(ජීවිතයක් එක තැන නතර වූ අතීතයක කතාවක්..)
මගේ හොඳම යාළුවගෙ විවාහ මංගල උත්සවයට මටත් ආරාධනා ලැබුණ..මම ඒවට සහභාගි වෙන්න අකමති වුණත් යාළුවගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා මමත් ගමනට එකතු වුණා..ඒක උත්සව ශාලාවක ගත්ත මංගල උත්සවයක් නෙමෙයි..පළවෙනි දවසෙ මනමාලිගෙ ගෙදර..දෙවැනි දවසෙ මනමාලයගෙ ගෙදර..මනමාලයගෙ ගෙදර ඉඳන් මනාලිව කැන්දගෙන එන්න යන ගමනට එකතු වෙන්න මටත් ආරාධනා ලැබුණා….ඒ ගමන පටන් ගත්ත වෙළාවෙ ඉඳන් මගේ හිත අතීතයේ…ඒ අතීතයෙ සතුටු දායක තැන් වලට වඩා තිබුණෙ දුක හිතුණ තැන්..
මීට වසර ගණනාවකට පෙර වෙච්ච සිදුවීමක්… යාළුවෙක් වෙලා හිටපු ඇයත් මමත් කාළයක් යද්දි ආදරවන්තයො වුණා…ඒක හැමෝටම හොරෙන් ගලා ගෙන ගිය මතක් වෙද්දිත් සතුටු හිතෙන ලස්සන ආදර කතාවක්…..අවුරුදු ගණනාවක් හැමෝටම හොරෙන් ගලාගෙන ගිය අපේ ආදර කතාව නොදන්න කෙනෙක් නැති තැනට පත් වුණා..ඒක කොහොම වුණාදැයි අපි දන්නෙත් නැහැ…
“මේ කසාදෙ වෙන්න දෙන්න බැහැ..”
දෙපැත්තෙම අය අපිට විරුද්ධ වුණා…හැමෝම මේක එපා කිව්ව.. ඒකට හේතුවක් නැති නිසා අපි වෙනස් වුණෙත් නැහැ…
“දැන් අපි මොකද කරන්නෙ..?”
ඇය ඇහුව…
“ඔයා ගන්න ඕනම තීරණයකට මම එකඟයි..”
මම කිව්ව…
“ඒ කියන්නෙ මම වෙන් වුණත් ඔයාට ප්‍රශ්ණයක් නැද්ද..?”
ඇය ඇහුව…
“ඔයාට මම විතරක් ඉතුරු වෙලා අනිත් නෑදෑයො හැමෝම නැති වෙයි..”
මම කිව්ව…
“කව්රුවත් නෙමෙයි..මට ඕනෙ ඔයාව..”
ඇය කිව්ව..මට සතුටු හිතුණ..ඒත් අපිට හැම තැනම බාධා…අපේ හිත් රිදුන..හමුවෙන්න බැරි වුණා..කතා කරන්නත් නැති වුණා..ආදරේ නැති වුණා වගෙ දැනුන..ඒත් අපි වෙනස් වුණේ නැහැ..හැමදාම එකම හිතින් හිටිය..බැඳිච්ච හිත් වෙන් කරන්නම බැරි වුණා…
“අපි හොරෙන් බඳිමු..”
ඈ කිව්ව..මගෙ ඇඟ සීතල වුණා..
“ඒත් හැමෝම විරුද්ධයිනෙ..”
මම කිව්ව…
“ගෙදරින් මනාලයො හොයනව…ඒත් මට ඕන ඔයාව..තව කල් ගියොත් මම වෙන කාට හරි බන්දාවි…”
ඈ කිව්ව..ඒකට නම් මගෙ හිතත් බය වුණා…දවස් ගණන් ගත වුණා..ඇය වගෙම මමත් රිදුණ හිතින්…හැමෝ්ම විරුද්ධ වෙච්ච එක අපිට දරාගන්න බැරි වුණා..ඒත් වෙන් වීමක් ගැන හිතන්නවත් බැරි තරමට අපි බැඳිල..
“හැමෝම කල් යද්දි වෙනස් වෙයි අපි මැරි කරමු..”
