අවුරුදු දහයකට විතර පස්සෙ පාසල් මිතුරියක ගෙන් විවාහ මංගල අරාධනාවක්…මට සතුටු හිතුණ..කාළෙකින් ඉස්කෝලෙ යාළුවො ආයෙ හමු වෙන්න පුළුවන්…පරණ යාළුවො ගොඩක් එතනට එයි…මතක් වෙද්දිත් හිතට සතුටුයි..
“අට වෙනිද වෙඩින් එකක් තියනව ඔයත් එනවද..?”
මම සැමියගෙන් ඇහුව…
“මට එන්න වෙන්නෑ ඔයා දුවත් එක්ක
යන්න..”
අපේ දුවට තවම අවුරුද්දයි..
මම ඔහු ට බල කළේ නැහැ..රැකියාවත් එක්ක ඔහු කාර්යබහුලයි..
කාළෙකින් හමු වෙන යාලුවො දකින්න ආසාවෙන් මම හිටිය..
යාළුවො හැමෝම පෙනුමෙන් වෙනස් වෙලා…ඉස්කෝලෙන් අයින් වෙච්ච දාට පස්සෙ අදයි මේ හැමෝම දකින්නෙ…ඇත්තටම සතුටු දවසක්..
“සමනලී…!!අරයට විනාඩියකට ඔයා එක්ක කතා කරන්න ඕනලු..”
කෙනෙක් ළඟට ඇවිත් කිව්ව..මම හිටියෙ මගෙ පන්තියෙ හිටපු යාළුවො එක්ක…දුවත් මගෙ අතේ මයි…මම එක්ක කතා කරන්න බලන් දුරින් හිටපු ඔහු දිහා මමත් හැරිල බැලුව…
“දෙයියනේ…!!!විශ්ව…”
ඒ ඇස් මට තාම මතකයි…මේ වෙනකල් ඔහු ඇවිත් බව මම දැක්කෙ නැහැ…ඔහුගෙ රුව දැකපු වහාම මම පාසැල් මතකයට ඇදී ගියා…
“සමනලී…ඔයා තාම තරහයි ද..?”
ඉස්කෝලෙ අවසන් දවසෙත් ඔහු මගෙ ළඟට ඇවිත් ඇහුව…එවලෙත් මම ඔහුට රැවුවා..ඉන් පස්සෙ මම ඔහු දකින්නෙත් අද..
“සමනලී…අනේ එක විනාඩියක්..”
එදා ඔහු බැගෑපත් වුණා…මම ඔහුව මගහැරියා…
අපි දෙන්න හය වසරෙ ඉඳන්ම එකම පන්තියෙ…වේගයෙන් ගෙවුණ ලොකු කාළයක්…ඒ කාළය නම් ලස්සන මතක ගොන්නක්..ඒ මතක එක්ක අපිත් ලොකු වුණා..මේ හැම දේම වුණේ අපි ඉස්කෝලෙ හිටපු අවසාන අවුරුද්දෙ…
“සමනලී…මේ පොත ඇතුලෙ දෙයක් ඇති..මෙහෙදි බලන්න එපා..”
මගෙන් ගත්ත පොතක් ඉස්කෝලෙදි ආයෙ මගෙ අතට දෙන ගමන් ඔහු කිව්ව..ප්‍රශ්ණාර්ථයක් එක්ක මම පොත ගත්ත…ගෙදර ගිය ගමන් යුනිෆෝම් එක පිටින් ම අර පොත අරන් පෙරළුවා…ඩේ කාඩ් දෙකක් එකට තියල ගම්ටේප් වලින් අලවල..ඒ දෙක අතරෙ මොකක් හරි තියනව…
“ඔබේ හිත මගෙ කරන්…
හැමදාම ළඟ තියන්..
සුරකින්න ආදරෙන්..
ඉන්නෙ මම මග බලන්..
බොහෝ කල් සිට හිතින්..
නොකීවත් ආදරෙ කළා මන්..
ඔබට ගැති මේ එක සිතින් මන්..
කියමි ඔබ මගෙ පණ තමයි දැන්..”
කාඩ් දෙක අතරෙ තිබ්බ කොළයක ලියල තිබ්බා..ඒක කියවද්දි මට හිනා..හැබැයි ඒක විහිළුවක් නෙමෙයි..ඒ මට එහෙම යෝජනවක් ආපු පළවෙනි වතාව…එදා දවසම හිත එතන…මට පෙනුනෙම ඔහු..හිතුනෙම ඔහු ගැන..ඒත්…මේක සුදුසු වෙළාව නෙමෙයි..මම තාම සිසුවියක්…ගොඩක් දේවල් හිතට ආවා..මගෙ හිත ලෝක දෙකක අතරමං වෙලා..ඒත් මේ යෝජනාවත් එක්ක මම ඔහු ගැන හිතුව..
සති ගණන් ගත වුණා..ඒත් මම විශ්ව ට මොකුත් කිව්වෙ නැහැ..ඔහු අහන්න ආවෙත් නැහැ..ඒත් මම බලන් හිටියෙ ඔහු කතා කරනකල්..
“කෙළින් ම ඇවිත් කතා කරන්න බය ද කොහෙද..?”
මම හිතුව..මම මේ ගැන කිසිම කෙනෙකුට කිව්වෙ නැහැ…යාළුවො දැන ගත්තොත් වසලා හමාරයි…
“සමනලී…”
මම බස් එක එනකල් ඉස්කෝලෙ ළඟ පාරෙ හිටියා..
“ආ..විශ්ව..”
“අර පොත අස්සෙ තිබ්බ එක බැලුව ද..?”
ඔහු ඇහුව..
“මොන..?”
මම හිනාව හංගගත්ත..
“මම ඔයාගෙ පොතක් ඉල්ලගෙන දුන්නෙ..මම කිව්වනෙ පොත අස්සෙ දෙයක් ඇති කියල..”
ඔහු මතක් කළා..
“හ්ම්..”
“බැලුවද ඉතිං ඒක..?”
“හ්ම්..ලස්සන ඩේ කාඩ් එකක්..”
මම කිව්ව…
“ඩේ කාඩ් එක විතර ද දැක්කෙ..?”
“නෑ…කව්ද ලියපු කවියක් තිබුණ..”
මම හිනාවුණා..ඔහු බිම බලාගෙන හිනාවුණා..
“ඔයා මොකද ඒකට කියන්නෙ..?”
විශ්ව ඇහුව…
“ලස්සන කවියක් හැබැයි..”
“මම ඒක ලිව්වෙ ඔයාට…ඉතිං…ඔයා මට ඒකට උත්තරයක් දෙනව ද..?”
ඔහු ඇහුව..
“කවි ලියන්න දන්න කෙනෙකුට දුන්න නම් උත්තරයක් ලියල දෙයි..”
මමත් බබා වුණා…මගෙ හිත ඔහු එක්ක කතාවට ආසයි..
“අනේ සමනලී..”
“බස් එක එනව…මං යනව..”
එදා මම එතනින් ගියා…ඒත් හිතකින් නෙමෙයි…දැනට ආදරේ කරන එක වරදක් වුණත් මම ඔහුට බැඳුණා..ඒක මගෙ පළවෙනි ආදරේ…අපි අතරෙ සතියකට වතාවක් වගෙ ලියුමක් හුවමාරු වුණා..
“කිසි කෙනෙක් මේක දැන ගන්න බෑ හරිද..?”
මම කිව්ව…
“නෑ නෑ..මං කාට කියන්න ද..?”
ඔහු කිව්ව…මට ඔහු ව නැතිව බැහැ වගෙ..ඒත් වැඩිය හමු වෙන්න මම කැමති නැහැ..කිසිම කෙනෙක් ට සැක හිතෙන්න කතා කළේ වත් නැහැ..ඒත් විශ්ව ට ඒ ගැන ගාණක් නැහැ…ඔහුට ඕන නිතරම කතා කරන්න..නිතරම ලියුම් ලියන්න…ඒත් මම ඒවට කැමති නෑ…අපි ආදරේ කරන බව කව්රුවත් දැනගන්නවට මම කැමති වුණේ ම නැහැ..
“ඇයි මම ගණන් ගන්නැත්තෙ..?”
විශ්ව ඇහුව…
“එහෙම තමයි ඉන්න වෙන්නෙ..”
මම කිව්ව..
“ඒ ඇයි..?”
ඔහු පැටලෙන්න හැදුව..
“මම කිව්වනෙ මේක රහසක්…”
මම කිව්ව..
“අනේ…”
“එහෙම බැරි නම් අපි නතර කරමු…”
මම කිව්ව..විශ්ව මම ගැන හෙව්ව..වෙළාවකට ඒක මට කරදරයක් වුණා..
“බය වෙන්න එපා..මම වෙනස් වෙන්නෑ..”
“ඒත් මගෙ සමනලී දැන් වෙනස්..”
“පිස්සු ද විශ්ව..?”
මම අහනව..
“ඔයා මට ආදරෙ නෑ..”
ඔහු කියනව…
“ආදරේ කරනව කියල ලෝකෙට පේන්න රඟපාන්න මට ඕන නෑ..”
මම කිව්ව..
“කව්ද රඟපෑවෙ…?”
ඔහු කේන්තියෙන්..
“විශ්ව..ඔයාට මම තේරුම් ගන්න බැරි නම් මට කරන්න දෙයක් නෑ..නිතරම හමු වෙන්නයි ලියුම් ලියන්නයි මට බෑ..පාඩම් වැඩත් කරන්න ඕන…”
මම කිව්ව..
“නිතරම හොයල බලන එක තමයි ආදරේ..”
“වෙන්න ඇති..ඒත් මම ඒකට කැමති නෑ..ඒත් මම ආදරෙයි..මම දන්නෙ එච්චරයි..”
ඒත් ඔහු සෑහුණේ නැහැ..ඔහු එක්ක ම ඉන්න කතා කරන්න ලියුම් ලියන්න නිතරම ඔහු කිව්ව..රණ්ඩු වුණා…
“ආදරෙ කළේ හිතට සැනසීමක් ලැබෙයි කියල..ඒත්…කෝ සැනසීමක්..?”
මම අඬ අඬා ඇහුව…ඔහු සද්ද නැහැ..
“ආදරෙ රැක ගන්නයි රණ්ඩු කළේ..”
ඔහු කිව්ව..
“මට ඕන නෑ රණ්ඩු..තේරුම් ගන්න බලන්න පුලුවන් නම්..”
මම කිව්ව..
“සමාවෙන්න ආයෙ රණ්ඩු නෑ..”
එදා කිව්ව..ඒත් ආයෙ සතියක් ගත වෙන්නත් කළින් රණ්ඩු..
“මම ඔයා ගැන හොයනවට ඔයා කැමති නෑ..ඔයා මම ගණන් ගන්නෑ..සතියකට එක ලියුමක් ලියන එකද ආදරේ..?”
“ඔය කිසි දෙයක් ආදරෙ නෙමෙයි..ආදරේ තියෙන්න ඕනෙ හිතේ..දෙන්නට දෙන්න තේරුම් ගන්න තැනයි ආදරේ තියෙන්නෙ..”
ඔහු මම තේරුම් ගත්තෙම නැහැ..මම තරහ වුණා..දවස් ගණනක් කතා කළේ නැහැ..ඒත් මම ඔහුට ආදරෙයි..
“සමනලී..විශ්ව පි/ස්/සෙ/ක් වෙලා ඔයා කතා නෑ කියල..”
පන්තියෙ යාළුවෙක් කිව්ව..ඔහු රහස එළි කරල..මට කේන්ති ගියා..
“එයා පි/ස්/සෙ/ක් වුණාම මට මොකද..?”
මම ඇහුව..
“ඔයාල දෙන්න ල/ව් කියල අපිට ඌ කිව්ව..”
මට තවත් කේන්ති ගියා…මම ඒත් ඔහුට කතා කළේ නැහැ..දවස් ගණනක් ගත වුණා..පන්තියෙ යාළුවො විහිළු කරන්න ගත්ත…
“විශ්ව..මම ඔයාට කිව්ව නේද මේක කාටවත් කියන්න එපා කියල..”
මම ඇහුව..
“ජනිත් ට විතරයි කිව්වෙ..”
ඔහු කිව්ව..
“එ/කෙ/ක් දැන ගත්තම ඇති..දැන් නොදන්න එ/කෙ/ක් නෑ..”
මම කේන්තියෙන් කිව්ව..ඔහු බිම බලාගෙන හිටියා..
“මම ඔයාට කිව්වනෙ මේක රහසක් කියල…ඒ මෙහෙම වෙන නිසා..දැන් හැම එ/කා/ම මට විහිළු කරනව..ආයෙ මගෙ ඉස්සරහට එන්න එපා..මේක ඇති..මගෙ පාඩුවෙ නිදහසේ ඉන්න දෙන්න..අනික මේක පටන් ගත්ත දා ඉඳල සැනසීමක් නෑ..”
මම ගියා..ඔහු මම නතර කරන්න උත්සාහ කළා..ඒත් මම ගියා..ඔහු මම දිහා බලන් ඉන්න ඇති..ඔහු නිතරම මම එක්ක කතා කරන්න උත්සාහ කළා..ඒත් මම කතා කළේ නැහැ..ඒත් මම ගොඩක් ඇඬුවා..නිතරම ඔහු ව මතක් වුණා…ඉස්කෝලෙ අවසාන දවසෙ දැක්කට පස්සෙ අදයි ඔහුව දකින්නෙ..මට අදත් ඇඬුනා..මම ඔහුගෙ වෙන්න දැකපු හීන මතක් වුණා..ඒත් දැන් ආයෙ හැරෙන්න බැහැ…
“සමනලී…”
විශ්ව පුරුදු විදියට ම අදත් කතා කළා…ඒත් මට ඔහුගෙ මූණ බලන්න හයියක් නැහැ…
“දුව ඔයාගෙ හස්බන්ඩ් වගෙ වෙන්නැති…”
දුවගෙ හිස අතගාමින් ඔහු අනුමාන කළ දේ හරි…
“හ්ම්..”
“ඔයා තාමත් මම එක්ක තරහින් ද..?”
අදත් ඔහු ඒක ම ඇහුව…මට ඇඬුණා..
“අනේ විශ්ව..මට සමාවෙන්න…”
මම කඳුළු පිහදා ගත්ත…
“අඬන්න එපා සමනලී…ඒත්..මම හැමදාම හිතුව ඔයා මගෙ ම වෙයි කියල..”
මම ඔහු දිහා බැලුව…
“මමත් ඒ දවස් වල එහෙම හිතුව..”
“හ්ම්…මම හිතුවෙ නෑ කවදාවත් ඔයාව මෙහෙම දකින්න ලැබෙයි කියල..හමු වුණත් මෙහෙම කතා කරයි කියල හිතුවෙ නැහැ..ඒත්..අපි වෙන් වෙච්ච එකම හේතුව මම ඔයා ගැන හොයල බැලුව වැඩි වුණ එක..”
අපි ගොඩක් වෙලා කතා කළා…
“මම එදා කරපු වරද මට දැන් තේරෙනව..”
ඔහු කිව්ව..
“මමත් වැරදි කළා විශ්ව…ඔයාගෙ ආදරේ කරදරයක් විදියට දැක්කෙ..”
“දැන් ඒ ගැන කතා වැඩක් නෑ සමනලී..ඒත් මට අදටත් ඔයාව අමතක කරන්න බැරි වුණා..හෙටත් බැරි වෙයි…ඒත් මෙහෙම හමු වෙච්ච එක ගැන සතුටුයි..”
ඔහුගෙ ඇස්වල යාන්තමට කඳුළු…මගෙ නම් ඇස් පිරෙන්න ම කඳුළු..
“කතා කරල හිත රිද්දුවට සමාවෙන්න සමනලී..එදත් මම කළේ ඔයාගෙ සැනසීම නැති කරපු එක…”
ඔහු ආයෙත් කිව්ව..මට තවත් දුක හිතුණ..
“එදා මම ඔයාව තේරුම් ගත්ත නම් මේ වෙඩින් එකට අපි දෙන්න ම එන්නෙ එක ගෙදරක ඉඳන්…මමත් ඔයා වගෙම ඔයා ව අමතක කරන්න බැරිව දුක් වින්ද..ඒත්…කමක් නෑ විශ්ව…අපිට අපි අයිති නැතුව ඇති..”
තැන අමතක කරල මම ඔහුගෙ අතින් ඇල්ලුව…
“මම ඔයාගෙ නොවුණත් හැමදාම ආදරෙයි…එදා ඔයා එක විනාඩියකට මම එක්ක කතා කළා නම්…අපි එහෙනම් හැමදාටම අපෙ තමයි..තව මාස දෙක තුනකින් ඔයාව හිතේ තියන් වෙන කෙනෙක් එක්ක මටත් ජීවත් වෙන්න වෙනව…”
විශ්ව කිව්ව..මගෙ පපුව හිරි වැටුණ..ඒත් ඔහු කියපු අවසාන වචන ටික මගෙ හිතේ හැමදාම දෝංකාර දේවි…මතක් වෙන හැම වෙළාවෙම මගෙ පපුව පිච්චේවි…ඒත් මම මගේ සැමියට ද්‍රෝහී වෙන්නෙ නැහැ…ඒ වගෙම ආයෙ කවදාවත් විශ්ව මට හමු වෙන එකකුත් නැහැ…
විශ්ව කිව්ව වගෙ එදා එක විනාඩියකට මට ඔහු එක්ක කතා කරන්න හිතුණ නම්…
සමාප්තයි..