තනිවෙලා-  Sinhala Novel

navel

ජීවිතේ මහ පුදුමදෙයක්…හැමදේම හැමෝටම එක වගේ නැහැ…ඒ වගෙම සමහරු වෙනස් වෙන්නෙ අපිට හිතා ගන්නවත් බැරි විදියට…මමයි අක්කයි හිටියෙ පොඩි මාම ළඟ..ඒ අපෙ අම්මගෙ මල්ලි..පොඩි නැන්දත් ආච්චිත් ඒ ගෙදර හිටියා…අපි දෙන්න ඒ ගෙදරට ආවෙ හීනෙකින් වත් නොහිතපු දේවල් ටිකක් නිසා…මිනිස්සුන්ට මේ තරම් දේවල් කරන්න පුළුවන් ද කියල හිතෙන තරම් දේවල් අපේ ජීවිත වල සිද්ධ වුණා…

අපිත් පොඩි මාමා ළඟට එන්න කළින් අම්ම තාත්ත එක්ක සතුටින් හිටියා.. මම ඉන්නෙ අට වස⁣රෙ..අක්ක නම් සාමාන්‍ය පෙළ ලියල ගෙදර හිටියා..මම දවසක් ඉස්කෝලෙ ඉඳන් එද්දි අක්ක බලාගත්තු අත බලා ගෙන ඉන්නව..ඇගේ ඇස් රතු වෙලා..හොඳටම අඬල වගෙයි..

“මොකද අක්කෙ..?”

මම ඇහුව..ඊට පස්සෙ ඈ තවත් අඬන්න ගත්ත..

“ඇයි අක්කෙ මොකද වුණේ..කියන්නකො..කෝ අම්ම..?”

අක්ක සද්ද නැති නිසා මම ගේ පුරාම අම්ම හෙව්ව..අම්මත් නැහැ…තාත්ත නම් වැඩට යන්න ඇති…

“කෝ අක්කෙ අම්ම..අනේ කතා ක/ර/න/ව/කො..”

මම කිව්ව..

“ම..මල්ලි..තාත්ත අපිව දාල වෙන ඇන්ටි කෙනෙක් එක්ක ගිහින්..අම්ම පොලිසි ගියා..”

අක්ක කඳුළු අතරින් කිව්ව..මමත් අක්කව බදාගෙන ඇඬුවා..

“එත⁣කොට තාත්ත ආයෙ ගෙදර එන්නැද්ද අක්කෙ..?”

මම ඇහුව…

“එයි…මේ ගෙදර තාත්තගෙ නෙ..අපිට යන්න වෙයි..”

අක්ක කිව්ව..ටිකකින් අම්මත් ගෙදර ආවා..අම්මත් හොඳටම අඬල…

“දැන් අපිට අපි තුන් දෙනා විතරයි පුතෙ..”

අම්ම කිව්ව….

උසාවිත් ගියා..ඒ ගැන නම් ලොකු දැනුමක් මට නැහැ…

“දරුවො වෙනුවෙන් වන්දි දෙන්න නියම වුණා..”

අම්ම කිව්වෙ එච්චරයි…තාත්ත පස්සෙ දවසක ගෙදර ආවෙ අර ඇන්ටිත් එක්කමයි..ඊට පස්සෙ අපිට එහෙන් යන්න වුණා…අක්කටයි මටයි ඉන්න කිව්වත් අපි ඒකට අකමැති වෙලා අපි අම්ම එක්ක ම හිටියා..අපිට යන්න වෙන තැනක් නැති නිසා අම්මගෙ මහ ගෙදරට ආවා…තාත්ත මාසෙකට වතාවක් අපි වෙනුවෙන් වන්දි මුදලක් ගෙව්ව…

ටික දවසක් ගත වුණා..අම්මගෙ මහ ගෙදර අයිති පොඩි මාමා⁣ට…ඒත් එතනිනුත් අපිට ප්‍රශ්ණ වුණා…පස්සෙ අම්මත් රස්සාවකට ගියේ ඒ ගෙදර වියදම් දෙන්න හිතාගෙන…ඒත් වුණේ අපි හීනෙකින් වත් නොහිතපු දෙයක්…මාස පහ හයක් වැඩට ගියපු අම්මත් වෙන අන්කල් කෙනෙක් එක්ක අපි දෙන්නව දාල යන්න ගියා..අපි මාමලගෙ ගෙදර තනි වුණා..අම්ම තාත්ත දෙන්නම අපි ගැන හිතුවෙ නැහැ…හෙව්වෙත් නැහැ…තාත්ත කරපු දේ ම අම්මත් කරයි කියල අපි හීනෙකින් වත් හිතුවෙත් නැහැ..

“මේ ණයපලවල් දෙක අපිට තියල මහ උ/න් දෙන්න අමාරුව හොඳ කරගන්න වෙන වෙන උ/න් එක්ක ම/ගු/ලෙ ගියා..”

නැන්ද නිතරම කියවන්න ගත්ත…අක්කයි මමයි හිටියෙම ඇඬූ කඳුළින්..අම්ම තාත්ත දෙන්නම නැතුව ලොකු අසරණ කමක් අපිට දැනුන..ඒත් අපිට යන්න තැනක් නැහැ…හරියට කන්න වත් ලැබුණේ නැහැ..සාමාන්‍ය පෙළ සමත් වුණත් එතනින් එහාට අක්කට ඉගෙන ගන්න ලැබුණෙත් නැහැ..මාමලගෙ ගෙදර වැඩ සේරම කරවගත්තෙ අක්කට කියල…

“අක්කෙ…මොකද මේ අඬන්නෙ..?”

මම ඉස්කෝලෙ ඉඳන් එනකොට අක්ක හොඳටම අඬනව…

“අනේ මල්ලි…!!”

මම දැක්කම අක්ක තවත් අඬන්න ගත්ත…

“අක්කට නැන්ද මොනව හරි කිව්ව ද..?”

“න්..නෑ මල්ලි…නැන්දයි ආච්චියි දෙන්න ක්ලිනික් ගියපු වෙළාවෙ මාමා….මාම මට කරදර කරන්න හැදුව..මම අල්ලපු ගෙදරට දුවල නූලෙන් බේරුණේ…”

අක්ක බයෙන් ගැහෙනව..

“නැන්දටයි ආච්චිටයි කිව්වෙ නැද්ද..?”

“කිව්ව…”

“මොකද වුණේ..?”

“ඒ මනුස්සය උ/ඹ/ල/ගෙ මහ උ/න් වගෙ නෙමෙයි බොරු කියාගෙන එන්න එපා කිව්ව..”

අක්ක හොඳටම බය වෙලා..ඒක ඇගෙ ඇස් වලින් පෙනුන..

“අපි දැන් මොකද කරන්නෙ අක්කෙ..?”

“ම..මට මෙහෙ ඉන්න බයයි මල්ලි..මාම කිව්ව උ/ඹ අද බේරුණාට තව දවසක මට අහුවෙයි නෙ කියල..අපි වෙනුවෙන් කිසිම කෙනෙක් නෑ මල්ලි…අපිට එදා කිව්වනෙ තාත්ත එහෙ ඉන්න කියල…ඒ නිසා අපි තාත්ත ළඟට වත් යමුද..?.”

අක්ක බයෙන් කිව්ව…

“මේ/කි අල්ලපු ගෙදරටත් ගිහින් කියල මේ මනුස්සය කරදර කරන්න හැදුව කියල..”

නැන්ද බනිනව…

“මේ ගෙදර ම ඉඳන් ⁣අපෙන් ම කකා බිබී අපිටම පාරෙ බැහැල යන්න බැරි වෙන්න බොරු කියනව…”

නැන්ද තවත් කියවනව..

“කමක් නෑ…ඒ ළමයි ඔහෙ හිටපුවාවෙ…තාම පොඩි ළමයි නෙ.”

මාම මොකුත් නොදන්නව වගෙ කතා කළා..මාමගෙ කපටි කම ගැන අපිට හිතාගන්නවත් බැරි වුණා….

පහුව දා පාන්දරම අක්කයි මමයි හොරෙන් ම ඒ ගෙදරින් ගියා..ඒ අපෙ තාත්ත ළඟට…

“මම දන්නව පුතාල දෙන්න ට මගෙ ළගට එන්න වෙන බව…”

තාත්ත අපිව පිළිගත්ත…ඒත් අම්ම වෙනත් විවාහයක් කර ගත්ත බව තාත්ත දැනන් ඉඳල නැහැ…මාම කරදර කරන්න හදපු බව අපි තාත්තට කිව්වෙත් නැහැ..

