඒකා නෙමේ පස්සවත් බෑලුවේ. ඒ ගමන මාත් කැලෑ පාරට පැන්නා. ඈතින් දොළ පාරේ සද්දේ ඇහෙනවා.
“මේකා වෙරිමරගාතේ නාන්නවත් යනවද..”
යනගමනුත් මං තුන්හතර පාරක් සිරී ට කෑ ගැහැව්වා. පුදුමේ කියන්නේ මේකගෙ වෙරි මෙච්චර ඉක්මනට බැස්ස එක..කෙළින් හිටගන්නවත් බැරිව හිටි එකා දැන් විදිල්ල වගේ.. ෆෝන් එක තිබ්බ හින්දා හොදට ගියා.. නැත්නම් මේ යන යැවිල්ලේ හැටියට මං කොහේ හරි කරණමක් ගහනවා.
“හරි උඹ කොහේහරි නවතින්නැතෑ” කියලා මාත් දැන් ඌ පස්සෙම යනවා. වතුර සද්දෙ සැරේට ඇහෙන්න ගන්නවත් එක්කම දැනුන සීතල නිසා දැන් දොළ පාරට කිට්ටු ඇති කියලා හිතුනත් හරි මෙන්න ඒ කිට්ටුවටම ඇවිල්ලා. “ඒත්..කෝ මේ දැන් මගේ ඉස්සරහින් ආපු එකා” ටෝච් එක අල්ලගෙනම මං දොළ පාරට කිට්ටු කරා.. “හිතුවා හරි..ඔය බැහැලා තියෙන්නේ දොළට” ඊයේ දොළට බහින්නවත් ආපු නැති එකා අද මොකද මේ.. මං ඌ දිහාට ටෝච් එක ඇල්ලුවා.
මූ වතුරේ උඩුබැල්ලෙන් ඉන්නවා. මං කතාකරත් ඌ හෙල්ලුනේවත් නෑ. මූ මැරිලාවත්ද..? ඒ වෙලාවේ කරන්න තිබ්බේ එක දෙයයි. මං ෆෝන් එක ගලක් උඩ රදෝලා වතුරට බැස්සා. ඒත්..එතනට කිට්ටු කරද්දි හිටියේ..වෙන එකෙක්.! නෑ..ඒ ගෑනියෙක්.!. කට්ට කළු ගෑනියෙක්..ඒකිගේ තිබ්බේ කොන්ඩේ..ඒක මොනවගේද .! හැඩපලු ගෙතිලා මහා දිගට තිබ්බා.
“මහත්තයෝ..මෙහෙ වරෙං..මෙහාට..මෙහාට වර..”
ආයිමත් සිරි ගේ කටහඩ. ඒත්..කෝ මේකා..සීතලට මාව ගල්වෙලා වගේ. වතුරෙන් ගොඩ වෙන්න පුදුම උත්සහයක් ගත්තා. ඒත් මට හෙල්ලෙන්නවත් බෑ. මං කෑ ගැහැව්වා..සිරි ගේ නම කියලා බෙරිහන් දුන්නා. ඒත්..ඒ ගමන ඉස්සරහ ඔන්න මෙන්න ලංවෙන්න හිටපු ගෑනි ආගිය අතේ නැතිවුනා.
මාව දැන් ගැහෙනවා. සීතලට වැඩිය බයට..ඒත් එක්කම මගේ පිටිපස්සේ කවුද ඉන්නවා දැනුනා. සීතලට ඇගේ ගෑවෙනවා..දෙයියනේ..මොකෙක්ද පිටිපස්සේ..මං හැරෙන්න හදනවත් එක්කම කව්දෝ මාව වතුරට එබුවා. ඔළුව ‘පටාස්’ ගාලා තඩි ගලකත් වැදීගෙනම මං දොළ මැද්දට වැටුනා. ඒත් මට නැගිටගන්න බෑ. මහා බරක්..හරියට යකඩ ගොඩක් ඇග උඩ වැටිලා වගේ..ඔළුවවත් උස්සගන්න බැරි තරමට වැලි අස්සේ හිරවෙන්න ගත්ත පාර මගේ හුස්ම හිර වෙන්න ගත්තා..මගේ ගෙදර..කැම්පස් එක..හැමදෙයක්ම ඔළුවට ආවා.
ඇයි මං අර කාළකන්නියා පස්සේ ආවේ..! ඒ සිතුවිලිත් එක්ක මගේ පපුව හිරවෙන්න ගත්තා..ඒ අමාරුව දරා ගන්න බැරිවුනා..ඒත්..එකපාරටම..
“අවලන් බල්ලා..පල අහකට..”
කියනවත් එක්ක මාව ටිකක් සැහැල්ලු වුනා වගේ දැනුනත්.. එතනින් එහාට වෙච්ච කිසි දෙයක් මගේ මතකේ තිබ්බේ නැහැ. සිහිය එද්දි මං හිටියේ ඇදක් උඩ. ගාමිණි අංකල්, චුට්ටේ, සිරි තව දන්නැති මූණු දෙකකුත් ලග හිටියා. ලගට ආපු සිරි මහා හයියෙන් අඩන්න ගත්තා.
“අනේ බුදු ම..මහත්තයෝ මට සමාවෙන්න..වෙච්ච කිසි දෙයක් මං හිතාමතා ක..කරේ නැහැ…..”
ඒ පාර මේකා මේ මොනවා කියවනවද කියලා..මං බැලුවේ ගාමිණි අංකල් දිහා.
“මහත්තයෝ..ඊයේ මං කීව්වේ.. මේකා ගැන මං හිටියේ හොද සෝදිසියෙන්..ඒත් පොඩ්ඩක් වැඩිවෙච්ච හින්දා..එතන පරක්කුවක් සිද්ද වුනා..ඒක මගේ වැරද්ද..නැත්නම් මහත්තයට මේ දේ සිද්දවෙන්නෑ..අපි යනකොටත් මූ ඒ මඩවගුරේ මහත්තයාව ඔබාගෙන..දෙයියනේ..මං හිතුවේ හැමදෙයක්ම ඉවරයි කියලා..මහත්තයාට ඒ වෙලාවේ සිහිකටක් නෑ..ඒකටත් වැඩිය මහත්තයෝ..එතන තිබ්බ දොල පාරක් නෑ..කැලෙන් වැහිච්ච මඩ වගුරක් තිබ්බේ..ඒක දැක්කත් හරි මං පුදුමවුනේ මහත්තයලා කොහොමද එතන නෑවේ කියලා…”
ගාමිණී අංකල් මේ මොනවා කියනවද..?අච්චර ලස්සනට තිබ්බ දොළ පාර..මඩ වගුරක්ලු..එතකොට අර ගෑනි..!
“ඔය ළමයි කලබල වෙන්න එපා මේක අහලා..මීට අවුරුදු තුන හතරකට කලින් හරියට ඔය දොළ මැද්දෑවේ ගෑනියෙක් මැරිලා හිටියා. මැරිලා නෙමෙයි මරලා දාලා..දස වද දීලා තිබ්බා ඒ ගෑනිට..ආරංචි කරලා බලද්දි මේ බංගලාවේ වැඩට හිටපු දෙමළ ගෑනියෙක්..ඒ කාළෙදිත් ඔය ළමයි වගේ බංගලාව සුද්දකරන්න කොල්ලෝ ටිකකට දීලා තිබ්බේ..උන් තමයි අපරාදේ කරලා තියෙන්නේ..
ඒ වෙනකන් ගමේ හැම එකාම ඔය දොළ පාරෙන් තමයි නා ගත්තේ..ඒත් ඔය සිද්දියෙන් පස්සෙන් පහු ගමේ එකෙක්වත් ඔය පැත්ත පළාතේ ගියේ නෑ..කාලෙත් එක්ක ඔතන දොළ පාරක් තිබ්බද කියල හොයාගන්න බැරි තරමට ඔතන කැලෑවෙන් වැහිලා ගියා..දැන් ඒක මඩ වගුරක් විතරයි..”
ඒක ඇහුවයින් පස්සේ මං මාර අවුල් වුනා. හීනෙන්වත් හිතපු නැති දෙයක් වුනාම කවුද අවුල් නොවෙන්නේ? ඔය කතාවෙන් පස්සේ මටත් වුනේ ඒකමයි..ඒ ගෑනි ඇස් ඉස්සරහට එන්න ගත්ත පාර ඒකෙන් මාව ගොඩගන්න තාත්තා මාර ගේමක් දුන්නා. ඒකෙන් යාන්තමට ගොඩ ආවා.. ඊට පස්සෙන් පහු නම් මොන ආසාව තිබ්බත් බාස් වැඩේ නම් මළාට බාරගත්තේ නැහැ…
