හැමෝම කියන ඒ කතාව මට අහලම එපා වෙලා තිබුණේ. ඇත්ත. යසින්තා කියන්නේ මහ පුදුම ගෑණියෙක්. අපි ආදරේ කරන කාලේ හිටපු යසින්තා නෙවෙයි දැං ඉන්නේ. දැං කියන්නේ අපි කසාද බැන්දට පස්සේ මගේ ළඟ හිටියේ මගේ යසින්තා නෙවෙයි. එක අතකට මට මේ දේ හරිම පුදුමයි. යසින්තා කොහොමද මෙහෙම වුණේ.
මං යසින්තාව මුලින්ම දැක්කේ එයා ඒලෙවල් ක්ලාස් යද්දි. එයා ලියනගේ සර්ගේ ඉකෝන් ක්ලාස් ආවා. මං ඒලෙවල් ලියලා කැම්පස් හිටියේ. මගේ වියදම් බැලන්ස් කර ගන්න මං පාර්ට් ටයිම් සර්ගේ පේපර්ස් බැලුවා. ටියුට් හදනවා. ඒ දවස් වල යසින්තා හරිම ලස්සනයි. පාට පාට දණහිස ගාවට දිග ගවුම් අදිනවා. හැබැයි ගවුමටත් වඩා යසින්තාගේ කොණ්ඩේ දිගයි.
සමහරවිට ඒ හින්දා වෙන්න ඇති මගේ ඇස් නිතරම යසින්තාව හෙව්වේ. ඒත් මට එහෙම ළඟට ගිහින් කතා කරන්න තරම් ගටක් තිබ්බේ නෑ. අනික මට හිතුණෙම යසින්තාට කොල්ලෙක් ඇති කියලා. ඒත් දවසක් මං යසින්තාට කතා කරා. මට තාම මතකයි. එදා මං ක්ලාස් එකට ආවේ සෑහෙන්න කාලෙකින්. සෙමෙස්ටර් එන්ඩ් එක්සෑම් එකක් ඉවර කරා කියන්නේ ලොකු බරකින් නිදහස් වුණා වගේනේ. එදා කොහොම හරි යසින්තා ක්ලාස් ආවේ අන්තිමට. ඒත් මොකක්දෝ වෙනසක් තිබ්බා.
ඔව්.. අර දිග කොණ්ඩේ යසින්තා කපලා දාලා තිබුණා. අම්මපා කෙල්ලොන්ට හැදෙන පිස්සුවක් කියලා මට කේන්තිත් ගියා. එදා ක්ලාස් ඇරලා යද්දි මං යසින්තගෙන් ඇහුවා කෝ කොණ්ඩේ මීයෝ කෑවද කියලා. එවලේ යසින්තාගේ කලු පාට බෝල ඇස් වල කඳුලු පිරුණා.
“නෑ අයියේ. බස් එකේදි කවුරු හරි කොණ්ඩෙට චුයිංගම් එකක් අලවලා. ඒකට අරම් මනම් ජාති ඇලවිලා කොණ්ඩේ ගලව ගන්න බැරි වුණා. ඉතින් කොණ්ඩේ කපන්න වුණා..”
ඒ දුක්බර කතාවත් එක්ක අපේ කතාව පටන් ගත්තා. යසින්තා මාත් එක්ක කතා කරපු ගැම්මටම මං ඊළඟ ස්ටෙප් එකට ගියා. මගේ කැම්පස් එකේ යාලුවෙක් ඉන්නවා අනුරාධපුර පැත්තේ. උගේ තාත්තා හොඳ සිංහල වෙදෙක්. ඌට කියලා මං කොණ්ඩේ වැවෙන්න තෙලක් ගෙන්න ගත්තා. මං දැනන් හිටියා ඔය කොණ්ඩෙන් තමයි මට යසින්තාට ළං වෙන පුලුවන් එකම ක්‍රමේ කියලා.
මොකද දැනටමත් කොල්ලෝ කීප දෙනෙක් යසින්තාට බැල්ම දැම්මත් යසින්තා කාටවත් කැමැත්ත දීලා තිබ්බේ නෑ. යසින්තා ඒ අතින් ටිකක් උඩින් හිටියේ. මොකද ඒ තරමට යසින්තා ලස්සනයි. හොඳට ඉගෙන ගන්නත් පුළුවන්. පන්තියේ ළමයි තුන් හාරසීයක් මැද්දේ වුණත් යසින්තා කැපිලා පේනවා.
මං තෙල් බෝතලේ දුන්නමත් යසින්තා ඒක ගන්න පැකිලුණා. ඒත් ලැජ්ජාවෙන් වුණත් යසින්තා තෙල් බෝතලේ ගත්තා. මටත් ඇත්තමට ඕනි වුණේ ඒ වගේ පිවිතුරු කෙල්ලෙක්. මැස්සෙල්වත් වහලා නැති අහිංසක කෙල්ලෙක්.
මටත් එක පාරටම යසින්තාට වචනේ දාන්න බැහැනේ. ඒ දවස් වලමයි ක්ලාස් එකේ ළමයෙක් ලියනගේ සර්ට චිට් එකක් යවලා තිබ්බේ. ඒකේ තිබ්බේ ගර්ස් ස්කූල් එකේ යසින්තා ගිය සතියේ ක්ලාස් කට් කරලා කවුදෝ කොල්ලෙක් එක්ක හොටෙල් එකකට ගිහින් තිබුණා කියලා. ඒකේ හොටෙල් එකේ නමත් තිබුණා. ඕන නම් කෝල් කරලා අහන්න කියලා. සර් මයික් එකෙන් චිට් එකේ මුල් වචන ටික විතරයි කිව්වේ. මමත් එවලේ ක්ලාස් එකේ හිටිය හින්දා ඒ චිට් එක දැක්කා.
සර් ක්ලාස් එකෙන් පස්සේ යසින්තාට එන්න කියලා මේ ගැන ඇහුවා. ඇත්තට යසින්තා ගිය සතියේ පන්ති ආවේ නෑ. යසින්තා බලන්නම ක්ලාස් එකට ගාටන මං ඕක දන්නේ නැද්ද…? හැබැයි යසින්තා වගේ අහිංසක කෙල්ලෙක් ඔහොම නොකරන බව මං හොඳටම දන්නවා.
ඒත් සර්ට යවන චිට් මඟදිම කියවන එවුන් ඔය කතාව පන්තියේම පැතිරුවා. ක්ලාස් එක ඉවර වෙද්දි හැමෝම ඕක දැනන් හිටියා. යසින්තා එදා ක්ලාස් එකෙන් එළියට ආවේ මළමිණියක් වගේ. බයෙන්, ලැජ්ජාවෙන් විතරක් නෙවෙයි වේදනාවෙන් පිරුණු යසින්තගේ මූණ බලන්න දුකයි. ඉතින් මං මැදිහත් වෙලා ක්ලාස් එක ගාවටම වීල් එකක් ගෙන්න ගෙන යසින්තාට නගින්න කිව්වා. නාදුනන වීල් එකක කෙල්ලෙක් තනියම යවන්න බැරි හින්දා මාත් ඒකටම නැග්ගා.
එවලේ තමයි යසින්තා හොඳටම අඬන්න ගත්තේ. මං යසින්තාව සැනසුවා. මගේ වචන වලට යසින්තාගේ බිඳුන හිත ටිකක් හරි හදන්න පුලුවන් වුණා. ඒත් යසින්තා ගේ ගාවට ආවත් එතනින් බහින්න අදිමදි කරා. මං අම්මලට වෙච්ච දේ කියන්නම් කියලා යසින්තාව ගෙදර එක්කන් ගියා. මුලින් කේන්ති ගත්තු අම්මා යසින්තාට පාරවල් කීපයක් ගැහුවා. මං තමයි අම්මවත් කන්ට්‍රෝල් කරලා වෙච්ච දේ පැහැදිලි කරේ. ඕක කාගේ හරි කැත විහිලුවක් කියලා මං තදින්ම කිව්වා. අනික ඕන කෙනෙක්ට ඔහොම කැත කතා හදන්න පුළුවන්නේ.
එදා ඉඳන් යසින්තාගේ අම්මාට මට සෑහෙන්න ආදරෙන් සැලකුවා. යසින්තා ආයේ ක්ලාස් එන්න බෑ කිව්වමත් මං ක්ලාස් එකේ ටියුට් ටික, පේපර් ටික ගෙදරටම ගිහින් දුන්නා. බැරි තැන්, අමාරු තැන් ඔක්කොම මං කියලා දුන්නා. ටික ටික යසින්තාව මගේ ට්‍රැක් එකට ගත්තා.
ඒලෙවල් ඉවර වෙද්දි යසින්තා මට ආදරේ කරන්න පටන් අරන් ඉවරයි. ඒ වෙද්දි මං හිටියේ ෆයිනල් ඉයර් එකේ. මෙහෙන් යසින්තා සෙට් වෙද්දි මට නිලූෂිව ආයේ ඕන වුණේ නෑ. නිලූෂි කියන්නේ මගේ කැම්පස් කොක්ක. යසින්තා එක්ක බැලුවම නිලූෂි ඒ ළඟින්වත් තියන්න බෑ. ඉතින් මං ඒකිව හළලා දැම්මා.
රිසාල්ට් එන්නත් කලින් මං දැනන් හිටියා යසින්තාට කැම්පස් යන්න පුලුවන් කියලා. හැබැයි ඒකී කැම්පස් යනවට මගේ ලොකු කැමැත්තක් තිබ්බේ නෑ. ඒ හේතුව නම් ටිකක් සාධරණයි. අපේ පවුලට වඩා යසින්තාගේ පවුලට යමක් කමක් තිබ්බා. ටවුමේ ඇඳුම් කඩයක් වගේම ඉඩකඩමුත් තිබ්බා. පවුලේ එකම කෙල්ල නිසා ඕවා දවසක යසින්තාට කියලා මං දැනන් හිටියා.
එතකොට මං අක්කලා දෙන්නෙක් උන්නු පවුලක බාලයා. අපේ තාත්තා ඉස්කෝලේ ගුරුවරයෙක්. ඉතින් අපි යන්තම් ජීවිතේ ගැට ගහ ගත්තා විතරයි. අනික දෙවෙනිගේ වෙඩින් එකට ණය වෙලා අපි හිටියේ තවත් හිර වෙලා. ඔය ඔක්කොම මැද්දෙන් යසින්තා කැම්පස් ගිහින් ඩිග්රියක් ගත්තොත් අපි දෙන්නා සම වෙනවා. මට එහෙම ඕනි වුණේ නෑ.
ඉතින් මං මුල ඉඳන්ම යසින්තාගේ ගෙදර අයගේ ඔලුවට දැම්මා කැම්පස් එකේ තියෙන නිදහස ගැන. පළවෙනි අවුරුද්දෙ දිග ගවුම් ඇදලා පිලිවෙලට එන කෙල්ලෝ අන්තිම අවුරුද්ද වෙද්දි බාගෙට ඇදන් ටැටූ ගහන හැටි ගැන නිතරම කියෙව්වා. අන්තිමේ ගමෙන් ආපු කෙල්ලෝ ආපහු ගමට යන්නේ රොඩ්ඩල් වෙලා කියලා හරිම දුකෙන් මං කිව්වා.
අන්න එහෙම තමයි යසින්තාගේ අම්මලා යසින්තාව විද්‍යා පීඨ යවන්න ඔලුව හැදුවේ. මොකද මං දැනන් හිටියා විද්‍යා පීඨ ඇප්ලිකේශන් කැදවන්නේ අවුරුදු දෙකක් විතර පහු වෙලා කියලා. ඒ කාලේ වෙද්දි මට ලේසියෙන් ස්ථාවර වෙන්න පුලුවන්.
මං හිතපු විදියට හැමදේම වුණා. මං කැම්පස් අවුට් වෙච්ච ගමන් ජොබ් එකකට ගියා. ලෝන් එකක් අරන් ඉඩමක් ගත්තා. ඉක්මනටම යසින්තාව කසාද බැන්දා. ගේ හදා ගන්න යසින්තාගේ තාත්තලත් සෑහෙන්න උදව් කරා. කොහොම හරි මං ප්‍රාර්ථනා කරපු හැමදේම එක්ක මගේ ජීවිතේ සතුට මට ලැබුණා.
ඒත් ඒ හැමදේම වෙනස් වුණේ අපි මේ ගෙදරට ආවට පස්සේ. ඔව්. යසින්තා වෙනස් වුණා. මං ආදරේ කරපු පාට පාට ලස්සන ගවුම් ඇඳපු යසින්තා ටිකෙන් ටික බාච්චු වගේ දිග ගවුම් අදින්න පටන් ගත්තා. දිග කොණ්ඩේ කරදරයි කියලා අඟලෙන් අඟල කොණ්ඩේ කපන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි. මං කන්න ආස කෑම යසින්ත්තා ඉව්වෙම නෑ.
ඒක තමයි මට වැඩිපුරම දැනුණේ යසින්තා ඉව්වේ මං කන්න අකැමැති හැබැයි ගුණ කෑම. මෑ කරල්, දඹල, නිවිති, පොඩි මාළු, බෝංචි, පොළොස්, කරවිල.. මට නම් පිස්සු වගේ මතක් වෙද්දිත්. මං ඒවා කන්න බෑ කිව්වම යසින්තා මූණ දෙක කරන් අඬන්න ගන්නවා. ඉතින් මං අකමැත්ත හංගන් උයන දෙයක් ගිලිනවා. ඔෆිස් එකේදි නම් මං දවල් කෑම එක හොරෙන් විසි කරලා කඩෙන් මොනවා හරි ගෙනත් කනවා.
ඒ ඔක්කොටම හපන් අපේ අම්මලා, අක්කලා ගෙදර ආවම යසින්තා උයන්නේ මං අකැමැතිම කෑම. ඒ මදිවට යසින්තා කියන උදාන වාක්‍යයක් තියෙනවා. එයා ඒක හිතලා නොකිව්වට ඒ වචන මගේ ඔලුවේ රැව්පිළිරැව් දෙනවා.
“අම්මා ඉව්වම තමයි මෙයා මේවා කන්න බෑ කිව්වේ. දැං මෙයා මේවා කන්නේ පුදුම ආසාවෙන්..”
යසින්තා එහෙම කියලා තව හැන්දක් මට බෙදනවා. ඒ වෙලාවට අපේ අම්මයි, අක්කලයි මං දිහා බලන්නේ උඹට හොඳ වැඩේ කියන බැල්මෙන්. මාව නිකම්ම හෑල්ලු වෙනවා.
යසින්තා රයිස්, කොත්තු කන්න දැං කැමතිම නෑ. ඉස්සර තමයි කොහේ ගියත් කඩෙන්ම කන්න ඕනි. දැං යසින්තා හොඳම බිරිඳ වෙලානේ. ඉතින් කඩ කෑම බෑ. ට්‍රිප් එකක් යද්දිත් බත් පෙට්ටි උස්සන් යනවා. කොච්චර කතා කරත් ෆිල්ම් එකක් බලන්න යන්න එන්නෙවත් නෑ. ඒක බලන්න ඕනිත් ගෙදර ඉඳන්. දැං මට ඉඳලා හිටලා යාලුවෙක් එක්ක සෙට් වෙන්නවත් බෑ.
එහෙම පාටියක් දවසක යසින්තා මූණ දෙක කරන් බලන් ඉන්නවා දැකලා අපේ සෙට් එක මාව මාස ගාණක් බයිට් කරා. එතනින් යාලුවෝ ටිකත් හැලුණා.
මං ගෙදර ඉන්න දවසට යසින්තාගේ වැඩේම මට වැඩ පවරනවා. කොටින්ම මගෙන් වැඩ ගන්නවා. මට නිදහසේ ඉන්න දෙන්නෙම නෑ. අඩුම මට තෙත් සාලුව වත් පුටුවක් උඩ දාන්න බෑ. යසින්තා නහයෙන් අඬන්න ගන්නවා. ගෙදරට යන එන හැමෝටම පේන්න යසින්තා මුළු ගේම පිළිවෙළට, පිරිසුදුව තියා ගන්නවා.
ඉතින් දකින හැමෝම කියන්නේ යසින්තා මාර හොඳ බිරිඳක් කියලා. හැබැයි කවුරුවත් දන්නේ නෑ මං මේ ගේ ඇතුලේ හිරකාරයෙක් කියලා. ඇත්තමට මං ආස කිසි දෙයක් මගේ ජීවිතේ දැං නෑ. අඩුම මං ආස ඇඳුමක්වත් අදින්න මට බෑ. යසින්තාගේ බල කිරීමටම මං ගිය මාසේ ලීස් කරලා කාර් එකකුත් ගත්තා. එවලෙත් අපේ අම්මා කිව්වේ එක දෙයයි.
“යසින්තා දුවගේ වාසනාව තමයි.. ඔය දරුවා අපේ කොල්ලගේ ජීවිතේට ආවට පස්සේ තමයි අපේ කොල්ලට හරි ගියේ..”
ඒ වෙලාවට යසින්තාගේ ඇස් සතුටින් දිලිසෙනවා.
ඔය කොයි දේ කොහොම වුණත් එන්න එන්නම අපේ සෙක්ස් ලයිෆ් එක බෝරින් වුණා. යසින්තාට ඉස්සර වගේ ලොකුවට ෆීලිංස් නෑ. එයා නිදා ගන්න ඇඳට එන්නේ පහුවදාට උයන්න ඕනි හැමදේම කපලා, කොටලා ෆ්‍රිජ් එකට දාලා, මගේ ඇඳුම් අයන් කරලා, සපත්තුත් පොලිශ් කරලා. කොච්චර මං ඒ දේවල් කරන්න හැදුවත්,ඒවට උදව් කරන්න හැදුවත් යසින්තා ඒකට කැමති නෑ. අන්තිමේ මට බලන් ඉඳලම නින්ද යනවා.
ඔය හැමදේම එක්ක මට ජීවිතේ එපා වුණා. ඒක නිකම් යසින්තා උයන කිසි ගැලපීමක් නැති කෑම වගේ. ව්‍යාංජන හතරක්, පහක් එක්ක බත් තිබ්බට වැඩක් නෑ. රස ගැලපෙන්නේ නැත්නම්.
මං මේ ප්‍රශ්නේ යසින්තා එක්ක කොයි තරම් කතා කරන්න උත්සහ කරත් යසින්තා කරන්නේ කාමරේට ගිහින් දොර වහ ගෙන අඬන එක. ඒ අස්සේ දොර ගාවට ඇවිත් ඔයාට මාව එපා නම් මං වහ ටිකක් බීලා මැරිලා යන්නම් කියන එක. ඉතින් මමම සමාව අරන් ආයේ යසින්තා යාලු කර ගන්නවා. අපි කවුන්සලර් කෙනෙක් හම්වෙන්න යමු කිව්ව දවසේ නම් යසින්තා හැදුවේ බැල්කනියෙන් පනින්න. එදා යසින්තා යාලු කර ගත්තේ සෑහෙන අමාරුවෙන්.
ඉවසලා ඉවසලා අන්තිමේ මං තීරණයක් ගත්තා. මාත් ජීවත් වෙන්න කැමතියි. ඔව්. මාත් නිදහසේ ජීවත් වෙන්න කැමතියි. මට දැං ඕනි එකම දේ නිදහස. මට ඒ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ. ඉතින් යසින්තා කියන පුදුම ගෑණිට සමු දෙන්න මං තීරණය කරා.
මං ඩිවෝස් එකකට ගියොත් ලෝකයා ඉස්සරහ මං වැරදි වෙයි. යසින්තා වගේ ගෑණියෙක් එක්ක ඉන්න බැරි මං මෝඩයෙක් කියයි. අපේ අම්මලා වුණත් යසින්තාට ආදරෙයි. අනික මං මේ ඉන්න තත්වෙට එන්න මෙච්චර පහසු වුණේ යසින්තාගේ තාත්තා නිසා. මට මගේ ගෞරවය, නිදහස තරමටම වටිනවා. මට ගන්න තිබ්බේ එක තීරණයයි.
එදා රෑම මගේ අනුරාධපුරේ යාලුවට කතා කරා. උගේ තාත්තා ගාව කුඩක් තිබ්බා. ඒක ශරීරගත වුණොත් මැරෙනවා. හැබැයි ඒක ස්වාභාවික මරණයක්. හාර්ට් ඇටෑක් එකක් ඇවිත් මැරුණම ආයේ සැක කරන්න දෙයක් එතන නෑ.
හරියටම සතියකින් මගේ අතට ඒ කුඩු ටික ලැබුණා. හැමදාම උදේට අපේ ගෙදර වෙන්නේ එකම දේ. යසින්තා මං ලෑස්ති වෙලා පහළට එද්දි අපි දෙන්නගේ තේ දෙක හදනවා. මං උදේට කාලා තේ බොනකම් යසින්තා මගේ දවල් කෑම පැක් කරනවා. ඔව් එදත් හරි සාමන්‍ය දවසක්.
මං උදේම නාලා යසින්තා ඊයේ රෑ අයන් කරලා තිබුණ කිට් එක ඇද ගත්තා. ශර්ට් එකේ කිසි රැල්ලක් නෑ. හරිම පිළිවෙලයි. සපත්තු දෙකත් කණ්නාඩිය වගේ. මං පහළට එද්දි යසින්තා අපේ තේ දෙක ගෙනත් මේසෙන් තිබ්බා. යසින්තා හැරෙනකම් ඉඳලා මං යසින්තාගේ කෝප්පෙට අර කුඩු ටික හැලුවා.
ඊටත් පස්සේ මුකුත් නොවුණ ගාණට මං උදේට හදලා තිබුණ ආප්පත් කාලා තේ බීලා ගෙදරින් ආවා. මං අන්තිම වතාවට මගේ ජීවිතේ වැඩිපුරම ආදරේ කරලා දිනා ගත්තු යසින්තා දිහා බැලුවා. මට යසින්තාව වෙනදාටත් වඩා ලස්සනට පෙණුනද මන්දා. හැබැයි ඔක්කොටම වඩා මට වටින්නේ මගේ නිදහස.
ඉතින් මං කාර් එක පාරට දැම්මා. යසින්තා මට යන්න ගේට්ටුව ඇර ගෙන බලන් හිටියා. මට යසින්තා ගැන දුකක් දැනුණේ නෑ. අවංකවම මට දැනුනේ නොඉවසිල්ලක්. මට මගේ නිදහස ලැබෙන්නයි යන්නේ.
ඒත් ටික දුරක් යද්දි මගේ පපුව ටිකක් රිදෙන්න ගත්තා. මං කාර් එක පාරේ අයිනට කරලා නැවැත්තුවා. එන්නම එන්නම වේදනාව වැඩි වෙද්දි මොකක් හරි වැරැද්දක් වෙලා බව මට තේරුණා. මං හැදුවේ මගේ ෆෝන් එක ගන්න. ඒත් ඊට කලින් මට දැනුණ වේදනාව දරා ගන්න බැරි තරම් වැඩි වුණා. හුස්ම ගන්න බැරුව මං එහෙට මෙහෙට ඇඹරුණා. අන්තිමේ වටේම කලුවර වෙලා මගේ ඇස් පිය වුණා..
ඔව්.. මං නිදහස්..
නිමි..