“එදා ඉන්න කියද්දිත් මහ ගෑ/ණි එක්ක ම ගියා නම් එයා ගිය තැනටම යන්නනෙ තිබුණෙ..”

තාත්ත එක්ක ආපු ඇන්ටි කිව්ව…ඒ ඇන්ටිට දරුවෙක් ලැබෙන්නත් හිටියා..

“එහෙම කතා කරන්න එපා…ඕන දරුවෙක් වැඩිපුර ආදරෙ තමන්ගෙ අම්මට…ඒකයි මෙයාලත් එදා එයා එක්ක ගියේ..පුතාල දෙන්න මෙහෙ ඉන්න ඒකට කමක් නෑ…”

තාත්ත කිව්ව..අක්කටයි මටයි සතුටු හිතුණ..තාත්ත එදාම හවස මාමලගෙ ගෙදර ගිහින් අපි මෙහෙ ආපු බව කියල ආවා..ඒත් කුඩම්ම නම් අපිට කැමති නැති බව තේරුණා…අපිට ඇයගෙ වෙනස් කම් විඳින්න වෙයි..

“කමක් නෑ මෙහෙ අපි වෙනුවෙන් තාත්ත හරි ඉන්නව නෙ..”

අක්ක කිව්ව…ටික දවසක් ගත වුණා…අක්ක ඒ ගෙදරටත් වැඩකාරියක් වුණා…බබෙක් ලැබෙන්න ඉන්න නිසා වැඩ කරන්න අමාරු බව කියල හැම වැඩේම අක්කට කියල කරව ගත්ත…සමහර දවසට අක්ක අඬ අඬා වැඩ කළා…හැබැයි ඒ කිසි දෙයක් තාත්ත දන්නෙ නැහැ..

“ගෙදර තියන පුංචි වැඩක් වත් කරන්න මෙයා උදව් වෙන්නෙ නැහැ…”

කුඩම්ම තාත්තට බොරු කියන්න ගත්ත…

“නෑ තාත්තෙ ඔය බොරු..”

මම කිව්ව…කොහොම නමුත් අවසානෙ වැරදි වුණේ අපි..තාත්තත් ගත්තෙ කුඩම්මගෙ පැත්ත…ඒ වෙද්දි තාත්තගෙත් මුලින් තිබ්බ කරුණාව නැති වෙන්න ගත්ත…කුඩම්ම කියපු දේවල් අහල අපි දෙන්නට දොස් කියන්න ගත්ත…

“තාත්තෙ අපි මෙහෙන් යන්නම්..”

අවසානෙදි අක්ක කිව්ව..

“ඒ මොකද..?අනික කොහෙ යන්නද..?”

තාත්ත ඇහුව..

“කුඩම්ම කැමති නෑ අපි මෙහෙ ඉන්නවට…ඒකයි අපි නොකරන වැරදිත් කියන්නෙ..”

අක්ක කෙළින් ම කිව්ව..

“ඒ ගෑ/ණි/ට පිස්සු නෑ නොකරන වැරදිත් කියන්න..තො/පි/ත් අර මහ ගෑ/ණි වගේමයි…”

තාත්ත අපි කියපු දේවල් පිළිගත්තෙම නැහැ…

“කමක් නෑ අපි යන්නම් තාත්තෙ..”

අක්ක අඬ අඬා කිව්ව..

“ආයෙත් මාම ළඟට ද යන්නෙ..?”

“නැහැ අම්ම ළඟට..”

අක්ක කිව්ව…

“මෙච්චර දවසක් අපි මෙහෙ තියාගත්තට තාත්තට පින්..”

කියපු අපි දෙන්න තාත්තගෙ දෙපා වැඳල අම්ම ළඟට ආවා..අපි යනවට තාත්ත කැමති වුණේ නැහැ..ඒත් අපි ආවා..අම්මගෙ ගෙදර හොයාගන්න ගොඩක් අමාරු වුණා..ඒත් අවසානෙදි අපි අම්මව හොයාගත්ත…

අපිව දැකපු අම්ම අපි දෙන්නව බදා ගෙන ඇඬුවා…

“මේ ගෑ/ණි ගේනකොටම මම පුතාට කිව්වනෙ…දැන් හරිනෙ..ඔය හොයාගෙන ම ඇවිත් තියෙන්නෙ දෑවැද්ද..”

අම්ම⁣ගෙ ගෙදර හිටපු ආච්චි කෙනෙක් කිව්ව…අක්කයි මමයි මූණට මූණ බලාගත්ත..හැමෝටම අපි කරදරයක්…

“අම්මෙ..අපි තුන් දෙනාට කොහෙ හරි ගිහින් ඉන්න බැරිද..?”

අක්ක ඇහුව…

“මට එහෙම කරන්න බෑ පුතෙ..”

අම්මත් අපි ගැන හිතුව නම් මේ වගෙ දෙවනි කසාදයක් කරගන්නෙ නැති බව අක්ක කළින් කිව්ව මට මතකයි…

“කමක් නෑ පුතාල මෙහෙ ඉන්න..”

අම්ම කිව්ව…ඒත් ඒ වචන ඇතුලෙ කැමැත්තක් නම් නැති බව තේරුණා..

“මම උ/ඹ/ට කිව්ව..ගෑ/ණි/යෙ/ක් ගේනව නම් ළමයි නැති ගෑ/ණි/යෙ/ක් ගේන්න කියල..දැන් මේ ණයපලත් අපි එපැයි ගෙවන්න..”

අර නපුරු ආච්චි තවත් කියෙව්වා…ඒ අන්කල්ගෙ කළින් ඇන්ටි ඇක්සිඩන්ට් එකකින් නැති වෙලාලු..අම්මගෙ වගෙම ඒ අන්කල්ගෙත් දෙවනි කසාදෙ මේක..

“දැන් අපි මොකද කරන්නෙ අක්කෙ..?”

ප්‍රශ්ණෙ එන්න එන්නම දැඩි වෙනව…අපි ගිය දා ඉඳන් ඒ ගෙදරත් රණ්ඩු..අම්මත් ඇඬූ කඳුළින්..අපිට යන්න කියන්න බැරි කමට අම්ම ඉන්නව වගෙ දැනුන..

“අම්ම අපි එක්ක යන්න කැමති නැහැ මල්ලි…”

අක්ක අඬ අඬා කිව්ව..දෙමව්පියො නිසා අපි මේ තරම් අසරණ වෙයි කියල කවදාවත් හිතුවෙ නැහැ…අපි ආපු නිසා ඒ ගෙදර අය අම්මටත් වෙනස් කම් කරන්න ගත්ත..

“මේ දෙන්නට බැරි වුණා ද මහ එ/කා ළඟට යන්න..?”

අන්කල් අම්මගෙන් ඇහුව…අම්ම බිම බලාගත්ත..අපිටත් කරගන්න දෙයක් නැති වුණා…ඇඳුම් ටිකත් අරගෙන අපි දෙන්න පිටත් වුණා…අම්ම ඒත් අපි එක්ක ආවෙ නැහැ…අපිව නතර කළෙත් නැහැ…ආපහු මාමලගෙ ගෙදර යනව කියල අපි ආවා..අක්කගෙ අතට සල්ලි වගයක් දීපු අම්ම අපි පිටත් වෙලා එන දිහා බලන් හිටියා..

“අපි කොහෙද දැන් යන්නෙ අක්කෙ..?”

යන ගමන් මම ඇහුව…අක්ක අඬනව..

“පේනවද මල්ලි..අම්ම තාත්ත දෙන්නම ඉඳලත් අපි අනාතයො වෙච්ච හැටි..?මහ පාරෙ හිටියත් ආයෙ කිසිම නෑයෙක් ළඟට නම් යන්නෙ නැහැ “

අපි දෙන්න ගැන ම මට දුක හිතුණ…අපි අඬ අඬා පාර දිගේ ඔහේ ඇවිද ගෙන ගියා..කරන්නම දෙයක් නැති තැන අවසානෙදි අපි මෙතනට ආවා..දැන් අක්කයි මමයි දෙන්නම ඉන්නෙ අනාත නිවාසෙක…වැඩිහිටි නිවාසෙක ඉන්න ආච්චිල සීයල තමන්ගෙ දරුවො එනකල් මග බලා ඉන්නව වගෙ මමයි අක්කයි දෙන්න අපිට අවුරුදු දහ අට වෙන්න කළින් අපිව බලන්න අම්මයි තාත්තයි එයි කියල හැමදාම මග බලනව…

සමාප්තයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *