මන් නුඹේ – කෙටි කතාවකි

මන් නුඹේ

” ඒ මේ සුකියෝ.. අන්න අදත් ඉන්නවා යකෝ “

” කෝ මොකක්ද කව්ද “

” අර පොලිස් අයියා බං වෙන කව්ද “

” අනේ උබට පිස්සු “

වෙනදා වගේමයි අදත් ඉන්නවා රැක ගෙන. අනේ මන්දා මේ මනුස්සයාට වෙන වැඩක් නැද්ද කියලා. ඉස්කෝලේ පටන් ගනිද්දිත් ඉස්කෝලේ ගාවට එනවා. ඉවර වෙද්දිත් එනවා.කොටින්ම මම පාරකට බැස්සොත් මේ මනුස්සයා අනිවාර්යයෙන් පාරේ ඉන්නවානේ.

මම සුකීශා සසදුණි මුදියන්සේ .කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක තුර්කි භාශාව උගන්වන ගුරිවරියක් විදියට සේවය කරන මගේ උපන් ගම මාතර. මාතර වලව් පරම්පරාවකට දාව උපන් මට ගෙදරින් ගොඩක් ඈතකට ඇවිල්ලා තනියම ඉන්න ඕන කියන එක මට පොඩි කාලේ ඉදලම තිබුන උණක්. වලව්වක හිර වෙලා හැදුන මට එහෙම උණක් නොතිබුනොත් තමයි පුදුම. සියා තාත්තාගේ මරණේ දවස්වලම පත්වීම ලැබුන නිසා මං ගැන කාටවත් හොයන්න ලොකුවට වෙලාවක් තිබුනේ නෑ. ඉතින් ඒ වැඩ අස්සෙම ආච්චි අම්මාගෙන් මේ ගැන ඇහුවම එයා අඩ අඩාම

” අනේ හාමිනේ බලන්නකෝ සීයා… මට වාවන්නේ නෑ දෙයියනේ “

කියලා අඩන්න ගත්තේ මම එයාව බදාගෙනම ආයේ පාරක්

” මම යන්නද “

කියලා ඇහුවෙ එයා කටින්

” හා. හාමිනේ යමු “

කියලා පිටවෙද්දි. මගේ ෆෝන් එකෙන් ඒක රෙකෝඩ් කරගත්තේ පස්සට මේ දේවල් ඕන වෙන නිසා. මෙයාලගෙත් නියපොත්තේ ඉදන් බොරුව.ඉන්නකල් රණ්ඩු වෙලා දැන් බොරුවට කෑ ගගහා අඩනවා. ගෙදරින් එන්න ඕන වෙලා තිබුන ඒ උණ දැන් නම් හොදටම සනීප වෙලා තියෙන්නේ. අම්මා ළග නැතුව පාලුයි.

පළවෙනි පත්වීමෙන්ම කොළඹ පාසලකට එනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. ඒත් මට එහෙම අවස්ථාවක් ලැබුනේ ගොඩක් දෙනෙක් නොකරන භාශාවකින් මට පත්වීමක් තියන නිසා කියලා මම දන්නවා. මොකද අවුරුදු විසි හතරක , කොළඹින් පිට කිසිම දේශපාලන සම්බන්ධයක් නැති මම වගේ සාමාන්‍ය කෙල්ලෙක්ට පළවෙනි පත්වීමම මේ වගේ පාසලකට ගන්නවා කියන එක බොහොම අපහසු කාර්යයක්.

කිසිම කෙනෙක් නැතුව කොළඹ ආපු මට බෝඩිමේදී හම්බුනු යාලුවා තමයි ඕලු. දැන් මගේ ලගම වගේම හොදම යාලුවත් එයා තමයි. ගොඩක් වෙලාවට මට එයා මගේම අක්කා වගේ දැනෙන්නේ එයා මට වඩා අවුරුදු පහක් වැඩිමල් නිසා වෙන්න ඇති.

කොහොම වුනත් මේ මොහොතේ අපි දෙන්නම ඉදියේ හරිම තෙහෙට්ටුවෙන්. එක කාලච්ඡේදයකවත් නිදහසක් නැති සිකුරාදා කියන්නේ සතියේ මහන්සිම දවස. 120 බස් එක අල්ල ගන්න ඕන නිසාම අපි දෙන්නා මහන්සි නොබලා ඉක්මන් අඩි තියලා පාසල් සිසු සිසුවියන් අතරින් දුවන් එද්දි තමයි ඕලූ මට සුපුරුදු දර්ශනේ පෙන්නුවේ.

ගාණට නඩත්තු කරපු ඇග, තරු ගොඩක් අල්ලපු පොලිස් නිළ ඇදුමෙනුත් කැපී පෙනෙන පිම්බුනු මස් පිඩු, ඝන ඇහි බැමක් එක්කම මොණර පිහාටු වගේ දිගු ඇහි පිහාටු හිමි කාල වර්ණ දෑස්. කෙල්ලෙක් විතරක් නෙවෙයි කොල්ලෙක් වුනත් ආයේ හැරිලා බලන තරම් ලස්සනක් තියාගෙන මොන එහෙකට මං වගේ කෙල්ලෙක් පස්සෙන් එන්න මේ මනුස්සයට පිස්සුද මන්දා. එයාගේ ඇහි පිහාටු තරම් දිග නැති වුනත් මට තිබුණෙත් දිග ඇහි පිහාටු තමයි. පිට මැද්දට වෙනකන් දිගට තිබුණු ක්‍රේල් කොණ්ඩේ එක්ක වල ගැහෙන එක කම්මුලක් හිමි මගේ ලොකු ලස්සනක් නැති වුණත් සාමාන්‍ය ලස්සනක් තිබුණා.

” සුකී “

” ම්ම් “

” දැන් උඹ අරූ එක්ක කතා කරන්නෙම නැද්ද “

” මොන අරූ එක්කද “

” අර එස්.එස්.පී කාරයා එක්ක වදේ “

” අනේ මම මොනවා කතා කරන්නද “

” දැන් උඹ කොළඹ ආපු දවසේ ඉදන්ම ඒ මනුස්සයා උඹේ පස්සෙන් එන්නේ. උඹට ගාණක්වත් නැද්ද “

” මම මොකටද ඒක ගණන් ගන්නේ “

” උඹට කියන කට හොදයි අර අපේ සෙක්ශන් එස් එකේ තියන කැඩුණු බිත්තියේ උලා ගන්නවා “

” ඉතින් උලාගනින්කෝ මට මොකෝ “

” අම්මපා… ඒ අන්න බස් එක එනවා “

ඕලූ මොනවා හරි කියන්න ගියත් ඒක කියන්න බැරි වුනේ ඈතින් බස් එක එනවා දැකපු නිසා. මේ වෙලාවට බස්වල යනවා කියන්නේ එපාම කරපු දෙයක්. ට්‍රැෆික් එකත් අහුවෙන මේ වෙලාවේ අව්වයි රස්නෙයි මහන්සියයි එකට සෙට් වුනාම තමයි ආයේ හැරිලා ගෙදර යන්න හිතෙන්නේ. හැමදාම වගේ බස් එකට නගින්න කලින් මගේ ඇස් ගියේ අර පොලිස් උත්තමයා ඉන්න පැත්තට. මෙන්න ඉන්නවා අත් දෙකත් බැදගෙන සන්ග්ලාස් දෙකකුත් දාගෙන පොලිස් ජීප් එකට හේත්තු වෙලා. මම ඉක්මනට අනිත් පැත්ත බලාගත්තේ මම එයා දිහා බලපු එක එයා දකින්න කලින්.

බස් එකට නැග්ගම මටයි ඕලූටයි දෙන්නටම වාඩි වෙන්න පුලුවන් වුනේ මේ වෙලාවට බස් එකේ වැඩිපුරම ඉන්නේ පාසල් ලමයි සහ ගුරුවරු නිසා. දැන් ඉතින් මේ ට්‍රැෆික් එකේ නුගේගොඩට යනවා කියන්නේ විනාඩි හතලිස් පහක් විතර යනවා. ගොඩක් වෙලේ ඉදන් තිබුණු හිසේ කැක්කුමක් නිසා මම එහෙමම ශීට් එකෙන් ඔලුව තියාගත්තේ ඕලූ බස් එකට සල්ලි දෙන බව දන්න නිසා. ඕක මොකද්ද රුපියල් හැටයිනේ. ණය නෑ මොකද මම රෑට උයනවනෙ. ශීට් එකට ඔලුවත් තියාගෙන එක අතකින් ඉස්සර ශීට් එක‍යි අනිත් අතින් මගේ උකුලේ තියන ස්කූල් බෑග් එකයි මගේ හෑන්ඩ් බෑග් එකයි අල්ලගෙනම ඇස් පියාගත්ත මට මැවිලා පෙන්න ගත්තෙ බස් එකට නගින්න කලින් සන්ග්ලාස් දෙකත් දාගෙන ජීප් එකට හේත්තු වෙලා මම ඉන්න පැත්ත බලන් ඉදපු ඒ කරදරකාරයාගේ රූපේ. මම ඉක්මනින් ඇස් ඇරලා ආයෙම ඇස් පියාගත්තේ මම ඒ කරදරකාරයාව මුලින්ම දැකපු දවස මතක් වෙද්දි.

ගෙදර අය මට ගෙදරින් මෙච්චර දුර ඇවිල්ලා බෝඩිමක නැවතිලා රස්සාව කරන්න දෙන්නෙ නැති බව දන්න නිසාම සීයා තාත්තගේ අවසන් වැඩකටයුතු ඉවර වෙනවාත් එක්කම මම වලව්වෙන් පැනලා ආවේ කාටත් හොරෙන්. ලොකු බෑග් දෙකකුත් උස්සගෙන පත්වීම ලැබුනු දවසේ ඉදන්ම හොයලා හොයලා බොහොම අමාරුවෙන් හොයා ගත්තු නුගේගොඩ බෝඩිමට එන්න පිටත් වුනේ මාතරින් හවස හතරට විතර. කොළඹට එද්දි වෙලාව හවස හයයි හතලිස් පහ විතර වෙලා තිබුණෙ මගේ හිතේ බය දෙගුණ තෙගුණ කරලා. නොදන්න පළාතක තනි වෙලා ඉන්නවා කියන හැගීම මට එදා හොදටම තේරුනා මොකද ආපු කලබලේ නිසා මට ෆෝන් එක චාර්ජ් කරන් එන්න බැරි වුනා.