මමත් කිව්ව..ඈ සතුටු වුණා..
“හ්ම් එහෙම කරමු..”
ඈ එකඟ වුණා..විවාහ වෙලා ආපුවම දෙමව්පියො වෙනස් වෙලා අපිව භාර ගනියි කියල අපි හිතුව…ඒ නිසා අපි හොරෙන්ම ගිහින් විවාහ වුණා…
“දැන් කොහෙද යන්නෙ..?”
ඈ ඇහුව..
“මුලින් ඔයාලගෙ ගෙදර..”
මම කිව්ව..
“ඊට පස්සෙ ඔයාලගෙ ගෙදර..”
ඈ කිව්ව..දෙන්නත් එක්ක මුලින්ම ඇගෙ ගෙදර ගියා..දෙන්නටම බැනල එළෙව්ව..ඊට පස්සෙ අපෙ ගෙදර ගියා එහෙනුත් බැනල එළෙව්ව..ඇඳුම් ටිකත් අරගෙන දෙන්න එක්ක පාරට බැස්ස..දැන් අපි කොහෙ යන්නද..?බස් හෝල්ට් එකකට වෙලා කල්පණා කළා…
“යාළුවෙකුගෙ ගෙදර වත් යමු..”
ඈ කිව්ව..
“යාළුවොන්ගෙ ළඟ හැමදාම ඉන්න බැහැනෙ..අනික අපි නිසා එයාලටත් ගෙදර අයගෙන් ප්‍රශ්ණ වෙයි..”
මම කිව්ව…
“හ්ම් ඒකත් ඇත්ත…”
ඈ කිව්ව..
“එහෙනම් මොකද කරන්නෙ..?”
ඇය ආයෙත් ඇහුව..
“අද රෙස්ට්ටෝරන්ට් එකකින් රූම් එකක් ගමු..දැන් හවස් වෙලානෙ..”
මම කිව්ව..ඇයත් එකඟ වුණා..අපේ මංගල රැය හිතේ ගින්දරින් ගෙව්න..ඊ ළඟ දවසෙ කොහේ කොතැන ඉන්න ද කියල කල්පණා කළා..හැමදාම මෙහෙම කාමර වල ඉන්න බැරි බව අපි දෙන්නම දන්නව..
“අපි දැන් මොකද කරන්නෙ..?”
ඇය ආයෙත් පහුවදා ඇහුව…
“දැන් ඒ අයගෙ කේන්තිය නිමිල ඇති..අපි ආයෙත් ගෙදර යමු..”
මම යෝජනා කළා..
“අනේ මට බයයි..”
ඈ කිව්ව…
“ඕන දේකට මම ඉන්නව නෙ..අපි යමු..ඕන නම් බනියි..එච්චරනෙ..”
මම කිව්ව..ඇය බයෙන් වුණත් එකඟ වුනා..ආයෙත් උදේ අපි මුලින් ම ඇගේ ගෙදරට ගියා..
“මෙහෙ ආවෙ මො/කා බලන්නද..?”
ඇගෙ ගෙදර අය ඇහුව..
“කමක් නෑ අපි යමු..”
මම කිව්ව..මගේ අතේ එල්ලිලා ඇය මම එක්ක අපෙ ගෙදරට ආවා…
“ඊයෙ ගියා වගෙ ගියපු තැනක ම ඉ/ඳ/ප/ල්/ල..මොකටද මෙහෙ ආවෙ..”
එහෙනුත් යන්න වුණා..
“දැන් අපි මොකද කරන්නෙ..?”
කඳුළු පුරවන් ඈ ඇහුව..
“අදත් ඊයෙ වගෙ ඉමු..”
මම කිව්ව..
“හැමදාම එහෙම ඉන්න බැහැනෙ..”
“හ්ම් අදට විතරක්..මම මොකක් හරි කරන්නම් ඉක්මණටම..”
මම කිව්ව..දවස් ගණනක් නොදැනීම රෙස්ටෝරෙන්ට් එකේ ගත වුණා..යාළුවෙක්ට කතා කළා…ආයෝජන කළාපෙක ඇඟළුම් කම්හලක රැකියාවක් හොයාගෙන දෙන්නම එහෙ ගියා..බෝඩිම් කාමරයක් අරගෙන නතර වෙලා දෙන්නම රැකියාවට ගියා..හැමදේම අමතක කරල කාළයක් කොළඹ බෝඩිම් කාමරේට වෙලා සතුටින් හිටියා..
මගේ මේ අතීත මතකත් එක්ක නොදැනීම මනාලියගෙ ගෙදරට ඇවිත්..රතිඤ්ඤා හඬ මැද්දෙ මනමාලය ඇතුළු අපිව ගෙදරට පිළිගත්ත…මුළු ගෙදරම උත්සවශ්‍රීයෙන් පිරිලා..මනාලියගෙ නෑදෑයො හැමෝම මනාලය වෙච්ච මගෙ යාළුව බලන්න ඇවිත්…
ඒ ගෙදරට මනාලය පිළිගත්ත හැටි දැකල එදා මගේ මනාලියගෙ ගෙදරින් මම පිළිගත්ත හැටිත් මට මතක් වුණා…
“අපි මේකට කැමති නෑ කියද්දි ඇයි උ/ඹ/ල මෙහෙම කළේ..?”
අපිට දොස් කියපු හැටි සිහි වුණා..යන්න තැනක් නැති බව දැන දැන ගෙදරින් එළියට දැම්ම හැටි සිහි වුණා..
මේ මගුල් ගෙදර ට නෑදෑයො ඇවිත් ආසාවෙන් මනාලය දිහා බලාගෙන හිටිය හැටි දැකපු මගේ හිත ආයෙත් ඒ අතීතෙට ඇදුන..ඒත් අතීතය ගැන දුකක් මට නැහැ…හැමෝම සලකපු හැටි “අපිට උ/ඹ/ල/ව එපා” කියපු හැටි දෝන්කාර දිදී ඇහෙන්න වුණා..ඒ මතකයන් හිත පාරන්න ගත්ත.ගතින් මංගල උත්සවයෙ වුණත් හිත පරණ මතකයන් ඇතුලෙ දුවන්න ගත්ත..
ඒ හැමදේම එක්ක මනාලියගෙ නිවසෙන් පිට වෙන නැකත නොදැනීම ඇවිත්..හැමෝම අලුත් යුවලට ආශිර්වාද කළා..ඇය ගෙදරින් පිටවෙලා යන දුක ඒ හැමෝගෙම ඇස් වලින් පෙනුන…ඒක දැකපු මට මතක් වුණේ එදා අපිට බැනල එළවපු හැටි…මනාලියගෙ දෙමාපියන්ගෙ ඇස් වල කඳුළු එක්ක මගෙ ඇස් වලටත් කඳුළක් ආවෙ ඒක මතක් වෙලා..පිටත් වෙන වාහනය ළඟට ආපු මනාලියගෙ නෑදෑයො ඇස් වල කඳුළු පුරවන් ඈ දිහා බලන් හිටිය..ඒත් මම විවාහ වෙච්ච දවසෙ හැමෝම අපි දිහා බැලුවෙ කේන්තියෙන්…
අපි ඒ ගෙදරින් එන්න පිටත් වුණා..මනාලියගෙ ඇස් වලත් කඳුළු…ඒත් ඒ කඳුළු ඇතුලෙ දුක එක්ක සතුටත් අපිට පෙනුන…ඒත් මගේ මතක ඇතුලෙන් එළියට එන්න මට බැරි වුණා.
මනාලයගෙ අම්ම නව යුවල ආදරෙන් ගෙදරට පිළිගත්ත..පිච්ච මල් දැම්ම වතුර වීදුරුවක් අරගෙන සතුටින් හිනාවෙලා මනාල යුවල ඉදිරියට ආපු මනාලයගෙ අම්ම දකිද්දි “උ/ඹ/ට අඩු වුණේ ගෑ/ණි/යෙ/ක් විතරයිද.?”
කියල එදා මගෙ අම්ම ඇහුව හැටි මතක් වුණා…මගේම මහ ගෙදර මම වෙනුවෙන් තිබුණ ඉඩ නැති වෙලා දොර වැහුණ හැටි මට මතක් වුණා…ඒත් කිසි කෙනෙක් එක්ක තරහක් අදටත් මගෙ හිතේ නැහැ…
මංගල උත්සවයෙ දෙවැනි දවසත් අවසන් වුණා..මනාලියගෙ නෑදෑයො වගෙම හිතවතුන් ඇවිත් කාල බීල නටල විනෝද වුණා…දවස අවසානෙ හැමෝම විසිරිලා ගියා…ඒත් මම විතරක් හිතින් ජීවිතේ ආපස්සට ගියා…
සතියකට විතර පස්සෙ හැන්දෑවක අලුත් මනාල යුවල අපෙ ගෙදර ආව…දැන් මම ඉන්නෙ අපෙ අම්ම තාත්ත එක්ක මහ ගෙදර…අපි ටික වෙළාවක් කතා කළා…
“අයිය මැරි කළා කියල මට මෙයා කිව්ව…කෝ දැන් අයියගෙ වයිෆ්..?එයෙ අපෙ වෙඩින් එකට ආවෙත් නැහැනෙ..”
යාළුවගෙ බිරිඳ ඇහුව…මම බිම බලල සුසුමක් හෙළුවා…
“ම්ම් හරි හරි මම ඒ ගැන ඔයාට යන ගමන් කියන්නම්.”
මම නිහඬ නිසා යාළුව කිව්ව…ඔහු දන්නව වෙච්ච දේ වගෙම මම ඒ ගැන දුකෙන් බව…දැන් ඈ මගේ ළඟ නැති බව මම කොහොම කියන්න ද..?හැමදේම අතෑරල ඈ වෙනුවෙන් හිටපු මම දැන් තනි වෙච්ච බව කොහොම කියන්නද..?හැමදේම අතෑරල මම ළඟට ආපු ඇයත් වෙනස් වුණ බව කොහොම කියන්නද..?
“අනේ අයියෙ හිත රිදුන නම් සොරි..”
ඈ කිව්වෙ මගෙ මූණෙ වෙනස දැකල වෙන්න ඇති…
නව යුවල අපෙ ගෙදරින් පිට වෙලා ගියා..ඒත් ආයෙ මගෙ හිත අතීතයට ගිහින්…යාළුව වාහනේ යන ගමන් ඔහුගෙ බිරිඳ එක්ක මගෙ කතාව කියනව ඇති…
ආයෝජන කළාපෙ බෝඩිම් කාමරේ ඉඳන් එකම ෆැක්ටරියක වැඩ කරපු අපි දෙන්නගෙන් ඇයට වෙනත් ෆැක්ටරියකට යන්න ඕනෙ වුණා…
“මෙතන පුරුදු තැනනෙ සුදු අපි මෙතනම වැඩ කරමු..”
මම කිව්ව..
“මෙතන මට දැන් එපා වෙලා…අනික මගෙ එක්ස්පීරියන්ස් එකත් එක්ක මට හොඳ පඩියකට මේ අලුත් තැනට යන්න පුලුවන්..”
ඈ කිව්ව..
“ඒත් සුදූ..අපි මෙහෙ ඉමු..”
මම ආයෙත් ආදරෙන් කිව්ව…
“ඔයාට ඕන නම් මේකට වෙලා ඉන්න..මම යනව..”
ඈ හිතුවක්කාර වුණා…ඇගේ තනි තීරණේටම ඈ වෙනත් තැනක රස්සාවට ගියා…ඒත් අපි අතරෙ සමගිය නැති වුණේ නැහැ..
“අපි හැමදාටම බෝඩිම් කාමරේ ද ඉන්නෙ..?”
ඈ ඇහුව…
“නෑ ඉතින් අපි සල්ලි ටිකක් එකතු කරගෙන අපේම තැනක් ලයින් කර ගමු.”
මම කිව්ව..
“අපේම තැනක් හදාගන්නකොට කලක් යයි..”
ඇගේ කතා බහ ටික ටික වෙනස් වුණා…මම රුස්සන්නෙ නැති බවක් ඇගෙන් පෙනුන..කල් යද්දි කතා බහ අඩු වුණා..
“ඇයි සුදූ ඔයා වෙනද වගෙ නැත්තෙ..?”
මම ඇහුව..
“මොකුත් නෑ..”
ඈ ප්‍රශ්ණෙ මගඇරිය..
තව මාස දෙක තුනක් ගත වුණා..අපි අතරෙ කතා බහ පවා නතර වුණා..අත්‍යවශ්‍ය දේකට විතරක් වචනයක් දෙකක් කතා කළා..මම හිටියෙම හිතේ දුකෙන්…
සමහර දවසට අපි රෑ වෙනකල් වැඩ…එදා මම වැඩ ඇරිල එද්දි රෑ දහය විතර වෙලා…ඒත් ඇය කාමරේට ඇවිත් නැහැ…මම ඈට කෝල් කළා…ඒකත් වැඩ කළේ නැහැ…කාමරේ තිබ්බ ඇගේ ඇඳුම් සහ ඇගෙ අනෙක් දේවල් සේරම අතුරුදහන් වෙලා…මම බය වුණා..ඈ වැඩ කළ තැනට ගියා..ඒ ෆැක්ටරියෙ දවසෙ වැඩ අවසන් කරල..මම ආයෙත් කාමරේට ගියා…ඇඳ ළඟ පොඩි බංකුව උඩ ලියුමක්…කළින් මම ඒක දැක්කෙ නැත්තෙ ඇයි..?
“හැමදාම බෝඩිම් කාමර වල ඉන්නයි ගාර්මන්ට් වල මැශින් පාගන්නයි මට බැහැ…ඔයා එක්ක හිටියොත් කවදාවත් දියුණුවකුත් නැහැ…ඒ නිසා දියුණු වෙච්ච කෙනෙක් ළඟට මම යනව…මම හොයන්න එපා..මම සතුටින් ඉන්නව..ඔයත් සතුටින් ඉන්න..”
ඈ ලියල තිබුණ…මම සම්පූර්ණ කඩා වැටුණ..මම ම ඕනෙ කියල හැමදේම අතෑරල ආපු කෙනා දැන් මමත් අතෑරල ගිහින්..මාස දෙකක් යද්දි ඇගේ උවමනාවට නීතියෙන් ම අපි වෙන් වුණා..ඇගේ අලුත් සැමියත් පළවෙනි විවාහයෙන් වෙන් වෙච්ච කෙනෙක්..ඒත් ඔහු මම වගෙ දුප්පතෙක් නෙමෙයි..
“ඕක තමයි අපි මුලින්ම කිව්වෙ ඔය කසාදෙ එපා කියල..”
ආයෙ කොළඹ තනියම ඉන්න බැරි කමට ගෙදර ඇවිත් හැමදේම කිව්වට පස්සෙ අම්මල කිව්ව..මම බිම බලාගත්ත..
“දැන් ඉතින් ඒ දේවල් කතා කරල වැඩක් නෑ..පුතා පිස්සෙක් නොවී ගෙදර ආවනෙ..”
තාත්ත කිව්ව..ඉන්පස්සෙ කිසි කෙනෙක් මගෙ හිත රිදෙන්න කතා කළේ නැහැ..ඒත් මගෙ හිතට සැනසුමක් නැහැ…හැමදේම නරක හීනයක් කියල අමතක කරන්න හැදුවත් ඒක අමතක කරන්න ම බැරි වුණා…
“අපේ අකමැත්තෙන් ම කෙ/ල්/ල අරගෙන ගිහින් කොහේද අතරමං කරල ආවෙ..?”
ඇගේ තාත්ත ඇවිත් මම එක්ක රණ්ඩු කළා..මට අපහාස කළා..මම විස්තරේ පැහැදිලි කළත් සේරටම වැරදි කාරය වුණේ මම..
“පුතත් ආයෙ කසාදයක් කරගත්ත නම් හරි..”
කාළෙකට පස්සෙ අම්ම කිව්ව.ඒත් මම එකඟ වුණේ නැහැ..පණ වගෙ ආදරෙන් හිටපු ඇය වෙනස් වුණා නම් තව කෙනෙක් ආවත් ඒ විදියටම වෙනස් වෙයි..ඒ නිසා හැමදාම තනියම ඉන්නව..කොහොම නමුත් මගේ හිත හැමදාමත් ඈට ආදරෙයි…
සමාප්තයි…