යළිත් එන්න- Sinhala Novel

sinhala novel

අදටත් ටව්මෙ ⁣සෙල්ලම් බඩු කඩ ළඟින් යද්දි මම ඉබේම ඒ පැත්තට හැරෙනව..ඒත් දැන් කා⁣ට සෙල්ලම් බඩු ගන්න ද කියල ආයෙ මම හැ⁣⁣⁣රෙනව..කඩේට ගියත් පොඩි චොකලට් එකක් ලොසින්ජර දෙක තුනක් ගන්න ම හිත කියනව..ඒත් ඒව දැන් කාට දෙන්න ද කියල ආයෙත් මගෙ හිත මතක් කරනව…හැම දේම වෙනස් වෙලා ගෙදර තිබුණ සතුට නැති වෙන්න ගත වුණේ නිමේශයයි….ඒ වගෙම පුංචිම පුංචි සිද්ධියයි…

මගෙ වාසනාවට ලැබුණ පුංචි පුතා නිසා මට නැති වෙච්ච හැමදේම ආයෙ ලැබුණ..ගෙදර සතුට වගෙම නැති වෙලා තිබ්බ නෑදෑ කම් හැම දේම චූටි පුතා ආයෙත් මට ගෙනැත් දුන්න…මගෙ අඳුරු වෙච්ච ජීවිතේට ආලෝකය අරගෙන අපෙ ගෙදරට චූටිපුතා ආවා….

කව්රුත් විරුද්ධ වුණ නිසා අපි හොරෙන්ම විවාහ වුණා…කිසිම කෙනෙක් අපිව පිළිගත්තෙ නැහැ..ඒ නිසා මමයි ඇයයි කුළී ගේක පදිංචි වුණා…ලැබෙන පුංචි පුංචි රස්සා කරගෙන පුළුවන් විදියෙන් අපි දෙන්න ජීවත් වුණා…නෑදෑයො කව්රුවත් අපිව බලන්න ආවෙ නැහැ…ආයෙ මරණෙටවත් එපා කියපු නිසා අම්මල බලන්න අපි ගෙදර ගියේ නැහැ…හොරෙන් මගට ගිහින් ඈතින් ඉඳන් දෙපැත්තෙ ම අම්මල තාත්තල දිහා බලන් ඉඳල අපි ආයෙ ආවා….

වසර දෙකකුත් ගත වුණා…අපි තාම කුළි ගෙදර…හැමෝම අපි තාමත් ඈත් කරල..ඇගේ කුසට දරු පැටියෙක් ඇවිත් දැන් ටික දවසක්….දැන් අපේ ලෝකෙම ඇගේ කුසේ වැඩෙන චූටි පැටිය..

“දුවෙක් වුණොත් හොඳයි..”

මම කිව්ව…

“නෑ නෑ..පුතෙක් වුණොත් හොඳයි…”

ඈ කිව්ව…

“හ්ම්…ලැබෙන කෙනා කවුරු වුණත් ඒ තමයි අපෙ පණ…”

මම කිව්ව…

කුළී ගෙදර වුණත් අපි සතුටින් හිටියා.ඈට කන්න හිතුණ දේවල් මට පුළුවන් විදියට මගෙ අතින් හදල දුන්න..ඒත් ඇගෙ අම්ම තාත්ත ළඟ නැති අඩුව ඒකෙන් මැකෙන්නෙ නැති බව මම දන්නව..

“අම්ම හිටිය නම්..”

ඈ දුක් වුණා…

“එයාල හැමෝටම අපි එපා කිව්ව නෙ..”

මම මතක් කළා…

“ඒත්…මම ලැබෙන්න ඉද්දි අපෙ අම්මත් මට මේ වගෙ ම ආදරෙන් ඉන්න ඇති..”

ඈ කියනව..

“ඇයි ඔයාගෙ අම්ම විතරක්…තාත්ත ඔයාට ආදරෙ නැද්ද..?”

මම ඇහුව…

“හ්ම් දෙන්නම තමයි…”

ඈ සුසුමක් හෙළුවා…කඳුළක් ඒ ඇස් වල තිබුණා..

“මම ඔයා ව එයාලගෙන් උදුර ගත්ත..එහෙම නේද..?”

මම ඇහුව…

“පි/ස්/සු ද ඔයාට..?ඔයත් මට ලැබුණ හොඳම කෙනා..ඔයාටත් කව්රුත් නැති වුණේ මම නිසා…”

ඈ කිව්ව..මම අහගෙන හිටියා..අපෙ හිත් රිදෙන නිසා ආයෙ ඒ ගැන කතා කළේ නැහැ…

මාස ගණන් ගත වුණ…ටික ටික පැටිය ඇගේ කුසේ ලොකු වුණා…පුංචි අමුත්ත අපි ළඟට එනකල් අපි දින ගැන්න…ආසාවෙන් මග බැලුව…ඒ නිසා අපි තනි වෙච්ච බව අපිට අමතක වුණා…මාස දහය අවසානෙ දි ඈ හිතුව විදියට ම පුතෙක් අපිට ලැබුණ..

“ඒ ඇස් ඔයාගෙ…”

මුල් ම වතාවට පුතාව ඉඹපු මම කිව්ව..

“නෑ නෑ..පුතා ඔයා වගෙ…”

එතනදිත් ඈ විරුද්ධ වුණා…මම හිනා වෙලා පාඩුවෙ හිටියා…

“අ⁣පිට ම කියල ගෙයක් තිබ්බ නම්…”

රෝහල් වාට්ටුවෙ දි ම ඇය කිව්ව…

“හ්ම්…එහෙනම් පුතාව කුළී ගෙදරට එක්ක යන්න වෙන්නෑ..”

මටත් කියවුණා…මගෙ ඇහැටත් කඳුළක් ආවා…ඒත් මම ඒක ඇගෙන් හංග ගත්ත..

“ඒත් වෙන යන්න තැනක් නෑ..”

කියපු ඈ මගේ අත ඇල්ලුව..

“පුතේ දැන්වත් ගෙදර යමු..”

දරුව ලැබුණ ආරංචියට අපෙ අම්මල රෝහලට ඇවිල්ලා…

“අම්මෙ..!!”

මම කිව්ව..අම්ම අපෙ පුතා ළඟට ගියා…මට ගොඩක් සතුටු හිතුණ..

“මගෙ පුතා පුංචි කාළෙ වගේමයි..”

අම්ම ආදරෙන් දරුව ව අතට ගත්ත…

“මේ පැටියත් තියාගෙන කුලී ගෙවල් වල ඉන්න ඕන නෑ යමු ගෙදර..”

චූටි පුතා එක්ක අපි ම⁣හ ගෙදර ආවා..ඇගෙ අම්මලත් පුතා බලන්න ආවා..චූටි පුතා අපිව ආයෙ එකතු කළා..දැන් හැමෝම හරි සතුටින්…දෝරෙ ගලන ආදර ගඟක් මැද චූටියා හැදෙනව..

තට්ටු දෙකකට හදන ගෙදර උඩ තට්ටුව නම් ස්ලැබ් එක විතරයි තාම..ගෙට එළියෙන් තිබුණ පඩි පෙළ කොළ පාටයි දිය සෙවල නිසා..උඩ තට්ටුව හැදෙන කල් යට තට්ටුවෙ ඉඩ තියන විදියට අපි හැමෝම හිටියා..

දවස සතිය මාස නොදැනීම ගෙව්ණ..පුතා ටිකෙන් ටික ලොකු වුණා..දැන් පුතාට අවුරුදු එකහමාරක්…පුතා ගේ පුරාම දුවනව…ඇහැ ගහගෙනම ඉන්න ඕන..නැත්නම් විනාසයක්…යන්තමට වචන එකතු කරනව..පුතා නිසා ගෙදර පාළුව මැකිල ගිහින්..හැමෝගෙම හුරතලා මගෙ චූටි පුතා..

වැඩට ගියපු මම හැන්දෑවෙ ගෙදර ආවා..වෙනද මම එනකල් බලා ඉන්න චූටි පුතා අද නැහැ…සමහර විට නිදි ඇති…

“අම්මෙ කෝ දරුව..?”

මම යනකොට අම්ම විතරයි ගෙදර…ඈ හොඳටම අඬල..

“අනේ පුතේ..!!”

මම දැක්කම අම්ම තවත් අඬනව..

“ඇයි අම්මෙ මොකද වුණේ..?”

මම ඇහුව…අම්මට කතා කරගන්න බැරි තරම් අඬල..

“අනේ අම්මෙ මොකද වුණේ…?”

මම ආයෙත් ඇහුව…

“පුතේ අපිට බලන්න බැරි වෙච්ච පොඩි වෙළාවට…චූටි පුතා පඩි පෙළ දිගේ උඩට නැගල..ස්ලැබ් එකෙන් වැටිල…හැමෝම ඉස්පිරිතාලෙ ගියා..”

අම්ම කිව්ව..මගෙ පපුව ගිනි ගත්ත..මමත් එක හුස්මට රෝහලට දිව්ව..

“පුතා අයි සී යූ එකේ..”

නර්ස් කිව්ව…අම්ම හැර ගෙදර හැමෝම එතන⁣ ඉන්නව…මම දැකපු ඈ අවිත් මම බදාගෙන ඇඬුව..

“අනේ මට සමා වෙන්න පුතා හරියට බලාගන්න බැරි වුණා…”

ඈ සද්දෙට අඬනව…මමත් ඇය එක්ක ඇඬුවා…

පුතා මැෂින් ගොඩක් එක්ක..බට ගොඩකුත් ඇඟේ තැනින් තැන හයි කරල…අත පය සේරම බැන්ඩේජ් ඔතල..

දවස් ගාණක් සිහි නැතුව චූටි පුතා අයි සී යූ එකේ…වතුර උගුරක් වත් නොබී අපි බලා හිටියා..ඒත් එක වතාවක් වත් චූටි පුතා ඇස් ඇරල බැලුවෙ නැහැ..දවස් ගාණකට පස්සෙ අනේ…!! මගේ චූටි පුතා අපිව දාල යන්න ගියා…

දැන් අවුරුදු ගාණක් ගත වෙලා..ඒත් චූටි පුතා තාමත් අපේ හිතේ ඉන්නව…ඔහු කවදාවත් අපෙ හිත් වලින් යන එකක් නැහැ..ඒත් ආයෙ මගෙ පුතා එනව නම්…

“අපිට තව දරුවො ලැබෙයි ඒත් අපෙ චූටි පුතත් ඒ දරුවො එක්ක හිටිය නම්….”

චූටි පුතාගෙ මතක එක්ක ඈ විතරක් නෙමෙයි මමත් තාම අඬනව… ඒත් අපේ චූටි පුතා ආයෙ අපෙ ළඟට එන්නෙ නෑ..ඒක අපි දන්නව..ඒත් කවද අපේ හිත් හැදෙයිද..?ඒක නම් අපි දන්නෙ නැහැ…

සමාප්තයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *