අහඹු හමුවීමක් | හිතට දැනෙන ආදර කතාවක්

ඔයා මට කරපු දේට මම කවදාවත් සමාව දෙන්නේ නැහැ කවිදු! ඔයා හිතුවද මම හැමදාම ඔයාගේ ඔය පල් බොරු වලට අහුවෙයි කියලා? මම ඔයා වෙනුවෙන් කොච්චර දේවල් කරාද? හැබැයි ඔයා අන්තිමට මාව රවට්ටලා වෙන කෙල්ලෙක් එක්ක මැසේජ් කරනවා මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. අදින් පස්සේ මට මැසේජ් කරන්නවත්, කෝල් කරන්නවත් එපා. හැමදේම ඉවරයි! ආයේ මගේ මූණ බලන්න හිතන්නවත් එපා!”

​කවිෂ්ක මොහොතක් බලන් හිටියා. “මගේ නම කවිෂ්කනේ. මේ කවුද මේ කෑගහන්නේ?” ඔහු හිතුවා. මුලින්ම ඔහු හිතුවේ යාලුවෙක් කරපු විහිළුවක් කියලා. හැබැයි ඒ මැසේජ් එකේ තිබුණු වචන වල හැටියට ඒක විහිළුවක් වෙන්න බැහැ කියලා කවිෂ්කට හිතුණා. ඔහු හරිම සන්සුන්ව මෙහෙම රිප්ලයි එකක් යැව්වා.

​”කවුද මේ කියලා මම දන්නේ නැහැ. හැබැයි මට තේරෙන්නේ නැහැ ඔයා කාටද මේ මැසේජ් එක එවන්නේ කියලා. මගේ නම කවිෂ්ක. ඔයාට නම්බර් එක වැරදිලා වත්ද? පොඩ්ඩක් චෙක් කරලා බලන්න.”
​මැසේජ් එක ගිහින් තත්පර කිහිපයකින් ෆෝන් එක එකදිගට රින්ග් වෙන්න ගත්තා. ඒ අර නම්බර් එකමයි. කවිෂ්ක කෝල් එක ආන්සර් කරා.

​”ඔයාට තවමත් බොරු කරන්න පුළුවන්ද කවිදු? නම්බර් එක වැරදිලා කියන්න තරම් ඔයා මාව මෝඩයෙක් කියලා හිතුවද? මගේ කටහඬත් අමතක වෙන තරමට ඔයා වෙන කෙල්ලෙක් එක්ක ලං වෙලාද?” ෆෝන් එකේ එහා පැත්තෙන් ඇහුණේ කෙල්ලෙක්ගේ කටහඬක්. හැබැයි ඒ කටහඬේ තිබුණේ මාරම කේන්තියක් සහ අඬන සද්දයක්. ඇය වචන පටලවමින් කෑගැහුවා.

​කවිෂ්ක කලබල වුණේ නැහැ. ඔහු හරිම මෘදු විදිහට මෙහෙම කිව්වා. “අනේ පොඩ්ඩක් ඉන්න නංගි… පොඩ්ඩක් මම කියන දේ අහන්න. මම ඇත්තමයි කියන්නේ, මගේ නම කවිදු නෙවෙයි. මගේ නම කවිෂ්ක. මම වැඩ කරන්නේ අයිටී කම්පැනි එකක. ඔයාට ඇත්තටම නම්බර් එක වැරදිලා. ඔයා මැසේජ් එක දාපු නම්බර් එකේ අන්තිම ඉලක්කම් දෙක පොඩ්ඩක් ෆෝන් එකෙන් බලලා ආයෙත් චෙක් කරලා බලන්නකෝ.”

​කවිෂ්කගේ ඒ ස්ථීර, හැබැයි කරුණාවන්ත කටහඬ නිසාද මන්දා, එහා පැත්තෙන් එකපාරටම මහා නිශ්ශබ්දතාවයක් ඇති වුණා. අර අඬ අඬා හිටපු කෙල්ල කෑගහන එක නතර කරලා, ඇගේ ෆෝන් එක කනෙන් අයින් කරලා ස්ක්‍රීන් එක දිහා බලනවා කවිෂ්කට හොඳටම දැනුණා. තත්පර තිහක් විතර යනකම් කිසිම සද්දයක් නැහැ.

​ඊටපස්සේ ඇහුණේ හරිම හීනි, ලැජ්ජාවෙන් ගැහෙන කටහඬක්. “අයියෝ… මට මාර වැඩේනේ වුණේ. සොරි… ඇත්තටම සොරි අයියේ! මට මාරම වැරදීමක් වෙලා තියෙන්නේ. මගේ පැරණි පෙම්වතාගේ නම්බර් එකේ අන්තිමට තියෙන්නේ හැත්තෑ හතර. මම මේ තරහටයි කලබලයටයි හැත්තෑ හතර වෙනුවට හතලිස් හත ගහලා තියෙන්නේ. අනේ මට සමාවෙන්න මම ඔයාට නිකන් බැන්නට.”

​කවිෂ්කට එකපාරටම හිනා ගියා. “ඒකට කමක් නැහැ, ඕක ඕනෑම කෙනෙකුට වෙනවා. කලබල වෙලාවට ඔහොම තමා. හැබැයි ඉතින් ඔයා බැනපු බැනිල්ලට මගේ හෘද ස්පන්දනයත් නතර වුණා. මම හිතුවේ මම නොදැනුවත්වම ලොකු වැරැද්දක් කරලාවත්ද කියලා.”

​එහා පැත්තෙන් ඇයත් ලාවට හිනාවෙන සද්දයක් ඇහුණා. “මම සෙනුරි,” ඇය තමන්ව හඳුන්වා දුන්නා. “ඇත්තටම මම ගොඩක් අපහසුතාවයට පත් වුණා. ඔයා වෙන කෙනෙක් වෙලත් මගේ බැනිල්ල අහන් හිටියට තෑන්ක්ස්.”

​”මම කවිෂ්ක,” ඔහු කිව්වා. “ඕක ගණන් ගන්න එපා සෙනුරි. හැබැයි ප්‍රශ්න විසඳගද්දී ඔයිට වඩා සන්සුන් වෙන්න ඕනේ හොඳේ.”

​ඒ අහඹු කෝල් එක එතනින් අවසන් වුණත්, ඒකෙන් ඇති වුණු ලස්සන හැඟීම එතනින් නතර වුණේ නැහැ. එදා රෑ දොළහට විතර කවිෂ්ක නින්දට යන්න ලෑස්ති වෙද්දීම සෙනුරිගෙන් ආයෙමත් මැසේජ් එකක් ආවා. ඇය ආයෙත් මැසේජ් කරලා තිබුණේ හවස වුණ දේට සමාව ඉල්ලන්නයි. ඇත්තටම ඇය එදා හිටියේ ලොකු මනසට ප්‍රෙෂර් එකක කියලා ඇය කිව්වා. කවිෂ්ක ඇඳෙන් වාඩි වෙලා ඇගෙන් ඇහුවා දැන් ප්‍රශ්න විසඳුනාද, කවිදු එක්ක කතා කරාද කියලා.
​ඇය කිව්වා ආයේ කතා කරන්න දෙයක් නැහැ, හැමදේම ඉවර කරා කියලා. එයා සෙනුරිව රවට්ටපු පළවෙනි වතාව නෙවෙයිලු මේක.

​කවිෂ්ක ඇගේ කතාව හරිම ඉවසීමෙන් අහන් හිටියා. එතැන් සිට සති දෙකක් යනකම් ඔවුන් හැමදාම රෑට මැසේජ් හුවමාරු කරගන්න ගත්තා. සෙනුරි කියන්නේ විලාසිතා නිර්මාණකරණය හදාරන, හරිම සංවේදී හැබැයි ඒ වගේම කටකාර, දඟ කෙල්ලෙක්. දිනෙන් දින ඔවුන්ගේ කතාබහ දිගු වුණා. සෙනුරි තමන්ගේ අතීතය කවිෂ්ක එක්ක බෙදාගත්තේ හරියට අවුරුදු ගාණක ඉඳන් අඳුරන විශ්වාසවන්තම යාලුවෙක්ට වගේ.

​සෙනුරි කිව්වා කවිදුයි ඇයයි අවුරුදු තුනක් ආදරේ කරා කියලා. මුල් කාලේ එයා සෙනුරිට පණ වගේ හිටියත් පස්සේ පස්සේ එයා වෙනස් වෙලා තියෙනවා. සෙනුරි එයාගේ විලාසිතා ෂෝස් වලට සල්ලි පවා දුන්නේ තමන්ගේ අතේ තිබුණු පොකට් මනි වලින්. හැබැයි එයා සෙනුරිව හැමතිස්සෙම මඟහැරියා.

සෙනුරි මැසේජ් එකක් දැම්මොත් පැය ගාණකින් රිප්ලයි එවන්නේ ‘මම බිසී’ කියලා. හැබැයි එයා වෙන කෙල්ලෝ එක්ක පැය ගණන් ඔන්ලයින් ඉන්නවා. සෙනුරි ඒ ගැන ඇහුවම එයා සෙනුරිට පිස්සු කියලා කෑගහනවා. අන්තිමට එදා සෙනුරි දැකලා තියෙනවා එයා සෙනුරිගේම හොඳම යාලුවෙක්ට ලව් මැසේජ් යවලා තියෙනවා. සෙනුරිට ඒක දරාගන්න බැරි වුණ නිසයි එදා එච්චරටම කේන්ති ගිහින් තිබුණේ.

​කවිෂ්ක ඇයට උපදෙස් දුන්නේ සහෝදරයෙක් වගේම පරිණත කෙනෙක් විදිහටයි. ඔහු කිව්වා සෙනුරි කරේ ආදරේ කරපු එක විතරයි, වරද ඇගේ නෙවෙයි, ඇගේ ආදරේ වටින්නේ නැති කෙනෙක්ට ඒක දීපු එක කියලා. සමහර අය ජීවිත වලට එන්නේ ආදරේ කරන්න නෙවෙයි, ලස්සන පාඩම් කියලා දෙන්න නිසා දැන්වත් තමන්ගේ වටිනාකම තේරුම් ගන්න කියලා කවිෂ්ක සෙනුරිට පැහැදිලි කරා.

සෙනුරිත් ඒක පිළිගත්තා. කවිෂ්ක එක්ක කතා කරද්දී ඇගේ හිතට මාර නිදහසක් දැනෙනවා කියලා ඇය කිව්වා. කවිදු කවදාවත් ඇය කියන දේ අහන් හිටියේ නැති වුණට කවිෂ්ක ඇගේ ඕනෑම පිස්සු කතාවක් අහන් ඉන්න එක ඇයට ලොකු සහනයක් වුණා. කවිෂ්කත් විහිළුවෙන් කිව්වේ ඒ කතා ලස්සන නිසා අහන් ඉන්නවා කියලා.

​ඔවුන් දෙන්නාට හැමදාම රෑට මැසේජ් කරන්නේ නැතුව නින්ද යන්නේ නැති තත්ත්වයට පත් වුණා. උදේට ගුඩ් මෝනින් මැසේජ් එකෙන් පටන් ගන්න කතාව, දවස පුරාම සිද්ධ වෙන පොඩි පොඩි දේවල්, සෙනුරි අඳින අලුත් ඇඳුම් නිර්මාණවල ස්කෙච්, කවිෂ්ක ලියන කෝඩින් වල ස්ක්‍රීන්ෂොට් පවා හුවමාරු කරගන්න තැනට පත් වුණා. එකිනෙකා නොදැක්කත් ඔවුන්ගේ හදවත් පුදුමාකාර විදිහට එකිනෙකාට බද්ධ වුණා. සෙනුරිගේ හිනාව පිරුණු මැසේජ් එකක් දකිද්දී කවිෂ්කගේ මහන්සිය නැති වෙලා ගියා.

කවිෂ්කගේ එක වචනයකින් සෙනුරිගේ දවසම ලස්සන වුණා.
​සති තුනක් විතර යද්දී කවිෂ්කට තේරුණා තමන් දැන් සෙනුරිට ආදරය කරන්න පටන් අරන් කියලා. ඒක නිකන්ම නිකන් ෆෝන් එකෙන් ඇති වුණු ආකර්ෂණයක් නෙවෙයි, ඇගේ අවංකකමට සහ ගතිගුණ වලට හිත ඇදිලා යාමක්. ඔහුට ඕන වුණා සෙනුරිව සැබෑ ජීවිතයේදී දකින්න. ඔහු සෙනුරිගෙන් ඇහුවා හෙට හවස මුණගැහෙමුද කියලා. සෙනුරිත් දෙපාරක් නොහිතාම කැමති වුණා.

​මුණගැහෙන්න තීරණය කරපු දවසේ උදේ ඉඳන්ම දෙන්නටම තිබුණේ පුදුමාකාර නොසන්සුන්කමක්. කවිෂ්ක උදේ ඇහැරුණු වෙලාවේ ඉඳන්ම කල්පනා කළේ ඇඳිය යුතු ඇඳුම ගැනයි. ඔහු තමන්ගේ අල්මාරියේ තිබුණු හැම කමිසයක්ම එළියට ගත්තා. ඔහු කිසිම දවසක තමන්ගේ පෙනුම ගැන මෙච්චර වද වෙලා තිබුණේ නැහැ. “එයා මාව දැකලා අකමැති වෙයිද? මම මැසේජ් වලින් කතා කරනවා වගේ සැබෑ ජීවිතේදී ලස්සනට කතා කරයිද?” කවිෂ්ක කණ්ණාඩිය ඉස්සරහ හිටගෙන තමන්ගෙන්ම ඇහුවා. ඔහුගේ අත් පවා වෙව්ලනවා වගේ දැනුණා.

​අනිත් පැත්තෙන් සෙනුරිත් හිටියේ ලොකු ප්‍රෙෂර් එකක. ඇය ඇඳ පිරෙන්න ඇඳුම් විසුරුවාගෙන හිටියා. ඇය තමන් වෙනුවෙන්ම මසාගත්තු රෝස පාට දිග ගවුම අතට ගත්තා. කණ්ණාඩියෙන් තමන්ගේ මූණ දිහා බලද්දී ඇගේ හදවත ඩිග් ඩිග් ගාලා ගැහෙන්න ගත්තා. “කවිෂ්ක අයියා මාව දැක්කම මොනවා හිතයිද? එයා මට වඩා වයසින් මුහුකුරා ගිය කෙනෙක්. මම පොඩි එකෙක් වගේ හැසිරෙනවා කියලා එයා හිතයිද?” සෙනුරි තමන්ගේ හොඳම යාලුවට කෝල් එකක් දීලා ඇඬුවා. යාලුවා ඇයට හිනාවෙලා ධෛර්යය දුන්නා පිස්සු නැතුව යන්න කියලා.

​පහුවදා හවස කවිෂ්ක නිල් පාට කමිසයක් ඇඳලා, නියමිත වෙලාවට විනාඩි පහළොවකට කලින්ම කොළඹ බම්බලපිටියේ තියෙන, මුහුද පේන ලස්සන කැෆේ එකකට ගියා. ඔහුගේ හිත ඇතුළේ තිබුණේ ලොකු බලාපොරොත්තුවක්. ඔහු කෝපි එකක් ඕඩර් කරලා, තමන්ගේ ලැප්ටොප් එකත් මේසය උඩින් තියාගෙන දොර දිහා බලන් හිටියා. එකපාරටම ඔහුගේ ෆෝන් එකට සෙනුරිගෙන් මැසේජ් එකක් ආවා ඇය කැෆේ එක ඇතුළට ආවා, ඔයා කොහේද ඉන්නේ කියලා.

​කවිෂ්ක ඉක්මනට රිප්ලයි යැව්වා ඔහු ඉන්නේ දොරට දකුණු පැත්තේ තියෙන මේසේ, ලැප්ටොප් එක ඉස්සරහ තියාගෙන නිල් කමිසයක් ඇඳලා කියලා. ඇයට කිව්වා කෝල් එකක් ගන්න, එතකොට අඳුරගන්න ලේසියි කියලා.

තත්පර කිහිපයකින් කවිෂ්කගේ ෆෝන් එක නාද වෙන්න ගත්තා. ඔහු කෝල් එකට පිළිතුරු දීලා “හලෝ සෙනුරි…” කිව්වා. හරියටම ඒ වෙලාවේ, කැෆේ එකේ ප්‍රධාන දොර අසල හිටගෙන හිටපු, රෝස පාට දිග ගවුමකින් සැරසුණු ලස්සන කෙල්ලෙක් තමන්ගේ ෆෝන් එක කනේ තියාගෙන වටපිට බලනවා කවිෂ්ක දැක්කා. ඇය කවිෂ්ක දෙස බලා, ඔහුගේ නිල් කමිසය සහ ලැප්ටොප් එක දැකලා, මුහුණ පුරාම ලස්සන හිනාවක් මතු කරගත්තා.

​ඇය සෙමින් ඇවිදගෙන ඇවිත් කවිෂ්ක ඉස්සරහින් තිබුණු පුටුවෙන් වාඩි වුණා. කෝල් එක කට් කරපු ඇය, තමන්ගේ ලස්සන දෑස් දෙක දිලිසෙද්දී කවිෂ්ක දෙස බලා හුරතල් විදිහට ඇහුවා, “ඉතින්… මගේ වැරදුණු නම්බර් එක?”
​කවිෂ්ක මොහොතක් ඇය දිහා බලාගෙනම හිටියා. මැසේජ් වලින් විතරක් අඳුරගත්ත කෙල්ල මෙච්චර ලස්සනයි කියලා ඔහු හිතුවේ නැහැ. ඔහු ඇයට කිව්වා ඇයව මෙහෙම සැබෑවටම දකින්න ලැබුණු එක මාරම සතුටක් කියලා. සෙනුරිත් ලැජ්ජාවෙන් බිම බලාගෙන කිව්වා කවිෂ්කත් එයා හිතුවට වඩා ගොඩක් කඩවසම් කියලා. දෙන්නම හයියෙන් හිනා වුණා. ඒ හිනාව ඔවුන් අතර තිබුණු අමුතු නොසන්සුන්කම නැති කරලා දැම්මා.

​ඔවුන් කෝපි බොන ගමන් පැය එකහමාරක් විතර එකදිගට තමන්ගේ විස්තර කතා කළා. සෙනුරි කිව්වා කවිෂ්ක දුන්නු සපෝට් එක නැත්නම් ඇය තවමත් අඬ අඬා ඉන්නවා කියලා. ඇය දැන් ඇගේ අලුත් ඇඳුම් කලෙක්ෂන් එකක් කරන්න ලෑස්ති වෙනවලු. ඒ හැමදේටම ශක්තිය වුණේ කවිෂ්කගේ මැසේජ් කියලා ඇය කිව්වා. කවදාවත් දැකලා නැතිව කොහොමද මෙච්චර හොඳට තේරුම් ගත්තේ කියලා ඇය පුදුම වුණා. කවිෂ්කත් සන්සුන්ව කිව්වේ සමහර වෙලාවට අපිට ළඟ ඉන්න මිනිස්සුන්ට වඩා ඈතින් ඉන්න කෙනෙක්ව දැනෙනවා වැඩියි, මොකද එතනදී කතා කරන්නේ රූපයට වඩා හදවතට නිසා කියලා.

​කැෆේ එකෙන් එළියට එද්දී වෙලාව හවස හතට කිට්ටු වෙලා තිබුණා. එළියේ ලාවට වැස්සක් වැටෙන්න පටන් අරන් තිබුණා. බම්බලපිටිය පාරේ ලයිට් එකින් එක පත්තු වෙද්දී, මුහුද පැත්තෙන් ආපු සීතල හුළඟ පරිසරය හරිම ලස්සන කරා. සෙනුරි තමන්ගේ ගෙදර යන්න පික්මී එකකින් ත්‍රීවීල් එකක් එනකන් කැෆේ එකේ ඉස්සෙල්ලා වහලයට වෙලා බලන් හිටියා. සීතල හුළඟක් ඇවිත් ඇගේ කොණ්ඩය මූණට විසි කරද්දී, ඇය ඒක හදපු විදිහ කවිෂ්කගේ හිත හොරකම් කළා.

​”අයියේ, මගේ වීල් එක ආවා. මම යන්නම් එහෙනම්,” සෙනුරි කිව්වා.

​හැරලා යන්න හදපු සෙනුරිගේ අතින් කවිෂ්ක එකපාරටම ඇල්ලුවා. සෙනුරි ගැස්සිලා හැරිලා කවිෂ්ක දිහා බලද්දී, කවිෂ්කගේ ඇස් වල තිබුණේ මීට පෙර කිසිම දවසක නුදුටු ආදරණීය පෙනුමක්.

​”සෙනුරි… පොඩ්ඩක් ඉන්න,” කවිෂ්ක ඇගේ අත අතහරින්නේ නැතුවම කිව්වා. “මට ඔයාට එක දෙයක් කියන්නේ. මේක නොකියා මට අද රෑට නිදාගන්න බැහැ.”

​”මොකක්ද අයියේ?” සෙනුරිගේ හදවත වෙනදාට වඩා වේගයෙන් ගැහෙන්න ගත්තා. වැහි බිංදු ඔවුන්ගේ වටපිටාවට වැටෙද්දී සෙනුරිට දැනුණේ මුළු ලෝකයම නතර වෙලා වගේ.

​”එදා වැරදීමකින් ආපු එක කෝල් එකක් මගේ ජීවිතේට ආවා. මම සති දෙකක් පුරාම ආදරේ කරේ ඔයාගේ රූපයට නෙවෙයි සෙනුරි, ඔයාගේ ඒ අහිංසක, අවංක හදවතට. මම දන්නවා ඔයාගේ අතීතය බිඳිලා තියෙන්නේ කියලා. හැබැයි මට පොරොන්දු වෙන්න පුළුවන්, මම කවදාවත් ඔයාව ඒ වගේ තනි කරන්නේ නැහැ. මම ඔයාට ගොඩක් ආදරෙයි සෙනුරි. මගේ ජීවිත කාලයටම මගේ වැරදුණු නම්බර් එක වෙන්න ඔයා කැමතිද?”

​සෙනුරි මොහොතක් කවිෂ්කගේ ඇස් දෙස බලා සිටියා. ඇගේ ඇස් වලට කඳුළු පිරුණා. හැබැයි ඒ සතුටු කඳුළු. කවිදු ඇයට දුන්නු හැම වේදනාවක්ම කවිෂ්කගේ ඒ වචන ටිකෙන් දිය වෙලා ගියා. ඇයට තේරුණා සැබෑ ආදරය කියන්නේ තමන්ව රවටන කෙනෙක් පස්සේ යාම නෙවෙයි, තමන්ගේ හඬට ඇහුම්කන් දෙන, තමන්ට ගරු කරන මේ වගේ කෙනෙකුට ආදරය කිරීම කියලා. සෙනුරිට ඇත්තටම කවිෂ්ක ගැන ලොකු ආදරයක් හිතේ ඇති වුණා.

​සෙනුරි කිසිවක් නොකියා කවිෂ්කව තදින් බදාගත්තා. “මමත් ඔයාට ගොඩක් ආදරෙයි කවිෂ්ක අයියේ. මම හිතන්නේ ඒ නම්බර් එක වැරදුණාට, මගේ ජීවිතේට ආපු කෙනා නම් වැරදුණේ නැහැ. ඒක මගේ ජීවිතේ සිද්ධ වුණු ලස්සනම වැරදීම,” සෙනුරි කවිෂ්කගේ පපුවේ මුහුණ හංගගෙන කිව්වා.

​වැස්ස තදින්ම වහින්න ගත්තා. හැබැයි ඒ වැස්සට ඔවුන්ගේ ආදරයේ උණුසුම නිවන්න බැරි වුණා. කොළඹ බම්බලපිටිය පාරේ වැස්ස මැද, වැරදීමකින් ලියවුණු එක නම්බර් එකක් ඔවුන්ගේ ජීවිත කාලයටම නිවැරදි වුණු ලස්සනම ආදර කතාවේ සදාකාලික ආරම්භය වුණා.

​-අවසානයි-

Leave a Comment

error: Content is protected !!