“අම්මෙ…මගෙ තාත්ත කෝ…එයාට මොකද වුණේ..?”
මගේ දුව නිතරම මගෙන් අහන ප්‍රශ්ණයක්..දුව පුංචි කාළෙ ඉඳන් අද වෙනකල් මේ ප්‍රශ්ණෙ මගෙන් අහනව…දැන් දුවගෙ වයස අවුරුදු විසි හතරක් ම වෙලා…මෙච්චර කල් මම ඇගේ තාත්ත ගැන රහස හංගගෙන හිටියත් තව දුරටත් ඒක දුවගෙන් හංගගෙන ඉන්න බැරි වෙයි…දැන් නම් ඒ ගැන කියන්නම වෙයි..
“අනේ අම්මෙ..මම අම්මගෙන් මේ ප්‍රශ්ණෙ ලක්ෂ වාරෙකට වඩා අහල ඇති…ඒත් අම්ම හැමදාම කළේ ප්‍රශ්ණෙ මග ඇරපු එක..දැන්වත් කියන්නකො..”
දුව පෙරැත්ත කරන්න ගත්ත..
“අනේ දුවේ..ඒ කාළෙ ගැන මතක් කරන්නවත් මම කැමති නැහැ…”
මම කිව්ව…පුංචි කාළෙ මග ඇරල හිටියත් දැන් දුවගෙන් බේරුමක් නැති බව මම දන්නව..
“අනිත් එක අම්මෙ තාත්ත නැතත් කෝ අපේ අනිත් නෑදෑයො..අම්මගෙ සහෝදරයො…මගෙ ආච්චිල සීයල..මේ කිසිම කෙනෙක් ගැන මම අහලවත් නැහැ..පොටෝ එකකින් වත් දැකල නැහැ…මගෙ තාත්ත ගැන වුණත් දැන ගන්න මටත් අයිතියක් තියනව නේද..?”
දුව කිව්ව..ඇගේ මේ ප්‍රශ්ණ එක්ක මම ගොඩක් අසරණ වෙනව..ඒත් මගෙ දුවට මට වගෙ දෙයක් වෙන්න දෙන්න බැහැ..මගෙ කතාව ඇයට කියන්න අවශ්‍ය වුණත් ඒක කොහොම පටන් ගන්න ද කියල මට තේරෙන්නෙත් නැහැ..දුව මම ගැන මොන විදියට තේරුම් ගනියි ද කියන බයත් මගෙ හිතේ තිබුණ..
“මම දුවට හැම දේම කියන්නම්..හැබැයි දැන් නෙමෙයි…නිවාඩු වෙළාවක අපි කතා කරමු..”
මම එවළෙට දුව ව පිරිමහගත්ත…
“ඔය නිවාඩු වෙළාව කවද එයිද දන්නෙ නෑ..”
කියපු දුව මගෙ ළඟින් යන්න ගියේ ටිකක් තරහින් වගෙයි..
මම නිරූපා..හරියටම මට ගැලපෙන නම..මට කොහොමත් ලස්සන රූපයක් නැහැ..දුව අහන මේ සිද්දිය වුණේ මීට අවුරුදු විසි හයකට විතර කළින්…මම එතකොට තරුණ වයසෙ..මම හිටියෙ දුශ්කර පලාතක..හරි හැටි අධ්‍යපනයක් ලැබුණෙ නැති නිසා සාමාන්‍ය පෙළින් අධ්‍යපනය අවසන් කරන්න මට සිද්ද වුණා…ඉගෙන ගන්න උවමනාවකුත් මට තිබුණෙ නැහැ..මගෙ වයස අවුරුදු විස්සක් විතර වෙනකල් ගෙදරට වෙලා තාත්තල කරපු ගොවිතැන් වැඩ වලට උදව් කරගෙන හිටිය මිසක් අනාගතයක් ගැන හිතුවෙ නැහැ…මට තවත් නංගි කෙනෙක් විතරයි හිටියෙ…ඈ නම් හොඳින් උවමනාවෙන් ඉගෙන ගත්ත..
“නංගි රස්සාවක් කරන්න හිතුවෙ නැද්ද..?”
අපෙ ලොකු තාත්තගෙ පුතා මගෙන් ඇහුව..ඔහු අපිට ළඟ ටව්මෙ ම රැකියාවක් කළා…
“නෑ අයියෙ..අම්මලාට උදව්වක් කරගෙන ඉන්නව..”
මම කිව්ව…
“මමත් මේ රස්සාව කරන ගමන් තාත්තගෙ වැඩ වලටත් උදව් කරනව…ගොවිතැන් කියන්නෙ ඉතින් අස්වැන්න ගෙට ගන්නකල් විශ්වාස නැති රස්සාවක් නෙ..ඒ නිසා ගෙදරක රස්සාවක් කරල ස්ථිර ආධායමක් ලබන කෙනෙකුත් ඉන්න ඕන..”
අයිය පැහැදිලි කළා..නංගිත් තව දුරටත් ඉගෙන ගන්න නිසා ඇයට දැන්ම රැකියාවකට යන්න බැහැ…ඇයගෙ අවශ්‍යතා වලටත් මුදල් අවශ්‍යයි..සමහර වෙළාවට තාත්තට ඒ දේවල් සපුරන්නත් බැරි වෙනව..
“අයිය කියන දේත් ඇත්ත තමයි දුවේ..අනිත් එක දුවට කීයක්වත් ඉතුරු කරගන්න හරි පුළුවන්නෙ රස්සාවකට ගියා නම්..හැමදාම මේ අව්වෙ කර වෙන්නත් බැහැනෙ කෙ/ල්/ලෙ/කු/ට..”
අම්ම වගෙම තාත්තත් අයියගෙ කතාව අනුමත කළා…
අපෙ ගමට ළඟම ටව්මෙ හැම තැනකම රස්සා හෙව්ව..අයියත් ඒකට උදව් කළා..ඒත් මම එච්චර ඉගෙන ගෙන නැති නිසා ලැබුණ රැකියා වලට සුදුසු කම් මදි වුණා…අවසානෙ දි රස්සා හොයන එක නතර කළා…
“අම්මෙ අපි වගෙ අයට කොළඹ නම් ඕන තරම් රස්සා තියනවලු…අයියත් කිව්ව තමන් හොඳ නම් ඕනම තැනක බය නැතුව ඉන්න පුලුවන් කියල..”
මට ලැබුණ ආරංචිය මම අම්මට කිව්ව..
“අනේ ඒක හරි යන්නෑ කෙ/ල්/ලෙ..”
අම්ම මුලදි කැමති වුණේ නැහැ…තාත්තත් ඒකට එච්චර කැමති වුණේ නැහැ…ඒත් අවසානෙදි කරන්න ම දෙයක් නැති තැන කොළඹින් රස්සාවක් හොයාගෙන ආවා…මාසෙකට වතාවක් විතර ලැබෙන නිවාඩුවක දී ගෙදර ගියා..ගෙදරින් පිට ඉඳල මට හුරු නැති නිසා බෝඩිම් ජීවිතේට හුරු වෙන්න මට ගොඩක් අමාරු වුණා…වැඩ ඇරිල ආවම ලොකු පාළුවක් දැනුන..ඒත් කාළයත් එක්ක මම ඒ ජීවිතේට නොදැනීම හුරු වුණා..
දින සති මාස නොදැනීම ගත වුණා…ඒ වෙද්දි මම සාමාන්‍යයෙන් හොඳ වැටුපක් ලැබුව..ඒත් මට කව්රුවත් හිතවත් වුණේ නැහැ…හිතවත් වුණත් කතා කළත් ඒක එවළෙට විතරයි..ඒ අයට උවමනාවක් තිබුණොත් ඒක වෙනුවෙන් විතරක් මම එක්ක හිටියා..ඒකට හේතුව මට ලස්සන රූපයක් නැති එක වෙන්න ඇති..ගමේදි ඉස්කෝලෙදි වුණත් මම කුලෑටි වෙලා ඉගෙන ගන්න උවමනාව නැති වුණේ ඒ නිසා…ලස්සන රූපයක් නැති එක මගෙ ජීවිතේට ම බලපෑව..හැම තැනකින්ම වගෙ මම කොන් වුණා..ගොඩක් අය කරපු දේවල් එක්ක මට ඒක ලොකු ප්‍රශ්ණයක් වුණා..සමහරු මගෙ රූපෙ නිසා මට අපහාස කළා..කොළඹට ආවත් තනියම ම බෝඩිම් කාමරේක හිටියෙ ඒ නිසා..ඒත් ඒක නිදහස් කියලත් වෙළාවකට මට හිතුණ..
“නිරූ…ඇයි ඔයා තනියම ම ඉන්න බලන්නෙ..?”
මාස ගණනාවකට කළින් හසන්ත මම එක්ක හිතවත් වුණා…ඔහු රැකියාවට ආවෙ මටත් පස්සෙ..ඒ ආපු දා ඉඳන් හසන්ත මම එක්කමයි වැඩ කළේ…ඒ නිසා ඔහු මට හිතවත් වුණා…ඒ ආයතනෙම වැඩ කරපු කාන්තා පාර්ෂවයෙ අය වගෙ හසන්ත මට වෙනස් කම් කළෙ නැහැ…ඒ නිසා මමත් කැමැත්තෙන් ඔහුව ඇසුරු කළා…
“මම ලස්සන නැහැනෙ හසන්ත…ඒ නිසා කව්රුත් මට කැමති නැහැ…”
මම කිව්ව…
“රූපෙ ගැන හිතන්න එපා නිරූ…ඒ හැමදේම තාවකාලිකයි…”
හසන්ත උපදෙස් දුන්න..
“මිනිස්සු කැමති පිට ඔපේට හසන්න..ඒ වගෙම තාවකාලික බව දැන දැනත් ආදරේ කරන්නෙ ඒ තාවකාලික දේවල් වලට…”
මම කිව්ව..ඔහු අහගෙන හිටිය…මම නොහිතපු විදියට ඔහු මම එක්කම හිටිය…අනිත් අය වගෙ එවළෙට කතා කරල බොරු මූණක් පෙන්නුවෙ නැහැ…
“ඔයා වගෙ මට හිතවත් ව හිටියෙ නෑදෑයො කිප දෙනෙක් විතරයි..”
මම කිව්ව..
“ඔයා තනි වෙලා ඉන්නව වගෙ මට පෙනුන…මමත් කැමති එහෙම අයට..එහෙම තනිවුණ අය තමන් එක්ක ඉන්න අය වෙනුවෙන් ඕන දෙයක් කරනව..ඒ හිතවත් කම රැක ගන්න හැම වෙළාවෙම උත්සාහ කරනව…”
හසන්ත ඇත්තටම හොඳ කෙනෙක් කියල හිතුන…ඔහු අපි වැඩ කළ කර්මාන්ත ශාලාවට වැඩි දුරක කෙනෙක් නොවන නිසා ඔහු මම වගෙ බෝඩිමක හිටපු කෙනෙක් නෙමෙයි…
“මෙච්චර දවස් ආශ්‍රය කළා..ඒත් මම නිරූ ගැන වැඩිය දේවල් දන්නෙ නැහැ නෙ..”
හසන්ත දවසක් කිව්ව…මගෙ ගොඩක් විස්තර මම ඔහු එක්ක බෙදාගත්ත…මට ඔහුව දැනුනෙ මගේ පව්ලෙ ළඟ ම කෙනෙක් වගෙ…
“ඔයාට බෝයි කෙනෙක් ඉන්නව ද..?”
මගෙ පව්ලෙ විස්තර හැම දේම කතා කළාට පස්සෙ ඔහු ඇහුව…මම කවදාවත් හිතින්වත් කෙනෙකුට ආදරේ කරල නැති නිසා ආදරේ කියන්නෙ මොකක්ද කියල වත් දන්නෙ නැහැ…
“මගේ මේ රූපෙට කො/ල්/ලො කැමති වෙයිද හසන්ත..?මෙච්චර කල් නම් කව්රුවත් මට කැමති වෙලා නැහැ..”
මම ඇහුව…
“ඔයාට පි/ස්/සු ද නිරූ..ලස්සන කන්නද..?”
“හ්හ්..ලස්සන නැත්නම් අපි බලුපැටියෙක් වත් හුරතල් කරනවද හසන්ත…ගොඩක් අය ආදරේ කරන්නෙ ලස්සන ලස්සන දේවල් වලට විතරයි…ඒ දෙකම නැත්නම් සල්ලි තියෙන්න ඕන..මට ඒ දෙකම නැහැනෙ..තිත්ත වුණත් ඒ ඇත්ත අපි පිළිගන්න ඕන හසන්ත…”
මම කිව්ව…
“හැමෝම එහෙම නෑ නිරූ..”
“හ්ම්…වෙන්න ඇති…කවද හරි මටත් එහෙම කෙනෙක් හමු වුණොත් මම ඔය කතාව පිළිගන්නම්..”
මම කිව්ව…
කාළයත් එක්ක මමත් හසන්තත් නොදැනීම ගොඩක් ලං වුණා..මට කොළඹ හිටපු විශ්වාසවන්ත එකම කෙනා වුණේ හසන්ත…ඒ නිසා ම අපි නොදැනුවත්වම ආදරවන්තයො වුණා…ඒ ආදරේ මට මහ මෙරක් වගෙ දැනුන..ජීවිතේ පළවෙනි වතාවට පිට කෙනෙකුගෙන් ලැබිච්ච ආදරේ ඒක..ඒ නිසා හසන්ත ට මමත් පණ වගෙ ආදරේ කළා…එ නිසා හසන්ත පිට කෙනෙක් කියල මට හිතුණෙ නැහැ…
නිවාඩු දවස් වලදි අපි උදේ වරුවෙ ඇවිද්ද..චිත්‍රපට බලන්න ගියා…විනෝද වුණා…කොළඹදි මුලින් දැනිච්ච පාළුව නැති වෙලා ගියා..මම වෙනුවෙනුත් කෙනෙක් මේ ලෝකෙ ඉන්න බව මට තේරුම් ගියා…ඉතින් ඒ ආදරේ මම රැකගන්න ඕනම දෙයක් කළා..
“හසන්ත..!!!මේ කව්ද..?”
දවසක් හසන්ත එක්ක පාරෙ ඇවිදගෙන යද්දි අවුරුදු එකහමාරක විතර පුතෙක් එක්ක ආපු ගැහැණු කෙනෙක් ඇහුවා..ඇගේ ඇස් වල කඳුළු පිරිල..ඒ වගෙම කේන්තියෙන් මූණ රතු වෙලා…
“ම්..ම්..මේ මගෙ යාළුවෙක්…”
හසන්ත ගොත ගැහුව…
“යාළුවා..!!මෙයා එක්ක ඇවිදින්න ද මේ දරුවගෙ වැඩේට වත් නොයා මගඇරල ආවෙ..?”
ඇය හොඳටම කේන්තියෙන්…
“ඔයා කව්ද..?”
මම ඇහුව…
“මම තමයි මෙයාගෙ කසාද ගෑ/ණි..!!මේ මෙයාගෙ දරුවා..”
ඇය කිව්ව..මගේ දෙපා ගැහෙන්න ගත්ත..මෙච්චර කල් අහිංසකයි හොඳයි කියල වංචා කාරයෙකුට රැවටුණ බව මම තේරුම් ගියේ එතකොට..
“වෙළාවට ඔයා ආවෙ අක්කෙ..මම මෙ බවක් දැනගෙන හිටියෙ නැහැ….මෙයා අපි දෙන්නව ම රවට්ටල..”
මම අඬමින් කිව්ව..
“ඇයි හසන්ත…මම මෝ/ඩ පාට නිසා ද මට මෙහෙම කළේ…?”
අහපු මම එතනින් යන්න ගියා….ආදරේ විශ්වාසය හැමදේම බොරුවක්…මෙච්චර රැවටීමක් කොහොම කළා ද..?ඊට පස්සෙ කීප වතාවක් ම හසන්ත මම හමුවෙන්න උත්සාහ කළත් මම ඒකට කැමති වුණේ නැහැ…හසන්ත අපි වැඩ කරපු තැනට ආයෙ වැඩට ආවෙත් නැහැ….පස්සෙ මමත් එතනින් වෙන ආයතනයක වැඩට ගියේ හසන්තගෙ මතක ඒ හැම තැනම තිබුණ නිසා..ඔහු බොරු කළාට මම ඔහුට බොරු නොකළ නිසා….
“නංගි..මට මිනිහෙක් නැති වුණාට නම් කමක් නෑ..ඒත් මේ අහිංසක දරුවට තාත්ත කෙනෙක් නැති කරන්න එපා..”
මම ළඟට ආපු හසන්තගෙ බිරිඳ කිව්ව…හසන්තවත් නොදැන ඔහුගෙ දරුවෙක් ඒ වෙද්දිත් මගෙ කුසේ හිටියා…මේ හැම දේම වුණාට පස්සෙයි මම ඒ බව දැන ගත්තෙ..ජීවිතේ නැති කරගන්න තරම් හිතුණ..ඒත් ඒකටත් මම බය වුණා…
“මෙච්චර දෙයක් වෙලා ඇති කියල මම හිතුවෙ නෑ නිරූ…අනේ මට සමාවෙන්න නිරූ…”
පස්සෙ දවසක හසන්ත මම හොයාගෙන ආවා…
“කරන්න තියන සේරම කරල දැන් ආවද සමාව ඉල්ලගෙන…ඇයි හසන්ත මට මෙහෙම කළේ…මගෙ ජීවිතේම විනාශ කළා…කවද හරි ත/මු/සෙ/ට මේව පලිසන් දෙයි..ඔයා බොරු කළාට මම බොරු කළේ නැහැ …කවදාවත් බොරුවට ආදරේ කළේ නැහැ…දැන් යන්න..ආයෙ කවදාවත් ඔය මූණ මගෙ ඇස් වලට දකින්නවත් මම කැමති නැහැ…ඔයාට මෙහෙම කරන්න මාවම ද අහුවුණේ හසන්ත…”
ඉන් පස්සෙ කිසිම දවසක හසන්තව දැක්කෙ නැහැ…ඔහු මගෙන් ප්‍රයෝජන ගත්ත විතරයි…මගෙ අසරණ කම ආයුධයක් කරගෙන මට ලං වුණේ ඒකට..ඒත් මම දැන් හොඳටම පරක්කුයි..රැයවල් පහන් වෙනකල් මම අඬන්න ඇති..ඒත් ප්‍රශ්ණෙ එතනමයි…
“ඔය කොළඹ ගිහින් කරගෙන ඇවිත් තියෙන්නෙ..!!”
ගෙදරන් මාව බාර ගනියි කියල හිතල ගෙදරට යනකොටම අම්ම බැන්න…එතකොට මගෙ කුසට මාස කීපයක් ම ගත වෙලා…දකින ඕනම කෙනෙකුට පේනව මම ගැබ්බර බව..
“මම කිව්ව කොළඹ යන්න දඟලනකොටම යන්න එපා කියල..දැන් හරිනෙ…අපිට තමයි පාරක බැහැල යන්න බැරි වෙන්නෙ..”
අම්ම එක දිගට ම බැන්න…
“දැන් ඉතින් කල් ගිහින් නිසා මේක නැති කරන්නත් බෑ…කොහෙ හරි ගිහින් ඉඳල ළමය ලැබුණම ළමයි නැති කෙනෙකුට දීල ගෙදර එනව…අපි මො/කෙ/ක් හරි හොයල බන්දල දෙන්නම්..”
තාත්ත කිව්ව..ආයෙ පිරිමි ගැන විශ්වාසයක් නැති නිසා මම තවත් කසාදෙකට කැමති නැහැ…ගෙදර හැමෝම කළේ බැනපු එක…මම රැවටිලා වරදක් කළා තමයි…ඒත් මේ දරුව ව වෙන කෙනෙකුට දෙන්න තරම් මට හිතක් නැහැ..
“ඔය ළමය ලැබුණම කාට හරි දීල මිසක් ආයෙ ගෙදර එන්න එපා..”
මම ආයෙ කොළඹ එනකොට අම්ම කිවව…දරුවව කාටවත් දුන්නෙ නැහැ..එදා ගෙදරින් ආපු එක මම තවමත් කොළඹ…එදා ඉඳන් කිසිම කෙනෙක් නැතිව තනිවම මගෙ කෙ/ල්/ල මම හදාගත්ත…දැන් හොඳ උගත් දරුවෙක්මට ඉන්නව…
“ඔන්න ඕක තමයි දුවේ කතාව..මෝ/ඩ කම නිසා ඇත්තටම මම අනාත වුණා…”
මම හැමදේම දුවට කිව්ව…
“අපි තාත්ත ව බලන්න යමුද අම්මෙ…?”
හැමදේම අහගෙන හිටපු දුව යෝජනා කළා….
“වැඩක් නෑ..ඒ මි/නි/හ දන්නෙවත් නැහැ මට ලැබුණෙ දුවෙක්ද පුතෙක්ද කියලවත්..කවදාවත් හොයන්න ආවෙ නැහැ…”
මම කිව්ව..
“ඒකත් ඇත්ත..ඒ වගෙ තාත්තෙක් දකින්නවත් ඕන නැහැ තමයි…ඒත් අම්මෙ අපි ගමට නම් යන්න ඕන…ඒ අය බලාගෙන ඇති කවද හරි අම්ම ගෙදර එයි කියල..දැන් ඒ තරහ නිමිල ඇති..”
“ජීවිතේ ඉතුරු ටිකත් තනියම ම ඉමු පුතෙ..”
මම කැමති වුණේ නැහැ…ඒත් දුව නිතර නිතර පෙරැත්ත කරපු නිසා අවසානෙදි මම කැමති වුණා…ඒත් කැමැත්තකින් නෙමෙයි…
කොළඹ ඉඳන් පැය හත අටක ගමනක්…සෑහෙන කාළෙකින් ගෙදර යන්නෙ..මග දිගට ගොඩක් දේවල් වෙනස් වෙලා…මුළු ගමම මම එදා යද්දි තිබුණට වඩා දියුණු වෙලා…ගෙදර හොයාගන්නත් මට ටිකක් අමාරු වුණා…ගෙදර තිබුණ තැන අලුත් ගෙදරකුත් හදල…
“දෙයියනේ…!!!ලොකු කෙ/ල්/ල..”
අවුරුදු විසි ගණනක් ගත වෙලත් අම්ම දැකපු ගමන් මම අඳුනගත්ත…අම්ම හොඳටම වයසට ගිහන්..මගෙ ළඟට ආපු අම්ම මම බදාගෙන හොඳටම ඇඬුවා…මම නොහිතපු විදියට ගෙදරින් මාව පිළිගත්ත…
“ඇයි පුතෙ මෙච්චර කල් ගෙදර ආවෙ නැත්තෙ..?අපි හිතුව ගඟ ක මූද ක වත් පැනල දුව ජීවිතේ නැති කරගන්න ඇති කියල..”
තාත්තටත් ගොඩක් වයසයි දැන්…
“මගෙ දරුව කාටවත් දීල මිසක් ආයෙ ගෙදර එන්න එපා කිව්වනෙ..ඒකයි නාවෙ..මේ ඉන්නෙ මගෙ කෙ/ල්/ල…මෙයා වද කරපු නිසයි මම මේ අදත් ගෙදර ආවෙ…”
මම දුව ව පෙන්නුව..අම්ම ආදරෙන් දුවගෙ මූණ අතගෑවා…නංගි දැන් ගුරුවරියක්..ඇයටත් දරුවො දෙන්නෙක් ම හිටිය…
“එවළෙ කේන්තියට කිව්ව මිසක් ඒක ගැන අපි පස්සෙ ගොඩක් දුක් වුණා…මොන දේ වුණත් උ/ඹ අපේ පළවෙනි දරුව…දරුවෙක් එක්ක අනාත වෙලා ගෙදර ආවම අපි ඒක කොහොම දරාගන්නද කෙ/ල්/ලෙ..?කමක් නෑ දැන් ඉතින් ගෙදර ආවනෙ…මෙච්චර උස්මහත් කරල මේ දරුව ව හදාගන්න තනියම මොන තරම් දුකක් විඳින්න ඇද්ද..”
අම්ම කිව්ව…
“දැන් ඉතින් දුවත් එක්ක මෙහෙ ඉන්න..”
නංගි වගෙම ඇගෙ සැමියත් කිව්ව…
“මම නම් හිතුවෙ නෑ කවදාවත් ලොකු කෙ/ල්/ල ගෙදර එයි කියල..”
තාත්ත අම්ම එක්ක කියනව ඇහුණ..හැමෝගෙම ඉල්ලීම නිසා දුවත් ගමේ ම නතර වෙන්න කැමති වුණා..ඉන් පස්සෙ කවදාවත් ඇය ඇගේ තාත්ත ගැන ඇහුවෙ නැහැ…
සමාප්තයි…