කොහොම හරි ස්ටෑන්ඩ් එකෙන්ම බැස්ස නිසා එතනින්ම නුගේගොඩට යන බස් එකක් අල්ලගත්තු මම කොන්දොස්තර

මාමාගෙන් පාර අහගත්තේ මොනා නැතත් එයා අහිංසක මනුස්සයෙක් වගේ පෙනුන නිසා. විජේරාම මාවතෙන් බැහැලා ටිකක් ඇතුලට ඇවිදගෙන යද්දී ඇනෙක්ස් එක තියෙනවා කියලා ඒ අන්කල් කිව්ව නිසා මම එයාටත් අත වනාගෙනම බස් එකෙන් බැස්සා. වෙලාව බලන්න කියලා හිතලා ෆෝන් එක අතට ගත්තමයි මතක් වුනේ ෆෝන් එක ඕෆ් වෙලා තියෙන්නේ කියලා. ඉතින් අතේ බැදලා තියන වොච් එකෙන් වෙලාව බලද්දී වෙලාව හතයි පනහ වගේ වෙලා තිබුණේ. පාරේ කට්ටිය ඉදියත් නොදන්න පලාතක් නිසා මම ඉදියේ නම් එසේ මෙසේ බයකින් නම් නෙවෙයි.

එක බෑග් එකක් පිටේ එල්ලගෙන තව බෑග් එකක් අතින් අල්ලගෙන තවත් පොඩි බෑග් එකක් කරේ එල්ලගෙන ෆෝන් එකත් නිදහස් අතින් අල්ලගෙන පිස්සෙක් වගේ ඉන්න මාව කවුරුත් එහෙම ලොකුවට ගනන් ගත්තේ නෑ. ඒ හැමෝම තම තමන්ගේ වැඩවල. එකපාර කවුදෝ මනුස්සයෙක් මගේ ඇගේ හැප්පිලා වේගෙන් දුවගෙන ගියේ මගේ අතේ තිබුන බෑග් එකත් බිමට වට්ටලා. බැලන්ස් එක නැතුව බිමට වැටෙන්න ගිය මම ලග තිබුණ තාප්පයක් අල්ල ගත්ත නිසා හරි ගියා. නැත්තම් පිටේ තිබුන බෑග් එකත් එක්ක ඉබ්බා අනිත් පැත්ත ගැහුවා වගේ වෙනවා.

බිම වැටුනු බෑග් එකත් උස්සගෙන ඇගේ වැදුන මනුස්සයාගේ මුලු පවුලම හිතෙන් මතක් කරන ගමන්ම මම ඇනෙක්ස් එක හොයාගෙන යන්න අඩිය තියද්දිම වගේ මට දැනුනේ අනිත් අත හිස් කියලා. අර ඇගේ වැදුනු මනුස්සයා මගේ ෆෝන් එක හොරකන් කරලා. අයියො ඒ ලගම තිබුණු පොඩි කඩයක් ලගට දුවලා ගිය මම විස්තරේ කිව්වේ ඒ කාගෙන් හරි උදව් ගන්න හිතාගෙන. එවෙලේ කඩේ හිටියේ වයසක මුදලාලි කෙනෙකුයි තව තරුණ උස කොල්ලෙකුයි විතරයි.

” අයියෝ… අනේ මාමේ.. අනේ මනුස්සයෙක් මගේ ෆෝන් එක අරන් දිව්වා.. අන්න අර පැත්තට ගියේ. අනේ උදව් කරන්නකො “

” ඔය වගේ දේවල් සාමාන්‍යයි නෝනා මෙහේ. තමන්ගෙ බඩු පරිස්සම් කරගන්න දන්නේ නැද්ද. දැන් ඔය අරන් දිව්වා කියන ෆෝන් එකේ කෑල්ලක්වත් හොයාගන්න බැරි වෙයි. “

මම ඒ මුදලාලිගෙන් අසරණ විදියට උදව්වක් ඉල්ලුවම ඒ මනුස්සයා කිව්ව දේ එක්ක මට එයාගේ තට්ටේ පලන්න හිතුනා. බොහොම අමාරුවෙන් ඉවසගෙන කඩේ තිබුණ පුටුවක වාඩි වෙලා තේ එකක් බිබී හිටපු තරුණ කොල්ලා දිහා බැලුවේ එයාගෙන්වත් උදව්වක් ගන්න පුලුවන් වෙයි කියලා. ඒ මනුස්සයා මගේ දිහා බලන් ඉදියේ හරියට යකෙක් දැකලා වගේ ඇස් දෙකත් ලොකු කරගෙන. ඒ ඉදිය විදිය දැක්කම මට ඒකා එක්ක කතා කරන්න හිතුනේ නෑ. හෙට උදේම පොලිසියටවත් යනවා කියලා හිතලා කඩෙන් මම එලියට බැහැලා ආවේ බලාපොරොත්තු කඩකරගෙන. ටික දුරක් එද්දිම..

” ස්ස් ස්ස් ඒයී..”

” මොකද “

” ෆෝන් එක හොයාගන්න ඕන නම් පොලීසිය ඇන්ට්‍රි එකක් දැම්මා නම් හරි. නැත්තම් එස්. එස්. පී හම්බුනා නම් හරි “

” ඇයි..එස්.එස්. පී කියන්නේ මම බදින්න ඉන්න කෙනාද මම කිව්ව ගමන් මගේ ෆෝන් එක හොයලා දෙන්න “

” කියන්න බෑනේ “

” මොකද්ද ඇහුන්නැ හයියෙන් කියනවකෝ බලන්න “

” නෑ නෑ.. යන තැනක පරිස්සමින් යනවා.. “

” යනවා තමයි “

” ගිය හැටි දැක්කා මම “

” අනේ මේ “

මේ මනුස්සයා මං දිගා බලලා නක්කලේට හිනා වෙලා ආයේ හැරිලා යන්න ගියේ මගේ යකා හොදටම ඇවිස්සෙද්දි. ඒත් මම හොදටම ඉවසගෙන ආයේ ඒ කොල්ලට කතා කරෙ මම මේ යන පාර හරිද දන්නේ නැති නිසා.

” මේ… මල්ලී… ඒයී මල්ලි .. “

” මල්ලී කිව්වෙ මේ මටද “

” ඔව් ඉතින් නැතුව වෙන අය නෑනේ.. “

” එහෙනම් කියන්නකෝ ලොකු අක්කේ “

ලොකු අක්කා පෙන්නනවා මම මූට දැන්. හොදටම කේන්ති ගිහින් හිටියත් කොහොම හරි බොරු හිනාවක් මූණට අරගෙන මම ඒ පිරිමි ලමයාගෙන් ඇහුවේ ඇනෙක්ස් එක තියන පාර.

” මේ මල්ලි. ***** ඇනෙක්ස් එකට යන්න මෙතන ඉදලා ගොඩක් ඇතුලට යන්න ඕනද”

” අනේ නෑ අක්කේ.. ඔතන ඉදන් ගියාම හම්බෙන තුන් වෙනි ගෙදර “

” අනේ බොහොම ස්තූතියි මල්ලි. “

” එසේම වේවා අක්කේ “

අනේ මට එන කේන්තියක්. හැමෝටම හිතෙන් බනින ගමන් ඇනෙක්ස් එකට ඇවිල්ලා එහේ ගේට්ටුව ඇරියේ කොහොමත් තව වෙන්න දේවල් නෑනෙ. ගෙදරට හොරෙන් ජීවිතේ පලවෙනි පාරට තනියම ගමනක් ඇවිල්ලා ඒකත් මේ මහ රෑ ෆෝන් එකත් නැතිවෙලා තව මොනවා වෙන්නද කියලා හිත හිතම දොරේ බෙල් එක එක දිගට ගහගෙන ගියේ ඇනෙක්ස් එක අයිති ආන්ටි කිව්ව විදියට තව ගෑණු ළමයෙක් ඒ ඇනෙක්ස් එකේ ඉන්නවා කිව්ව නිසා. ටික වෙලාවකට පස්සේ කව්දෝ දොර ඇරියෙත් මම බිමින් තියපු බෑග් එක ආයෙම අතට ගත්තෙත් එකටමයි. දොර ඉස්සරහ හිටගෙන හිටපු රූපේ දැකලා තව පොඩ්ඩෙන් මට සීයා තාත්තා එක්කම වැලගම්පිටි යන්න තිබ්බා.

ඒ හිටියේ ඕලූ. මම ජීවිතේ පලවෙනි පාරට ඕලුව දැක්කේ සුදු පාට දිග රෑ ඇදුමක් ඇදගෙන තෙත කොණ්ඩේ කඩා දාගෙන සුදු පාට ෆේස් පැක් එකක් මූණට දාගෙන මෝහිනීගේ නංගි රෝහිණී වගේ එකී ඉන්න වෙලාවක. අදටත් ඕක මතක් කර කර අපි හිනාවෙනවා. කොහොම වුනත් එදා කෙල්ල මගේ බෑග් ටිකත් අස් කරලා දීලා කන්නත් බෙදලා දීලා හොදට කතා බහ කරා. ඒ නිසාම මගේ හිතටත් සහනයක් දැනුනා එදා. පහු වෙනිදා උදේ මට වැඩ භාරගන්න තිබුන නිසා මම උදේම ලෑස්ති වුනේ ඉස්කෝලෙට යන්න. ඕලු නම් මට කලින් ගියේ එයා අද උදේම අමතර පංතියක් දාගෙන කියලා ඉස්කෝලේ ලමයි එක්ක. මම හිමින් ලෑස්ති වෙලා නිල් පාට සාරියකුත් ඇදලා ඒකටම ගැලපෙන්න කරාඹු දෙකයි මාලේයි වලල්ලකුයි දාලා ඒකටම ගැලපෙන්න නිල් පාට හීල්ස් දෙකක් දාගෙන නිල් පාට අරලිය මලක් වගේ කොණ්ඩ කටුවක් මගේ ක්‍රේල් කොණ්ඩේට ගහගත්තේ රෝස පාට ලිප්ස්ටික් චුට්ටකුත් ගාගත්තට පස්සේ.

ඕලු කිව්ව විදියට ස්කෝලේ ගාවින් මම බහිද්දී වෙලාව උදේ හතයි දහය වගේ වෙලා තිබුන නිසා මම ඉක්මනින් අඩි තියලා ස්කෝලෙට යන්නයි ගියේ ඒත් මාව එතනම නැවතුනේ කලින් දවසේ රෑ එස්.එස්.පීව හම්බෙන්න කියලා කියපු මල්ලි ස්කෝලෙට ටිකක් මෙහායින් හිටගෙන ඉන්නවා දකිද්දි. බුදු අම්මෝ… මේකාගේ බයික් එක. නමක් ගමක් නොදන්න නමුත් ශෝක් බයික් එක. අපේ මල්ලි වගේ දැක්කොත් පපුව පැලෙනවා ඒකාන්තයි. මම ඉතින් ස්ත්‍රී ශක්තිය පෙරට දාලා ඒ මෝඩයව දැක්කේ නෑ වගේ ඉස්සරහට යන්න ගියත් අඩි පහකට එහා මට යන්න නොලැබුනේ තාප්පයක් ඇවිල්ලා වගේ මේ මනුස්සයා මගේ ඉස්සරහ හිට ගත්තු නිසා.. බුදු අම්මෝ උස.. මමත් අර මොකාද එකා වගේ බෙල්ල උස්සල මේ පොල් ගහ දිහා බලද්දි ඔන්න ඉන්නවා ඉතින් නක්කල් හිනාව දමාගෙන.

” අනේ අක්කේ.. ඔයාගේ කටෙ තරමට උස නෑනේ “

” අනේ මේ.. අහකට වෙනවා “

” එතකොට මේ ෆෝන් එක එපාද “

” ෆෝන් එක “

” ඔව්.. ආ මෙන්න “

” හනේ… මගේ ෆෝන් එක තමයි. කොහොමද හම්බුනේ “

” හම්බුන විදිය වැඩක් නෑනේ අක්කේ ඔයාට.. කොහොම හරි හම්බුනානේ “

” අනේ තිස්තුන් කොටියක් දෙවියෝ ඔයාට රුපියල ගානේ දෙන්න ඕන මේ කරපු උදව්වට.. “

” මේකීගේ කට යකෝ.. ටීචර් කෙනෙක් නේද “

” නෑ.. පිස්සුද මම මනුස්සයෙක් “

” මට කෝල් එකක් ගන්න ෆෝන් එක පොඩ්ඩක් දෙන්නකෝ “

” ඇයි ඔයාට එකක් නැද්ද “

” තියනවා ඒක දාලා ඇවිල්ලා “

” ආ… එක කෝල් එකයි හරිද “

” හරි හරි බං “

” ආ මේ ඒක නෙවෙයි කොහොමද දන්නේ මම මෙහේ ටීච් කරනවා කියලා “

” උවමනාව තියනවා නම් හොයාගන්න එක මහලොකු දේවල් නෙවෙයි “

එහෙම කියලා මගේ ෆෝන් එකෙන් කෝල් එකක් ගත්ත සැනින් කලිසම් සාක්කුවෙ තිබුණු එයාගේ ෆෝන් එක රින් වෙන්න ගත්තේ මම ඇස් ගෙඩි දෙක පොල් ගෙඩි සයිස් කරගෙන එයා දිහා බලන් ඉද්දි.

” දැන් ෆෝන් එක ගෙදර දාලා ආවා කිව්වේ “

” මුලින්ම ඔය ඇස් දෙක යථා තත්වයට පත් කරගන්නවද “

” මෙහෙ දෙනවා මගේ ෆෝන් එක “

” ෆෝන් එක හොයාගෙන ඒක චාර්ජ් කරලා ඔක්කොම කරපු මට බැරිද සුදු අක්කේ ඔයාගේ නම්බර් එක හොයාගන්න ඒත් ඔයාට පේන්නම ඒක ගන්න ඕන නිසයි මෙහෙම ගත්තේ “

” මොකක්.. මොන විකාරයක්ද.. පිස්සුද මනුස්සයො “

” ඔව්නේ… ආඩම්බරකාර මොණර පැටික්කියෙක් නිසා”

” විකාර “

” දැන් ඉතින් කොහොමත් මගේනේ… ආයේ මගේ ඇස් මානෙන් පිට යනවා බොරු මොණරියේ හරිද “

ඒ වෙලාවේ මම මුකුත් නොකියා ගස්සලා ඔරවලා ඉස්කෝලෙට ආපූ විදිය අදටත් මතකයි. මට එවෙලෙ කියන්න දෙයක් හිතාගන්න බැරි වුනා. කොහොම වුනත් එදා ඉදන් මාස හතක් තිස්සේ හැමදාම උදේට හවසට එහෙම නැත්තම් මම පාරට බැස්සොත් අනිවාර්යයෙන් මේ මනුස්සයා පාරේ ඉන්නවාමයි. ඕලුටත් විස්තරේ කිව්වට පස්සේ තමයි දැනගත්තේ එයා තමයි එස්.එස්.පී කියලා. වැඩ නෑ වගේ මගේ පස්සෙන් එන මනුස්සයාට වැඩ එමටයි කියලා මම එදයි දැනගත්තේ. ඒ මදිවට මම මල්ලි කියලා කිව්වට එයාට දැන් තුස් එකක්ලූ .මගේ නම්බර් එක ගත්තට එකම එක දවසක්වත් මට කෝල් එකක් අරගෙන නැහැ එයා. හැබැයි හැමදාම උදේ ගුඩ් මෝනිම් මැසේජ් එකේ ඉදලා කන බොන එක විතරක් නෙවෙයි එයාගේ ෆොටෝ පවා මට එවනවා රෑ නින්දට යනකල්ම. මම ඒ ඔක්කොම බැලුවට කවදාවත් රිප්ලයි එකක් දාලා නෑ. ඒත් එයා එවන එක නතර කලෙත් නැහැ.

” සුකී.. නිදිද නැගිටින්න “

” ම්ම්..”

” බහින්නේ නැද්ද “

” ආ බහිමු. “

ඕලු ඇවිල්ලා කතා කරනකල්ම මම ඉදලා තියෙන්නේ අර මෝඩයා ගැන කල්පනා කර කරම තමයි. පස්සේ දෙන්නා එක්කම හෝල්ට් එකෙන් බැහැලා පයින්ම ඇනෙක්ස් එකට යන්න ගියෙ ඕලූ එයා බඳින්න ඉන්න අයියා එක්ක කෝල් එකකට වැටිලා මමත් මනෝ පාරක් ගහගෙනම ඇනෙක්ස් එකට ඇවිද ගෙන යද්දී.

මම ගෙදරින් ඇවිල්ල දැන් මාස හතක් වෙනවා. ඒත් තාම යන්න බැරි වුනා. මට බයයි යන්න මොකද අම්මයි මල්ලියි ඉදහිට කෝල් එකක් ගත්තත් තාත්තා තාම මාත් එක්ක කතා නොකරන නිසා. ඒත් මම වරදක් කරලා නැති නිසා මට දුකක් නෑ. පාඩුවේ මෙහෙට වෙලා ඉන්න එක හොදයි කියලා හිතුන නිසා ගෙදර නොයා ඉන්න තීරණය කලේ කොහොමත් ගියොත් ආයේ එන්න දෙන එකක් නැහැ කියලා දැනුන සාධාරණ බය නිසාමයි. ඇනෙක්ස් එකට ඇවිල්ලා හොදට නාලා මම එහෙමම නිදාගත්තා. මැරුනා වගේ නින්දකින් අවදි වුනු මං ඇද අත පත ගාලා ෆෝන් එක හොයාගෙන වෙලාව බැලුවම දැක්කේ වෙලාව හය හමාරයි කියලා. ඒ කියන්නේ මම හොද නින්දක් නිදාගෙන තියනවා. කුස්සිය පැත්තෙන් පොල් ගාන සද්දයක් එක්කම ටීවි එකේ සද්දේ ඇහෙද්දි තමයි මතක් වුනෙ අද මම උයන දවස කියලා. ඉක්මනට කාමරෙන් එලියට ආපූ මම බාත්රූම් එකට ගියේ මූණ චුට්ටක් හෝදගෙන කුස්සියට යන්න හිතාගෙන වුනත් මොකද්දෝ පාලුවකින් හිත පිරිලා වගේ දැනුන නිසා මූණත් චූට්ටක් හෝදගෙනම ආයේ කාමරේට ගියේ ෆෝන් එක හොයාගෙන.

වෙනදා හවසට එන මැසේජ් එකක්වත් අද ඇවිත් නැහැ කියලා දැක්කම නම් පපුව හීනියට රිදෙන්න ගත්ත නිසා මම ෆෝන් එක ඕෆ් කරලා ආයෙමත් ඔන් කරලා බැලුවේ ෆෝන් එක කැඩිලාවත්දෝ කියලා හිතලා. ඒත් නෑ. වෙනදා නම් මේ වෙද්දි මැසේජ් සීයක් විතර ඇවිල්ලා තියනවා.

‘ Nawada

‘ Nawa nam konde welagena nida ganne harida

‘ Baba koo

‘ Doida

වෙනදා මේ වෙද්දි ඇවිත් තියන එක මැසේජ් එකක්වත් අද නැති වෙද්දියි මට තේරුනේ මමත් එයාගෙන් මැසේජ් එකක් එනකල් බලන් ඉදලා කියලා. එයා අන්තිමට එවලා තිබුණ මැසේජ් එක දිහා බලාගෙනම මම ටිකක් වෙලා ඉදියේ අහේතුවකට ඇස්වලට කදුලුත් පිරෙද්දියි.

‘ Baboo ada nam wada godak mata.. E unata chuttak mage monarige muna balala yanna ennam hode..

ඒත් එකපාරටම ඕලූ කෑගහපු සද්දෙට මගේ අතේ තිබුණු ෆෝන් එකත් බිමට අතෑරුනා. ඉක්මනටම ඒකීව හොයන් යද්දී පොල් බෑයකුත් අතේ තියන් කට ඇරගෙන මේකී ටිවී එක දිහා බලන් ඉන්නවා .

” මොකද ගෑණියේ බෙරිහන් දෙන්නේ. තව පොඩ්ඩෙන් පපුවත් එක්ක නවතිනවා.. “

” පපුව නවතින්නේ මේක දැක්කම.. මෙහේ වර “

” ඇයි “

” ඔන්න ආයෙම යනවා අර නිව්ස් එක බලපන් “

මමත් එතකොට තමයි ටිවී එක දිහා බැලුවේ.

‘ මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්…පොලිසිය සහ මැර කල්ලියක් අතර වූ ගැටුමකින් කුඩු රංජි නමින් ප්‍රසිද්ධ මැර කල්ලි නායකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ කණ්ඩායම පොලිස් භාරයට ගෙන ඇත. මේ ගැටුමෙන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ආදිත්‍ය විශ්වජිත් මහතා වෙඩි වැදී රෝහල් ගත කර ඇති බව සදහන් වෙයි. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඔහුගේ තත්ත්වය බරපතල බව…’

එතනින් එහා කිසිම දෙයක් මට ඇහුනේ නෑ. මට හිටගෙන ඉන්නවත් පණක් තිබුනේ නෑ. මට හොදටම දැනුනා මගෙ කකුල් පණ නැති වෙලා මාව වැටෙන්න යනවා වගේ. ඒත් එක්කම ඕලු මාව අල්ලගන්නවා වගේ දැනෙද්දිම ඔක්කොම කලුවර වුනා විතරයි මට මතක. ආයේ මට සිහිය ආවේ කව්දෝ මගේ මූණට වතුර ගහනවා කියලා දැනුන නිසා. අමාරුවෙන් ඇස් ඇරලා බලද්දි ඒ හිටියේ ඕලූ. මම තවමත් බිම. ඔලුවට උඩින් කොට්ටයක් තියලා. ඒත් මගේ ඔලුවට ආවේ එක දෙයයි. මගේ ආදි…

” ආ..ආදී.. ඕලූ..මගේ ආදී. අනේ එයා මට එයා..එයා.. බලන්න “

මටත් කලින් මගේ කදුලු ඉස්සර වෙද්දි ඕලූත් කදුලු පුරවගෙනම මාව තුරුලු කරගත්තේ මම කෑගගහ අඩද්දි. පැය බාගයක් විතර එක දිගට අඬලා අඬලා මට හුස්ම ගන්න බැරි තරම් අමාරු වුනත් ඔලුව පැලෙන්න රිදුනත් ඇගට පණක් තිබුනේ නැති වුණත් මම නැගිටලා එලියට යන්න හැදුවේ ඕලුවත් දාලා. ඒත් මට කලින් ඉස්සර වුනු ඕලු මාව අල්ලගෙන මුකුත්ම නොකියා මගේ මූණ හෝදවලා ඇදුමක් අදින්න උදව් කරේ මම ඒ වෙද්දිත් පිස්සෙක් වගේ අඬ අඬ ආදිව ඉල්ලද්දි. පස්සෙ එයාම ත්‍රීවිල් එකකට කතා කරලා දෙන්නා එක්කම හොස්පිට්ල් එකට ගියේ අඳුර මුලු කොළඹම වහාගෙන ඉන්න වෙලාවක. හරියට මගේ හිත වගෙ.

හොස්පිට්ල් එකට ආවට පස්සෙ ආදි ඉන්න වෝඩ් රූම් එක අපි හොයන් ගියා . ඇත්තටම කිව්වොත් අපි නෙවෙයි ඕලු තමයි හොයන් ගියේ මම එයාට වාරු වෙලා එයා එක්ක ගියා විතරයි. අපි එනවා දැකලා එයා එක්ක වැඩ කරන ගොඩක් අය හිටපු තැන්වලින් නැගිටලා ඔලුවේ දාලා තිබුණු කැප් එක ගැලෙව්වේ මගේ පපුව එකසිය ගාණට ගැහෙන්න ගනිද්දි. එතකොටම ලේඩි පොලිස් ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා මාව වාරු කරගත්තේ ඕලුට තනියම මාව අල්ල ගන්න බැහැ කියලා හිතුන නිසා වෙන්න ඇති.

” අ..න්..නේ…හ් ම..ගේ ආ.දී මගේ ආදි එයා..හ් කෝ…”

” මැඩම් මේ වෙලාවෙ හයියට ඉන්න ඕන. චුට්ටක් මෙතනින් වාඩි වෙන්නකෝ “

” අනේහ් මට එයාව බලන්න යන්න දෙන්න අනෙ…”

” මැඩම් කලබල වෙන්න එපා. සර්ව රූම් එකකට දාලා තියෙන්නේ. සර්ජරි එකක් කරා ඒක සක්සක්. දැන් බය වෙන්න දෙයක් නැහැ. “

“මට එයාව බලන්න යන්න..ඕනේහ් “

” පුලුවන් මැඩම්.. හැබැයි ගිහින් අඩන්න එපා සර් එක්ක කතා කරන්න.. එතකොට සර්ට ඉක්මනින් සිහිය එයි කියලා ඩොක්ටර්ස්ලා කියලා ගියේ.. “

” අනෙ මම යනවා එහෙනම් “

” මැඩම්.. සර් මේ ඩයිරි එක දුන්නේ සර්ට කරදරයක් වුනොත් මැඩම්ට දෙන්න කියලා. තව ඩයිරි එකක් තියනවා. ඒත් කෝකටත් මේක මැඩම් කියවන්න “

මම කදුලුත් පිහදාගෙන සතුටින් එයා හිටපු කාමරේට යන්න හදද්දී ඒ හිටපු පොලිසීයේ කෙනා මගෙ අතින් තිබ්බේ ඩයිරි එකක්. ඒකේ ගහලා තිබ්බේ 2024 කියලා. ඒත් මේ 2026නෙ.. මම ඩයිරි එකත් අතට අරගෙන එයා හිටපු කාමරේට ගියේ පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනෙද්දි. හැමවෙලේම දිලිසෙන ඒ ලස්සන ඇස් දෙක පියවිලා. ඒ තොල් දෙක වේලිලා ගිහිල්ලා.. අනේ මට රිදෙනවා ඔයා ඔහොම ඉන්නකොට මගේ කරදරකාරයෝ. එයා ලගින්ම වාඩි වුනු මම එයාගෙ නළලට ලාවට හාදුවක් දීලා එයා දිහා ගොඩක් වෙලා බලන් ඉදියා. පස්සෙ අර ඩයිරි එක අරන් පෙරලලා බැලුවා.. ඒකේ ගොඩක් තැන්වල ලියලා නැහැ. පිටු කිහිපයයි ලියලා තියෙන්නෙ.

‘ 2024 මැයි 15

මම අද කෙනෙක්ව දැක්කා. කවදාවත් නැතුව මගේ හිත ගෑණු ලමයෙක්ව ඉල්ලන්න පටන් අරන්.. අනේ එයා හරි ලස්සනයි. දෙවනි මනමාලියෙක්ට ඇදලා තවත් ලස්සනයි. විදේශ්ගෙ වෙඩින් එකට මම ගියේ ඕනවට එපාවට උනාට ඒකෙන් වුනේ මට වෙන්න තියන හොදම දේ. ඌට තොත්තුවක් දෙන්න ඕන අනේ.. ‘

මට හැඩුම් අතරින්ම හිනා ගියේ ඒ ලියලා තියන එකට. මම කල්පනා කරේ කවුද මේ විදේශ් කියලා. අඩේ අපේ ලොකු නැන්දාගේ දුවගේ හබියා නේද.. අනේ අනේ සුදු මහත්තයෝ ඔයා මාව දන්නේ දැන් අවුරුදු දෙකක ඉදලනේ. තව පිටු ගාණකට පස්සේ තවත් නෝට් එකක්.

‘ 2024 සැප්තැම්බර් 13

අයියෝ අර කෙල්ල නම් මලකරදරයක්. මට මේකීව අමතක කරන්න බැහැනේ… ‘

මට ඒක කියවලා හිනහව නවත්තගන්න බැරි වුනා. මම තවත් පිටු පෙරලලා බලද්දි තවත් නෝට් එකක්..

‘ 2024 දෙසැම්බර් 31

මට ඒ කෙල්ලව අමතක කරන්න බැහැ.. මම දන්නවා දැන් මම එයාට ආදරෙයි කියලා. ඒත් මගේ ජීවිතේ ගොඩක් risky. එහෙම ජීවිතේකට ඒ වගේ මොණරියෙක්ව අරන් එයාගේ ජීවිතේ අනතුරේ දාන්න මට බැහැ. ඉතින් ආයේ හමුවුනත් නැතත් මම ඔයාට හරි ආදරෙයි මගේ මොණරියේ.. ‘

ඩයිරි එක වහලා දාපු මම එයාගේ සේලයින් ගහලා තියෙන අතක් අල්ලන් ඉකිගගහ අඩන්න ගත්තේ මේ දැනෙන හැගීම මට තේරෙන්නේ නැති නිසයි. ඇඬුම අතරින් මට හිනහත් යනවා..

” අඩ අඩ හිනාවෙන්න පිස්සුද මගේ කෙල්ලට “

” ඔ..ඔ.ඔයා..හ් “

” මම “

” කොයි වෙලේද නැගිට්ටේ.. අනේ අමාරුද…. කතා කරන්නකෝ මහත්තයෝ…. “

” ආඩම්බර මොණරිගේ මහත්තයාට අමාරු නෑ සතුටුයි”

” වෙඩි කාපු එකටද “

” වෙඩි කාලා හරි මගේ එකී මට හම්බුනානේ ඒ මදැයි”

” මෝඩයා “

“මොණරි “

” අනේ මේ”

” මගේ ආඩම්බරී… “

” ම්ම්. ඔච්චර කියවන්නෙ අමාරු නැද්ද “

” ටිකක් රිදෙනවා ඉතින්.. ඒත් ගාණක් නැ. අනික ඔයා මෙතනට එද්දිත් මම ඇහැරිලා ඉදියේ “

” මොකක් “

අයියෝ…. සුකීයෝ… අන්න උබේ නම්බුව මේ දැන් මෙතනින් ගහන් ගියේ… හෑයියා අනේ… මම එයාගේ තුවාල වෙලා නැති උරහිසකට මගේ හිස තියාගත්තා. මට ලාවට දැනුනා එයාගේ තොල් මගේ හිසේ නවතිනවා.

” මොණරි.. .”

” ම්ම් “

” ඔලුව උස්සනවකෝ “

” හ්ම්ම්ම් “

මම එයා දිහා බලද්දි එයත් ඉන්නවා මගේ දිහා කන්න වගේ බලාගෙන. අනේ ආදරේ හිතෙනවා අප්පා මේ බලන් ඉන්න විදියට ..

” මම ආදරෙයි මගේ හුස්මටත් වඩා මගේ ආඩම්බරකාර මොණරිට..”

” මමත් ආදරෙයි මගේ කරදරකාරයට “

මම එයාට තුරුලු වුනේ එයාත් මාව එයාගේ තුවාලේ නැති අතින් තවත් එයාගේ ඇගට තද කර ගනිද්දියි.

‘ අපේ ආදර කතාවත් අද ඉදන් අපි ලස්සනට ලියමු මගේ ආදි.. ‘

මම එයාට තව තවත් තුරුලු වුනේ එහෙම හිතාගෙනයි.

නිමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *