නොපෙනුණු ආදරේ කතාව

නෙතුලිගේ දිනපොතේ එකම එක පිටුවක්වත් හිස්ව තිබුණේ නැත. නිල්, රතු, පෑනෙන් ලියැවුණු ලයිස්තු, මල් සැරසිලිවල මිල ගණන්, කේක් ඩිසයින්, බ්‍රයිඩල් ඇඳුම් මහන අයගේ දුරකථන අංක… මෙන්න මේවායින් තමයි ඇගේ මුළු ජීවිතයම පිරිලා තිබුණේ. නෙතුලි කියන්නේ වයස අවුරුදු විසිපහක විතර, හරිම දඟකාර, දකින කෙනෙක්ගේ හිත නිවෙන හිනාවක් තියෙන, හැබැයි තමන්ගේ රස්සාව පණ වගේ කරන Wedding Planner කෙනෙක්.

​ඇගේ දවස පටන් ගත්තේ උදේ හතරට විතර. ෆෝන් එක එක දිගට රින්ග් වෙද්දී, ඇස් දෙක පිහදාගෙන නැගිටින නෙතුලි, එතැන් පටන් රෑ දොළහ, එක වෙනකල්ම දුවන්නේ අනුන්ගේ ජීවිතේ ලස්සනම දවස හැඩ කරන්නයි. “නෙතුලි අක්කේ මේ මල මදි”, “නෙතුලි මේ බජට් එක වැඩි”, “නෙතුලි අක්කේ මනමාලයා එන්න පරක්කු වෙනවලු”… ඔන්න ඔය වගේ දහසක් ප්‍රශ්න මැද තමයි ඇගේ දවස ගෙවුණේ. අනුන්ගේ හීන ලස්සන කරන්න මල්, පාට, සහ ලයිට් තෝරන නෙතුලිගේ ජීවිතේ තිබුණේ වැඩයි, ඩෙඩ්ලයින් විතරයි. එයාට එයා වෙනුවෙන් කන්න, බොන්න, හුස්ම ගන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. යාළුවෙක් එක්ක කෝපි එකක් බොන්න, නිදහසේ සිංදුවක් අහන්න ඇයට වෙලාවක් තිබුණේම නැහැ.

​ඔහොම ඉන්නකොට තමයි නෙතුලිට ඇගේ කැරියර් එකේ ලොකුම ප්‍රොජෙක්ට් එකක් හම්බෙන්නේ. ඒ කොළඹ ප්‍රධාන පෙළේ බිස්නස් පවුලක වෙඩින් එකක්. මනමාලි වෙන්න හිටපු ශෙහාරා හරිම අහිංසක, නෙතුලි කියන ඕනම අදහසකට පොඩි ළමයෙක් වගේ සතුටු වෙන කෙල්ලෙක්.

​මුල්ම හමුවීම තිබුණේ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක කෝපි හැලක. නෙතුලි එතනට එද්දීම ශෙහාරා සතුටින් හිනාවෙලා ඇයව පිළිගත්තා. නෙතුලි ඇගේ ලැප්ටොප් එකයි, ටැබ්ලට් එකයි, පාට පාට මල් වර්ග තියෙන කැටලොග් එකයි මේසේ උඩ දිගඇරියා.

​”අනේ නෙතුලි අක්කේ, මට ඕන හරියට ලස්සන ගාඩන් එකක තියෙන ෆෙයාරි ටේල් එකක් වගේ වෙඩින් එකක්. මම හැමදාම හීන දැක්කේ ඒ වගේ දවසක් ගැන,” ශෙහාරා දෑස් දිලිසෙමින් කිව්වා.

​”බය වෙන්න එපා නංගි, ඔයාගේ ඒ හීනය මම ඒ විදිහටම හැබෑ කරලා දෙනවා. අපි තීම් එක විදිහට ‘Rustic Pastel’ ගියොත් ඔයා ආසම පින්ක් සහ ගෝල්ඩ් ටින්ට්ස් ටික ලස්සනට මැච් කරන්න පුළුවන්. හෝල් එකේ එන්ට්‍රන්ස් එකට අපි ලොකු ෆ්ලෝරල් ආච් එකක් ගමු…” නෙතුලි හිනාවෙලා විස්තර කරගෙන ගියා.

​හැබැයි ඒ සතුට තිබුණේ විනාඩි පහයි. එතනට ආවා ටිකක් සීරියස් පාට, උස, තේජවන්ත පෙනුමක් තියෙන තරුණයෙක්. ඇඳලා හිටපු නිල් පාට කමිසයේ අත් දෙක වැලමිට දක්වා නමාගෙන හිටපු එයා, කිසිම කතා බහක් නැතුවම මේසෙන් වාඩි වුණා. එයාගේ මූණේ තිබුණේ කිසිම හැඟීමක් නැති බැරෑරුම් පෙනුමක්. ඒ ශෙහාරාගේ ලොකු අයියා — කවින්.
​කවින් ආපු ගමන්ම නෙතුලි ඩිසයින් කරලා තිබ්බ මල් සැරසිලි සහ ලයිටින් ප්ලෑන්ස් දිහා බැලුවේ හරිම අප්‍රසාදයකින්. එයා නෙතුලි දිහා කෙළින්ම බලලා කතා කරන්න ගත්තා.

​”ඔයාද නෙතුලි?” කවින්ගේ කටහඬ හරිම රළුයි, බිඳක්වත් බුරුලක් නැති, කෙලින්ම ගනුදෙනු කරන ඩයල් එකක්. “මම කවින්, ශෙහාරාගේ අයියා. මට මේ ප්ලෑන් එක දැක්කම එක දෙයක් කියන්න ඕන. මම දකින විදිහට වෙඩින් ප්ලෑනර්ලා කරන්නේ සල්ලි නාස්ති කරලා ලොකු ‘ෂෝ’ එකක් දාන එක විතරයි. ඔය පින්තූරවල තියෙන අහස් මාලිගා ප්‍රායෝගික නැහැ.”

​නෙතුලිගේ මූණේ තිබ්බ හිනාව එකපාරටම නැති වුණා. ඇගේ හිතට ලොකු කේන්තියක් ආවා. තමන් මෙච්චර මහන්සි වෙලා හදපු ඩිසයින් එකකට ආපු ගමන්ම මෙහෙම කියද්දී කාටද කේන්ති නොයන්නේ?

​”සර්, මම මේ බිස්නස් එක කරන්නේ අවුරුදු තුනක් තිස්සේ සාර්ථකව. මම කරන්නේ ෂෝ එකක් නෙවෙයි, මිනිස්සුන්ගේ හීන හැබෑ කරන එක…” නෙතුලි තමන්ගේ කටහඬ පාලනය කරගෙන කිව්වා.

​”හීන දකින්න ලේසියි නෙතුලි, හැබැයි ඇත්ත ලෝකය ඊට වඩා වෙනස්,” කවින් ඇගේ කතාව මැදින් පැනලා, එයාගේ සාක්කුවෙන් ෆෝල්ඩර් එකක් අරන් මේසේ උඩින් තිබ්බා. “මේ තියෙන්නේ මට ඕන විදිහ. ටයිමින්, බජට් සහ කැටරින් මෙනු එක. හැම ගෙස්ට් කෙනෙකුටම පහසුව තියෙන්න ඕන. මට ඔය ලී කොට කෑලි බිම තියලා, ලක්ෂ ගණන්වල පරවෙන මල් එල්ලන ඒවට සතයක්වත් නාස්ති කරන්න බැහැ. මේකෙන් එක සතයක්වත් එහා මෙහා වෙන්න බෑ. හැම ඩීටේල් එකක්ම මම පෞද්ගලිකව චෙක් කරනවා.”
​කවින් නැගිටලා යද්දී නෙතුලිට කේන්තියට වෙව්ලනවා. මුළු කෝපි හැලම ඇයට එපා වුණා වගේ දැනුණා. ශෙහාරා බයෙන් වගේ නෙතුලිගේ අතක් අල්ලගත්තා. “අනේ සොරි අක්කේ… අයියා මං ගැන ඕනවට වඩා හොයනවා. එයා හැමදේම හිතන්නේ ප්‍රැක්ටිකල් විදිහට. එයා නරක කෙනෙක් නෙවෙයි.”

​නෙතුලි දිග හුස්මක් ඇරලා ටැබ්ලට් එක බෑග් එකට දාගත්තා. “හම්බුන මහ මූසල, මිලිටරි අයියෙක්… බලමුකෝ මම මුගේ සෙල්ලම් බස්සන්න. මම මේ වෙඩින් එක ලංකාවේ තියෙන ලස්සනම වෙඩින් එක කරලා මුගේ කට වහනවා,” නෙතුලි හිතින් බැන බැන සපථ කරගත්තා.

​ඊළඟ සති දෙක නෙතුලිට දැනුණේ හරියට යුද පිටියක් වගේ. කවින් කියපු විදිහටම එයා හැම පුංචි දේකටම ඇඟිලි ගැහුවා. හැමදාම උදේට කවින්ගෙන් නෙතුලිට ඊමේල් එකක් හරි මැසේජ් එකක් හරි එනවා. “මේ බජට් එකේ මේ අයිටම් එක අඩු කරන්න”, “මේ මල් වර්ගය ලංකාවේ නැද්ද?” වගේ දේවල් තමයි ඒකේ තිබුණේ.

​දවසක් දෙන්නටම සිද්ධ වුණා කේක් රෙසිපි ටේස්ට් කරන්න (Cake tasting) යන්න. කොළඹ ප්‍රසිද්ධ කේක් ස්ටූඩියෝ එකක මේසයක් උඩ පාට පාට, රහ පාට කේක් කෑලි දහයක් විතර තියලා තිබුණා. නෙතුලි හරිම ආසාවෙන්, සතුටින් චොකලට් කේක් කෑල්ලක් කටට දාගන්න හදද්දීම, කවින් එයාගේ සුපුරුදු නෝට්පෑඩ් එක දිගඇරියා.

​”පොඩ්ඩක් ඉන්න නෙතුලි. මේ කේක් එකේ ෂුගර් පර්සන්ටේජ් එක වැඩියි වගේ මට පේන්නේ. අපේ පවුලේ ඩයබෙටිස් තියෙන වයසක අය ඉන්නවා. ඒ අයට මේක කන්න බෑ. සීනි අඩු, හැබැයි රහ තියෙන එකක් බලන්න,” කවින් හරිම සීරියස් විදිහට කිව්වා.

​නෙතුලි කේක් කෑල්ල කටට දාගන්නේ නැතුවම මේසේ උඩින් තිබ්බා. ඇගේ ඇස් උඩ ඉන්දවුණා. “කවින් සර්, කේක් එකක් වුණාම පැණිරහ තියෙන්න ඕනේ. සීනි නැති කේක් කන්න වෙඩින් එකකට කවුද එන්නේ?” ඇය ඇහුවේ උපහාසයට වගේ හිනාවෙලා.

​”වෙඩින් එකකට එන්නේ කන්න විතරක් නෙවෙයි නෙතුලි. සතුටින් ගෙදර යන්න. කේක් කෑල්ලක් කාලා ලෙඩ වෙන්න කවුරුත් කැමති නෑ,” කවින් කිසිම වෙනසක් නැතුව කිව්වා. නෙතුලි කේන්තිය පාලනය කරගෙන කේක් කෑල්ල එක පාරටම කටේ ඔබාගත්තා.

​තවත් දවසක් දෙන්නා ගියේ මල් කඩේකට. නෙතුලි බොහොම අමාරුවෙන්, තමන්ගේ යාලුවෝ මාර්ගයෙන් හොයාගත්ත, පිටරටින් ගෙන්නපු ලස්සනම ලස්සන සුදු රෝස මල් පොකුරක් කවින්ට පෙන්නුවා. ඒ මල් දිහා බලද්දීම හිත නිවෙන පාටක් තිබුණේ.

​”මෙන්න මේවා තමයි මම ශෙහාරාගේ පෝරුවට පාවිච්චි කරන්න හිතන් ඉන්නේ. මේවා හරිම රෙයාර් මල් වර්ගයක්,” නෙතුලි ආඩම්බරෙන් කිව්වා.

​කවින් ඒ මල් පොකුර ළඟට ඇවිත්, ඒකේ එක නටුවක් අල්ලලා බැලුවා. “මේවා ලස්සනයි තමයි. හැබැයි ලංකාවේ තියෙන හියුමිඩිටි එකත් එක්ක හවස 2 වෙද්දී මේවා මැලවෙනවා. ඊටපස්සේ පෝරුව පේන්නේ පරවුණු මල් කඩයක් වගේ. ඊට වඩා හොඳයි ලංකාවේ වැවෙන සුදු ඇන්තුරියම් මල් පාවිච්චි කරොත්. ඒක අපේ බජට් එකටත් හොඳයි, දවස තිස්සෙම කිසිම ප්‍රශ්නයක් නැතුව අලුත්වට තියෙනවා.”

​නෙතුලිගේ අතින් මල් පොකුර මේසේ උඩට වැටුණේ කේන්තියටමයි. “ඔයාට හැමදේම සල්ලි සහ ප්‍රැක්ටිකල් පැත්ත විතරද කවින්? මිනිස්සුන්ගේ ආසාවල්වලට ඔයාගේ හිතේ කිසිම ඉඩක් නැද්ද?” ඇය කෑගහලා වගේ ඇහුවා.
​කවින් නෙතුලි දිහා මොහොතක් නිහඬව බලාගෙන හිටියා. එයාගේ ඇස්වල තිබුණේ වෙනස්ම හැඟීමක්. හැබැයි එයා කිසිම දෙයක් නොකියා එතනින් යන්න ගියා. දෙන්නා හම්බුන හැම තැනකදීම වුණේ මෙන්න මේ වගේ රණ්ඩු සරුවල්. කවින් හැමදේම බැලුවේ ඉංජිනේරුවෙක් වගේ ගණන් හිලව්වලින්. නෙතුලි හැමදේම බැලුවේ කලාකාරිනියක් වගේ හැඟීම්වලින්.

​කොහොම හරි කාලය වේගයෙන් ගෙවිලා ගියා. වෙඩින් එකට තව තිබුණේ දින පහක් විතරයි. කරන්න වැඩ කන්දරාවක් ඉතුරු වෙලා තිබ්බා. බජට් එක බැලන්ස් කරන එක, ටේබල් ලේඅවුට් හදන එක, සප්‍රයිස් ඩාන්ස් එකේ ටයිමින් හදන එක වගේ දේවල් නිසා දෙන්නටම රෑ වෙනකල් එකට හෝල් එකේ ඉඳන් වැඩ කරන්න සිද්ධ වුණා.

​දවසක් රෑ නවයට විතර ඇති. මුළු හෝටලයම හරිම නිශ්ශබ්දයි. වෙඩින් හෝල් එකේ පැත්තක ශෙහාරා සහ එයාගේ පෙම්වතා වෙඩින් එකේ කරන්න ඉන්න ‘Surprise Dance’ එක පුහුණු වෙනවා. සාලේ කෙළවරක තිබ්බ මේසෙක නෙතුලියි කවිනුයි ලැප්ටොප් එකක් දිගඇරගෙන බිල් වගයක් චෙක් කරනවා. දෙන්නගේම මූණුවල හොඳටම මහන්සිය පෙනුණා. නෙතුලිගේ ඇස් දෙක පියවෙන්න වගේ ආවා. එයා කෝපි එකක් බිබී ලැප්ටොප් එක දිහා බලාගෙන හිටියා.

​”ඇයි කවින් ඔයා හැමදේටම ඔච්චර ස්ට්‍රික්ට්?” නෙතුලි ඒ නිශ්ශබ්දතාවය බිඳලා සෙමින් ඇහුවා. “මට ඇත්තටම හිතාගන්න බෑ. මට හිතෙන්නේ ඔයා නංගිගේ වෙඩින් එකක් නෙවෙයි, මිලිටරි ඔපරේෂන් එකක් කරනවා කියලා. ඇයි ඔයා හැමදේම ඔච්චර පාලනය කරන්න හදන්නේ?”
​කවින් ලැප්ටොප් එකෙන් ඇස් අරන්, ඈතින් හිනාවෙවී සතුටින් ඩාන්ස් කරන ශෙහාරා දිහා බැලුවා. එතකොට කවින්ගේ මූණේ තිබ්බ හැමදාම දකින දරුණු, සීරියස් පාට නැති වෙලා ගියා. එයාගේ ඇස්වලට හරිම මෘදු, ආදරණීය බැල්මක් ආවා. එයා දිග සුස්මක් හෙළුවා.

​”අපේ අම්මා නැති වුණේ මට වයස අවුරුදු දහයේදී නෙතුලි,” කවින් හරිම හීන් හඬින්, හැඟීම්බරව කිව්වා. “එතකොට ශෙහාරාට වයස අවුරුදු පහයි. අම්මා නැති වුණු දවසේ ඉඳන් ඒ පොඩි කෙල්ල ඇඬුවේ මගේ පපුවට මුහුණ තියාගෙන. එදා ඉඳන් ශෙහාරා මට නංගි කෙනෙක් විතරක් නෙවෙයි, මගේම දරුවෙක් වගේ වුණා. තාත්තා බිස්නස් වැඩවලට බිසී වෙද්දී, මම තමයි එයාගේ අම්මා වුණෙත්, තාත්තා වුණෙත්. එයා හරිම අහිංසකයි, ලෝකය ගැන දන්නේ නෑ. එයා හීන විතරයි දකින්න දන්නේ. ඒ හීන බිඳෙන්න නොදී, කිසිම අඩුපාඩුවක් නොවී එයා සතුටින් තව ගෙදරකට පිටත් කරලා හරින්න මට හැමදේම පර්ෆෙක්ට් කරන්න වෙනවා. මම දරුණු වෙන්නේ නරකකට නෙවෙයි නෙතුලි, මගේ නංගිව පරිස්සම් කරන්න.”
​නෙතුලි කවින් දිහා බැලුවේ පුදුම වෙලා. ඇගේ හිත ඇතුළෙන් ලොකු දුකක් වගේම ගෞරවයක් ඇති වුණා. හැමදාම මිලිටරි ඩයල් එකක් වගේ පෙනුණු මේ මිනිහා පිටිපස්සේ ඉන්නේ තමන්ගේ නංගි වෙනුවෙන් පපුව උනන, තමන්ගේ මුළු තරුණ කාලයම නංගි වෙනුවෙන් කැප කරපු ආදරණීය සහෝදරයෙක් කියලා එයාට තේරුණේ එතකොටයි.

​”මම දන්නවා නෙතුලි…” කවින් නැවතත් නෙතුලි දිහා බලා හරිම ලස්සන හිනාවක් දැම්මා. “මම ඔයාට ගොඩක් කෑගැහුවා, රණ්ඩු වුණා. හැබැයි මම එක දෙයක් දැක්කා. ඊයේ රෑ දොළහ වෙනකල් ඉඳන් ඔයා ශෙහාරාගේ බ්‍රයිඩල් ඩ්‍රෙස් එකේ ගැලවිලා තිබ්බ පුංචි පබළු ටික තනියම වාඩි වෙලා මහපු විදිහ මම බලාගෙන හිටියා. ඔයා මේක කරන්නේ සල්ලිවලට විතරක් කරන රස්සාවක් විදිහට නෙවෙයි කියලා මට තේරුණා. ඔයා කරන්නේ මිනිස්සුන්ගේ හීන හැබෑ කරන එකම තමයි. තැන්ක්ස් ඒකට.”

​නෙතුලිගේ හදවත මෙන්න මේ වෙනකල් කවදාවත් නොවූ විදිහට වේගයෙන් ගැහෙන්න ගත්තා. ඇගේ මූණ රතු වුණා. කවින්ගේ ඒ අවංක වචන ටික ඇගේ මුළු සති දෙකක මහන්සියම එක නිමේෂයකින් නිවා දැම්මා. දෙන්නා එකිනෙකා දිහා බලාගෙන හිටියේ නන්නාඳුනන දෙන්නෙක් විදිහට නෙවෙයි, එකිනෙකාව තේරුම් ගත්තු ආත්මයන් දෙකක් වගේ.

​ඔන්න හැමෝම බලාපොරොත්තු වුණු වෙඩින් දවස උදා වුණා. නෙතුලි සති ගණනක් තිස්සේ ප්ලෑන් කරපු විදිහටම, හෝටලයෙන් පිටත තිබ්බ අවුට්ඩෝර් ගාඩන් එක හරියට සුරංගනා ලෝකයක් වගේ ලස්සන වෙලා තිබුණා. පැස්ටල් පාට මල්, සුදු පාට දිලිසෙන තිර රෙදි, හීන් සීරුවේ දල්වපු පුංචි බල්බ් වැල් සහ මනරම් පෝරුව නිසා මුළු පරිසරයම මනස්කාන්තයි.

​ශෙහාරා සුදු පාට බ්‍රයිඩල් ඇඳුමෙන් සැරසිලා හරියට දේවදූතයෙක් වගේ බැබළුණා. කවින් සුදු ජාතික ඇඳුමකින් සැරසිලා හරිම ගාම්භීර විදිහට ගෙස්ට්ලව පිළිගන්නවා. හැබැයි එයාගේ ඇස් නිතරම හෝල් එක වටේ දුවන්නේ නෙතුලි ඉන්නේ කොහෙද කියලා හොයන්න වගේ කියලා නෙතුලිටත් රහසින් තේරුණා. නෙතුලිත් අද ලස්සන සාරියක් ඇඳලා, වෙනදාට වඩා ලස්සනට හිටියා. කවින් එයා දිහා බලන හැම වතාවකම නෙතුලිගේ හිත ගැස්සුණා.
​හැබැයි ඉතින්, ජීවිතේ අපි හැමදේම ප්ලෑන් කරපු විදිහටම වෙන්නේ නැහැනේ.

​මංගල උත්සවය පටන් ගෙන පැයකට විතර පස්සේ, එකපාරටම හුළඟ සැර වෙන්න ගත්තා. අහස පුරා කළු වලාකුළු පිරිලා, මුළු පරිසරයම අඳුරු වුණා. නෙතුලි අහස දිහා බලලා බය වුණා. ඊළඟ නිමේෂයේදී මහා වැස්සක් කඩා හැළුණා. සැර සුළඟකුත් එක්ක වැස්ස වහිනකොට ගාඩන් එකේ හිටපු අමුත්තන් කෑගහගෙන හෝල් එක ඇතුළට දිව්වා.

​”අනේ දෙවියනේ… මගේ floral arch එක! මගේ පෝරුව!” නෙතුලි කලබල වෙලා කෑගැහුවා.
​සුළඟේ සැරට ප්‍රධාන පෝරුව ළඟ තිබ්බ, එයා දවස් ගණනක් මහන්සි වෙලා, නිදි මරාගෙන හදපු ලොකු මල් සැරසිල්ල කඩා වැටෙන්න ගියා. ඒක තෙමුණොත්, කැඩුණොත් ශෙහාරාගේ වෙඩින් ෆොටෝස් ඔක්කොම විනාශ වෙනවා. නෙතුලි කිසිම දෙයක් හිතුවේ නැහැ. තමන් ඇඳලා ඉන්න සාරිය ගැනවත්, සපත්තු ගැනවත් හිතන්නේ නැතුව එයා වැස්සේම දිව්වා.

​වැස්සෙන් හොඳටම තෙම තෙම, බේරෙන වතුර අස්සෙන් එයා ඒ බර මල් ව්‍යුහය බිම වැටෙන්න නොදී අත් දෙකෙන්ම බදාගෙන අල්ලගත්තා. වතුර බිංදු එයාගේ මූණ දිගේ, ඇස් දිගේ බේරෙනවා. සුළඟේ සැරට ඒක කෙළින් තියාගන්න බැරුව නෙතුලිගේ අත් දෙක වෙව්ලන්න ගත්තා. එයාට හොඳටම මහන්සියි.

​”නෑ… මම මේක වැටෙන්න දෙන්නේ නැහැ… ශෙහාරාගේ සතුට මම නැති කරන්න දෙන්නේ නැහැ…” එයා අඬ අඬා තනියම වැස්ස අස්සේ මුමුණ ගත්තා.
​එකපාරටම, තමන්ගේ ඇඟට වැටුණු වැස්ස නතර වුණා වගේ නෙතුලිට දැනුණා. කවුරුහරි එයාගේ පිටිපස්සෙන් ඇවිත්, එයාගේ අත් දෙක උඩින් තමන්ගේ ශක්තිමත් දෑත් තියලා, ඒ මල් සැරසිල්ල කෙළින් කරලා තදින් අල්ලගත්තා. නෙතුලි ගැස්සිලා හැරිලා බැලුවා.

​ඒ කවින්! එයාගේ සුදු ජාතික ඇඳුම සම්පූර්ණයෙන්ම තෙමිලා ඇඟට ඇලිලා තිබුණා. කොණ්ඩෙන් වතුර බිංදු බේරිලා එයාගේ මූණ දිගේ ගලාගෙන යනවා. හැබැයි එයාගේ ඇස්වල තිබුණේ හැමදාම තිබ්බ මිලිටරි පාට නෙවෙයි. නෙතුලි ගැන උපන් මහා ගෞරවයක්, කරුණාවක් සහ ලොකු ආදරයක්. කවින් නෙතුලිගේ අත් තවත් තදින් අල්ලගෙන, ඇයව තමන්ට කිට්ටු කරගත්තා.
​”මම මුලදීම කිව්වේ… වැස්සට plan එකක් තියෙන්න ඕන කියලා,” කවින් වැස්ස අස්සෙන් හිනාවෙලා හරිම ආදරෙන් කිව්වා.

​නෙතුලිගේ ඇස්වලින් වැටුණු කඳුළු වැසි වතුර එක්ක කලවම් වුණා. “මගේ ළඟ rain plan එකක් තිබ්බා කවින්… හැබැයි ඔයා වැස්සේ තෙමිලා මාව බේරගන්න මෙහෙම එයි කියලා මම මගේ ලයිෆ් ප්ලෑන් එකේවත් හිතලා තිබුණේ නැහැ,” නෙතුලි හතිලමින් කිව්වා.

​කවින් නෙතුලිගේ ඇස් දෙක දිහා කෙළින්ම බැලුවා. වැස්ස කොච්චර හයියෙන් වැටුණත්, අකුණු ගැහුවත්, මුළු ලෝකයම නිහඬ වුණා වගේ දෙන්නටම දැනුණා. කවින් නෙතුලිගේ මූණට නැඹුරු වුණා.

​”හැමෝගේම වෙඩින්ස් ලස්සන කරන, අනුන්ගේ හීන වෙනුවෙන් තනියම වැස්සේ තෙමෙන… ඔයාගේ ජීවිතේ ලස්සන කරන්නත්, ඔයාව හැමදාම වැස්සෙන් බේරගන්නත් කෙනෙක් ඉන්න ඕන නේද නෙතුලි?” කවින්ගේ ඒ බර, ආදරණීය කටහඬ නෙතුලිගේ හදවතේ ගැඹුරුම තැනකට දැනුණා. එයාට කිසිම දෙයක් කියාගන්න බැරි වුණා. එයා කවින්ගේ ඇස් අස්සෙන් තමන්ගේ මුළු ජීවිත කාලෙම හීන දැක්ක ඒ ආරක්ෂාව සහ ආදරය දැක්කා.

​හවස පහ විතර වෙද්දී වැස්ස සම්පූර්ණයෙන්ම නැවතිලා, අහස පායලා තිබුණා. කවින්ගේ ප්‍රායෝගික ප්ලෑන්ස් සහ නෙතුලිගේ සුපිරි මැනේජ්මන්ට් එක නිසා වැස්ස අස්සෙත් වෙඩින් එක කිසිම අඩුපාඩුවක් නැතුව සුපිරියටම ඉවර වුණා. හැම ගෙස්ට් කෙනෙක්ම නෙතුලිටයි කවින්ටයි ප්‍රශංසා කළා.
​හෝටලයෙන් එළියේ මනමාලියගේ කාර් එක ලෑස්ති කරලා තිබුණා. ශෙහාරා එයාගේ හස්බන්ඩ් එක්ක කාර් එකට නැග්ගා. යන්න කලින් එයා දුවගෙන ඇවිත් නෙතුලිව බදාගෙන ඇඬුවා. “තැන්ක්ස් අක්කේ… මගේ හීනය ඒ විදිහටම හැබෑ කළාට. ඔයා නැත්නම් අද මගේ වෙඩින් එකක් නෑ.” කවින් පැත්තකට වෙලා සතුටින් නංගි දිහා බලාගෙන හිටියා.

​කාර් එක සෙමින් ඉස්සරහට යද්දී, නෙතුලි පදික වේදිකාවේ පැත්තකට වෙලා සතුටු කඳුළු පිසදමමින් බලා සිටියා. හැමදාම වෙඩින් එකක් ඉවර වෙද්දී එයාට දැනෙන ඒ මහා තනිකම සහ හිස් බව අදත් එයාගේ හදවතට තදින්ම දැනුණා. මනාලියෝ සතුටින් තමන්ගේ ලෝකවලට යනවා, තමන් ආයෙත් සුපුරුදු තනිකමට, ඩයරි එකට සහ වැඩ කන්දරාවට යන්න ඕන. නෙතුලි දිග සුස්මක් හෙළුවා.
​”නංගි ගියා… ගෙදර පුදුම පාලුවක් තියෙයි දැන්,” පිටුපසින් ඇහුණ හුරුපුරුදු කටහඬකින් නෙතුලි හැරිලා බැලුවා.
​කවින් එයාගේ කෝට් එක ගලවලා අතේ තියාගෙන, කමිසයේ අත් දෙක නමාගෙන ඇය ළඟින් හිටගත්තා. එයාගේ ඇස් තවමත් තිබුණේ නෙතුලි දිහාමයි. එයාගේ මූණේ තිබුණේ හරිම සැහැල්ලු පෙනුමක්.

​”ඔව්… මටත් හැම වෙඩින් එකක් ඉවර වෙද්දීම ඔය පාලුව, තනිකම දැනෙනවා කවින්,” නෙතුලි හීන් හිනාවකින් බිම බලාගෙන කිව්වා. “හැබැයි කවින්… ඔයා නංගිට ගොඩක් හොඳ අයියෙක් වුණා. ශෙහාරා ගොඩක් වාසනාවන්තයි. එහෙනම් මම යන්නම්. මගේ වැඩ ඉවරයිනේ.”
​නෙතුලි එයාගේ බෑග් එකත් අරන් යන්න හැරුණා. ඇගේ හිතට ලොකු දුකක් දැනුණා.

​”පොඩ්ඩක් ඉන්න නෙතුලි,” කවින් ඇගේ අතින් සෙමින් ඇල්ලුවා. එයාගේ අතේ උණුසුම නෙතුලිගේ මුළු ඇඟ පුරාම දිව ගියා

​කවින් තමන්ගේ කලිසම් සාක්කුවෙන් වැස්සට තෙමී නැතුව, පරිස්සමට හංගගෙන හිටපු පුංචි සුදු රෝස මලක් අරන් නෙතුලිගේ අතින් තිබ්බා. නෙතුලි පුදුම වෙලා ඒ මල දිහා බැලුවා. ඒ ඔවුන් අර මල් කඩේදී රණ්ඩු වුණු, කවින් එපා කියපු, හැබැයි නෙතුලි ආස වුණු සුදු රෝස මලමයි! එයා ඒක රහසින්ම අරන් පරිස්සම් කරලා තියෙන්නේ.

​”වෙඩින් එක නම් ඉවරයි නෙතුලි…” කවින් ඇගේ මූණට එබිලා, එයාගේ ජීවිතේ පළමු වතාවට හරිම ලස්සන, නිදහස්, ආදරණීය හිනාවක් දාලා කිව්වා. “හැබැයි මං හිතන්නේ… අපේ කතාව දැන් පටන් ගන්න වෙලාව.”

​නෙතුලි මොහොතක් ඒ සුදු රෝස මල දිහා බලාගෙන හිටියා. ඇගේ ඇස්වලින් සතුටු කඳුළු කඩාගෙන වැටුණා. ඊටපස්සේ ඇය කවින් දිහා බලා, ඇගේ මුළු ජීවිතේම තිබ්බ හැම මහන්සියක්ම, පාලුවක්ම නැති වෙලා යන ලැජ්ජාශීලී, සැබෑ සතුට පිරුණු හිනාවකින් මූණ සරසා ගත්තා.
​ඇය කවින්ගේ අත තදින් අල්ලා ගත්තා. අනුන්ගේ හීන හැඩ කරපු බිසී Wedding Planner ගේ ජීවිතයට, එයාගේම කියා ලස්සනම හීනයක්, ආදරණීය කතාවක් පායන්න පටන් අරන් තිබුණා.

කතාව අවසන්…

🎥 මේ කතාවට අදාළ වීඩියෝව මෙතනින් බලන්න:

Leave a Comment

error: Content is protected !!