සහෝදරියයි ඇය මගේ -(කෙටි කතාව)

” ලොකු පුතේ .අනේ…………. නංගීට හොඳටම අමාරුයි මගේ මැණිකේ .ඉක්මනට ලංකාවට එන්න මැණිකේ………………” සීතල කැනඩාවේ හිම සෙල්ලම් කරමින් සිටි මගේ හදවතත් එක වරම සීතල වෙලා ගියේ අම්මාගෙන් ලැබුණු දුරකතන ඇමතුමත් එක්ක . සෙල්ලම පසකලා මම දුරකතන ඇමතුමට සවන් දුන්නා ” අම්මා ………….” මට කියාගන්න පුළුවන් උණේ එච්චරයි.

” නංගි ඔයාව අහනවා ලොකු පුතේ . අන්තිම වතාවට …………….පුළුවන් ඉක්මනට එනවාද මයේ අම්මා …………….” හදේ කැකෑරෙන වේදනවත් එක්කම මම ඇමතුම විසන්ධි කරලා ළඟ තිබුණ බෙන්ච් එකේ ඉඳගත්තේ ඇස් වලින් නොනවත්වා කඳුළු කැට කඩාගෙන වැටෙද්දි

මීට අවුරුදු තුනකට කලින් මම ලංකාවෙන් ආවේ ආයේ කවමදාකවත් ලංකාවට පය තියන්නේ නෑ කියලා හිතාගෙන. එදා මම ලංකාව අත ඇරලා ආවේ මගේ නංගි නිසා. අද මට ලංකාවට ආපහු යන්න වෙන්නෙත් මගේ නංගී නිසාමයි.

එත් දැන් මම ආයේ කොහොමද ලංකාවට යන්නේ ? අවුරුදු හතරක් පුරාවට අඬලා, දුක් විඳලා අමාරුවෙන් හදාගත්ත මගේ හිතට ආයේ දුකක් දෙන්නේ කොහොමද මම ? මම හැමෝම ගැන හිතුවත් කවුද මම ගැන හිතන්නේ ? නෑ මම යන්නේ නෑ ආයේ කවදාවත්ම යන්නේ නෑ . මට මාව වටිනවා මම ආයේ දුක් විඳින්න ලංකාවට යන්නේ නෑ . මට ඕන නෑ පරණ මතක අවුස්සලා ආයේ දුක් විඳින්න. මම එක හෙලාම තිරණය කරා ආයේ ලංකාවට නොගිහින් ඉන්න.

” අකී……What happened? …… Why are you waiting? Come play with us.” මරියානා ඈත ඉඳන් මට සෙල්ලම් කරන්න කතා කරත් මේ වෙලාවේ මට සෙල්ලම් කරන්න මූඩ් එකක් නැති නිසාම මම ආයෙම ගෙදර ආවේ හැම සතුටක්ම අත ඇරලා දාලා . ආව ගමන් ශවර් එක යටට ගිය මම පැය ගාණක් ශවර් එක යට ඉඳගෙන හිටියේ අතීත මතක එක්ක තනිවෙන ගමන්

මම අකීෂා ශවීන්ද්‍රි ,වෙද්දී මට වඩා විනාඩි කිහිපයක් බාල මගේ නිවුන් නංගි අදීෂා ශවිත්මි උණා. පුංචි කාලේ ඉඳලාම අපි දෙන්නාගෙම කැමැත්ත වුණේ එක වගේම දේවල් . නංගි පවුලේ බාලයා නිසා සමහර වෙලාවට මම කැමති දේත් එයාට දීලා මට සතුටු වෙන්න සිද්ධවුණා.

පුංචි කාලේ ඉඳලාම මම සංවේදී අහිංසක චරිතයක් වෙද්දි නංගි දඟකාර හිතුවක්කාරියක් උනා. එයාට දෙයක් ඕන උනොත් ඒ දේ අනිවාරෙන්ම ලබාගන්න චරිතයක් වුණා.

“ අකී …………………..A phone call from your mom….” අම්මාගෙන් ඇමතුම් එක දිගට එද්දී මම බාතෲම් එකෙන් එළියට ආවේ බාතෲම් එකේ නිදහසත් මට අහිමි වෙද්දි. “ අම්මා මම ඔයාට කිව්වා නේද ? මම එන්නෙ නෑ කියලා. ඔයාලා හැමදාම හිතුවේ අදීශා ගැන විතරයි. නිකමට වත් හිතුවාද මගේ හිතට මොන තරම් දුකක් දැනුනාද කියලා.

හැමෝම දාලා මෙහේ ඇවිත් මම දුක් වින්දා . මම ගැන කවුරුත් හිතුවද? ඇයි තවත් මට මෙහෙම දුක් දෙන්නේ දැන්වත් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න …………..මම ආයේ ලංකාවට එන්නේ නෑ කවදාවත් නෑ ……………..”

මම අඬ අඬ එක දිගට කියාගෙන යද්දි අම්මා ඇමතුම විසන්ධි කරා. ටික වෙලාවකට පස්සේ මගේ ෆෝන් එකට ආවේ වට්ස් අප් වීඩියෝවක් .. දෙයියනේ ඒක දැක්කම මට උන් හිටි තැන් අමතක උනා. මගේම නංගි………… අයි.සී.යූ එකේ මැෂින් ගොඩක් මැද්දේ ජීවිතයත් මරණයත් අතර සටනක.

එක කෙස් ගහක් වත් නැති ඔළුව, ඇස් බැමි පිහාටු නැති කලු වෙච්ච මූණ , ගිලා බැස්ස ඇස්, සුදු මැළිවුණු තොල් දැක්කගමන් මගේ අතින් ෆෝන් එක බිමට අතඇරුණා. තව දුරටත් මට මගේ හිත ගල් කරගෙන ඉන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මම ඉක්මනින්ම ටිකට් එක බුක් කරගෙන ලංකාවට ආවා.

ගෙදරට වත් නොයා මම කෙලින්ම ආවේ මහරගම පිළිකා රෝහලට… රෝහලට ඇතුළු වෙන තැන ඉඳන්ම වාට්ටුව ඇතුලට යද්දී මඟ දිගට හමුවෙන පිළිකා රෝගයට ගොදුරු වුණු පුංචි දරුවෝ, දෙමාපියෝ……..දැක්කාම මගෙ හිතට දැනුනේ පුදුමාකාර වේදනාවක්. අයි.සී .යූ කාමරය ළං වෙද්දී මගේ හදගැස්ම තව තවත් වැඩි වුණා.. මම ඈතින් එනවා දකිද්දිම ආදරය , වේදනාව, පුදුමය මේ හැමදේම මුසුවුණු මගේ අම්මා අඬාගෙන ඇවිත් මාව වැළඳගත්තා.

“ ලොකූ නංගි ඔයා වෙනුවෙන් බලාගෙන හිටියේ රත්තරන් . ඇතුළට ගිහින් කතා කරන්න “

අම්මා එහෙම කියලා මාව දොර ළඟට ඇරලුවත් මට නංගි ළඟට යන්න තරම් හයියක් තිබුණේ නෑ. අඩියෙන් අඩිය අයි,සි,යු කාමරයට ළං වෙද්දි මගේ දෙපා පණ නැති වේගෙන ආවා. අමාරුවෙන් හුස්ම ගන්න නංගී ළඟට ගිහින් මම හිමින් ඇගේ අත අල්ලගත්තා..

ඒත් එන්නම අඩවන් දෙනෙතින් මගේ දිහා බලපු නංගි අමාරුවෙන් මගේ දිහා බලලා හිනා උණා. “ මට සමාවෙන්න අක්කා…………..” නංගිට කියාගන්න පුළුවන් උනේ එච්චරයි . මගේ අත්ල මත තිබුන එයාගේ අත බිමට කඩාගෙන වැටෙද්දී මට කිසිම දෙයක් හිතාගන්න බැරි උණා. මම මොහොතකට ගොලු වුණා. ළඟ හිටිය නර්ස්ලා ඇවිත් කලබලෙන් නංගිව බලන අතරේ තවත් නර්ස් කෙනෙක් මාව එළියට එක්කගෙන ගියා .

ඒත් එක්කම කලබලෙන් එතනට කලබලෙන් දුවගෙන ආවේ මගේ පස් වසරක ප්‍රේමය, නමුත් දැන් මගේ එකම නංගිගේ ස්වාමිපුරුෂයා නිතේෂ්. නිතේෂ් මාව දැක්ක ගමන් පුදුම වෙලා මගේ දිහා බලාන ඉද්දී එයාගේ සුරතේ හිටපු අවුරුදු එකහමාරේ පුංචි සුරංගනාවි “අම්මා “ කියාගෙන මගේ අතට පැනලා පපුවට තුරුළු වුනේ හැමෝගෙම ඇස් කඳුලෙන් තෙත් වෙද්දී. පුංචි දෝණි මගේ අතට ආව ගමන් දෝණිව අත ඇරලා නිතේෂ් කලබලෙන් දුවගෙන ගියේ අයි, සී,යූ එක ඇතුලට.

“ සොරී මිස්ට කුලසේකර….. අපි අපිට පුළුවන් උපරිම දේ කරා. “ ඩොක්ටර් කෙනෙක් ඇවිත් එහෙම කියද්දි අම්මා කෑ ගහලා අඩන්න පටන් ගත්තා. නිතේෂ් තමන්ගේ අත බිත්තියේ ගහ ගනිමින් අඩන්න පටන් ගනිද්දී කිසිම දෙයක් නොදන්න පුංචි සුරංගනාවී මගේ පපුවට තුරුළු උනා.

මම තාම නිහඬයි .මගේ ආදරවන්තයා වගේම මගේම නංගිගේ ලේ වලින් උපන් පුංචි පැටියාව තුරුළු කරගෙන මම තව දුරටත් මුණිවත රැක්කත් මගේ ඇස් වලින් කඳුලු පිටාර ගැලුවේ ගල් කරගෙන හිටිය හිතත් වෙඬරු වගේ උණු වෙනවා කියලා මට මතක් කර දෙමින්.

ගෙවුණු සතිය මගේ හිත වගේම ගතත් දැඩිව පීඩාවට ලක්වුණු දුශ්කර කාලයක් උණා. පුංචි දෝණි මොහොතක් වත් මගෙන් ඈත් නොවී හීනෙන් පවා මාව හොයමින් අඩන්න පටන් ගත්තා. නංගිගේ අවසන් කටයුතු වලින් පස්සේ අම්මා මගේ ළඟට ආවේ හැඬූ කඳුලින්

“ ලොකූ…..මම දන්නවා ලොකූගේ හිතත් බිඳිලා තියෙන්නේ කියලා. ඔය දෙන්නාම මගේ දරුවෝ කිසි වෙනසක් කරලා නෑ මම. අදීශාට පොඩි කාලේ ඉඳලාම වැඩි සැලකිල්ලක් දුන්නේ අදීශා හාර්ට් පේශන්ට් කෙනෙක් වෙලා හිටිය නිසා නැතුව ඔයාට ආදරේ නැතුව නෙවේ මගේ රත්තරනේ…..” අම්මා එහෙම කියද්දී මම පුදුම වුණෙ අවුරුදු 29ක් වෙනකම්ම මම ඒ ගැන කිසිම දෙයක් නොදැන හිටිය නිසයි.

නංගි වත් මේ ගැන දැනගෙන හිටියේ නෑ . අවුරුදු 15ක් වෙනකම්ම අපි එයාව පරිස්සම් කරා……..මීට මාස 8කට කලින් අපි දැනගත්තේ නංගිට ලේ පිළිකාවක් කියල. මොනතරම් උත්සහ කරත් එයාව අපිට බේරගන්න බැරි උනා. එයාට ඕන උනේ අන්තිම මොහොතේ හරි ඔයාව බලන්න. නිතරම එයා ඔයා ගැන මතක් කරා….

එයාට අමාරු වෙන්න කලින් එයා මේ ලිව්ම ඔයාට දෙන්න කිව්වා…..” අම්මා එහෙම කියලා මගේ අතින් තිබ්බේ ලිවුම් කවරයක් . මම හිමින් හිමින් ලිවුම් කවරේ දිගඇරියා.

“ අකීෂා…….මේ ලිවුම කියවද්දී සමහර විට මම ඔයාලා ළඟ නැතිවෙන්න පුලුවන්. අඩුම තරමේ මරණෙන් පස්සේ වත් මට සැනසීමක් ලැබෙන්න නම් මට මේ ටික ඔයාට කියන්න ඕන කියලා හිතුණා. නංගි විදිහට මම කවදාවත් ඔයාගේ ජීවිතේට සතුටක් ගෙනත් දීලා ණෑ. ඔයා හැමදාම මම වෙනුවෙන් හැමදේම හිනා වෙලා අත ඇරියා.. ඔයාගේ නිතේෂ් පවා.

ඔයා දන්නවාද ඔයා වගේම මමත් නිතේශ්ට ගොඩක් ආදරේ කරා. ඔයාට වගේම මටත් නිතේශ්ව ඕන උනා. ඒත් නිතේශ් හැමදාම ආදරේ කරේ ඔයාට . ඔය දෙන්නා කසාදෙට දින තීන්දු කරලා තියෙද්දිත් නිතේෂ්ට හොඳටම බීලා හිටිය වෙලාවක එයා එක්ක නිදාගත්තේ එයාගෙන් දරුවෙක් හදාගත්තේ ඒ තරම්ම මම එයාට ආදරේ කරපු නිසා.

නිතේශ් නිසා මම ප්‍රෙග්නට් කියලා දැනගත්ත ගමන් ඔයා නිතේශ්ව මට දීලා හැමදේම අත ඇරලා රට ගියා. මම සතුටු වුනා නිතේශ් සදහටම මගේ කියලා. ඒත් ඒක කවදාවත් වුනේ නෑ. නිතේශ් කවදාවත් මට ආදරේ කරලා නෑ. මගේ දරුවා වෙනුවෙන් හැම යුතුකමක්ම කලා. ඒත් කවදාවත් මට ආදරේ දුන්නේ නෑ. මම හිතාගෙන හිටියේ නිතේශ්ගෙන් ඩිවෝස් වෙලා ආපහු එයාව ඔයාට භාරදීලා දෝණි එක්ක තනියම ජීවත් වෙන්න . ඒත් හිතුවේ නැති විදිහට මම කරපු පව් වලට මට දඬුවම් ලැබුණා.

අන්තිම වතාවට මට ඔයාගෙන් එකම එක ඉල්ලීමක් කරන්න තියනවා අක්කා……… මගේ දෝණිට අම්මා කෙනෙක් වෙන්න……නිතේශ් එක්ක මගේ දෝණිව භාරගෙන එක පවුලක් වගේ සතුටින් ජීවත් වෙන්න . මම අන්තිම වතාවට ඔයාගෙන් ඉල්ලන්නේ එච්චරයි…….. මට සමාවෙන්න අක්කා…..මට සමාවෙන්න….. ලබන ආත්මේ මාව ඔයාගේ නංගි නෙවේ ඔයාගෙම දරුවෙක් වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්තනා කරනව . ඔයාලා තුන් දෙනා හැමදාම සතුටින් ජීවත් වෙන්න. මගේ දෝණිව පණ වගේ බලාගන්න………………………”

ලියුමේ අන්තිම ටික කියවගෙන යද්දි මෙතෙක් වෙලා මුණිවත රැකගෙන හිටිය මම මහා හයියෙන් කෑ ගහලා අඬන්න පටන් ගත්තේ තව දුරටත් මේ දුක මට දරාගෙන ඉන්න අමාරු නිසයි. මොන තරම් තරහක් හිතේ තිබුණත් ඒ හැමදේම අමතක කරලා අන්තිම මොහොතේ හරි මට මගේ නංගි වෙනුවෙන් එයාගේ සැනසීම වෙනුවෙන් එයා ළඟට එන්න පුළුවන් උන එක ගැන මට සැනසීමක් දැනුණා. අඬලා අඬලා දුක තුනී කරගෙන අවසානෙදි මම ගත්තේ එකම එක තීරණයක් අදින් පස්සේ මගේ ජීවිතේම මේ පුංචි සුරංගනාවී වෙනුවෙන් කැප කරනවා කියලා

නිමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *