කොළඹ නගරයේ කාර්යබහුලත්වය දවස පුරාම තිබුණත්, මේ හැන්දෑව ඊට වඩා ගොඩක් වෙනස්. අහස කට්ට කළුවර කරගෙන හිටියේ මහා වැස්සකට පෙරනිමිති පෙන්නමින්. නගරයේ කෙළවරක, ප්‍රධාන පාරෙන් මඳක් ඇතුළට වෙන්න තිබුණු ඒ පුංචි කෝපි කඩේ ඇතුළේ තිබුණේ පුදුමාකාර නිශ්ශබ්දතාවයක්. කඩේ ඇතුළේ ලා කහ පාට විදුලි බුබුළු දාලා තිබුණේ හිතට පුදුම සාමයක් ගෙනෙන විදිහට. වීදුරු දොරෙන් එළියට පෙනෙන ලෝකය කලබලකාරී වුවත්, මේ කඩේ ඇතුළේ ගෙවුණේ වෙනස්ම කාල හෝරාවක්.
ජනේලයෙන් එළියට වැටෙන පාර දිහා බලාගෙන හිටපු අමායාගේ මූණේ තිබුණේ ලොකු කල්පනාවක්. කෝපි කෝප්පයෙන් නගින දුමාරය ඇගේ මුහුණ හරහා යද්දී, ඇය ඒ කෝප්පය දෑතින්ම බදාගෙන හිටියේ කෝපි එකේ රස්නය ගන්නවට වඩා තමන්ගේ ඇතුළාන්තයේ තියෙන සීතල මකාගන්න වගේ. ජනේල වීදුරුව දිගේ වැහි බිඳු එකින් එක බේරිලා වැටෙන්න පටන් ගත්තා. ඒත් එක්කම අමායාගේ දෑස්වලත් දිලිසෙන කඳුළු බිඳුවක් සිරවෙලා තියෙනවා නිසල් දැක්කා. ඇගේ ඇඟිලි තුඩු වෙව්ලමින් තිබුණේ සීතල නිසාම නෙවෙයි, ඇගේ හිත ඇතුළේ තිබුණු නොසන්සුන්කම නිසයි.
නිසල් ඇගේ මුහුණ දිහා බලාගෙන හිටියේ හරිම ආදරෙන් වගේම ඊටත් වඩා ලොකු වේදනාවකින්. ඔවුන් දෙන්නා මේසයේ දෙපැත්තේ හිටියත්, නිසල්ට දැනුණේ අමායා තමන්ගෙන් සැතපුම් ගාණක් ඈතින් ඉන්නවා වගේ. ඇය ළඟ සිටියත් ඇයව අල්ලාගත නොහැකි මීදුමක් සේ ඔහුට දැනුණා. ඔහු හෙමින් තමන්ගේ දකුණත දිගු කරලා, මේසය උඩ තිබුණු අමායාගේ වෙව්ලන ඇඟිලි තුඩු තමන්ගේ අත්ල මැද්දට ගුලි කරගත්තා. ඒ උණුසුමෙන් අමායා සුළු මොහොතකට තිගැස්සුණා.
”අමායා…” නිසල් කතා කළේ හරිම මෘදු, ඒත් බරපතළ කටහඬකින්. “ඔයා අදත් වෙනදා වගේම ඈතක අතරමං වෙලා. මට තේරෙනවා ඔයා මගෙන් මොනවා හරි ලොකු දෙයක් හංගනවා කියලා. ඇයි ඔයා හැමදාම මේ වගේ බරක් ඔළුවේ තියාගෙන ඉන්නේ? අපි දෙන්නා අතරේ rහස් තියෙන්න ඕනේ නෑ නේද? මට ඔයාගේ හිනාව වගේම ඔයාගේ දුකත් අයිතියි අමායා.”
අමායා ගැස්සිලා වගේ නිසල් දිහා බැලුවා. ඇගේ ඇස්වල තිබුණේ නිසල් කවදාවත් දැකපු නැති විදිහේ හිස්බවක් වගේම ලොකු බියක්. ඇය හෙමින් තමන්ගේ අත නිසල්ගේ ග්රහණයෙන් මුදවා ගන්න හැදුවා. හරියට ඇගේ අඳුර නිසල්ගේ ආලෝකය වසා ගනීවි කියා බියෙන් වගේ.
”අතීතය ගැන අහන්න එපා නිසල්…” අමායා බිම බලාගත්තා. ඇගේ කටහඬ වෙව්ලුවා. “මට ඔයාට කියන්න තරම් සුන්දර අතීතයක් නෑ. මට බයයි… ඔයා මගේ අතීතයේ ඇත්ත දැනගත්තොත් මාව පිළිකුල් කරයි කියලා. ඒ නිසා මට මේ ඉන්න විදිහට ඉන්න දෙන්න. අපිට මේ ගෙවන මොහොත විතරක් සතුටින් ඉන්න බැරිද? හෙට දවස ගැන නොහිතා අපිට මේ විදිහටම ඉන්න බැරිද?”
නිසල් ඇගේ අත ආයෙමත් තදින් අල්ලාගත්තා. “මට ඔයාගේ ඊයේ දවස වැඩක් නෑ අමායා. මිනිස්සුන්ට අතීතයක් තියෙනවා. සමහර අතීතයන් ලස්සන නෑ තමයි. ඒත් මට ඕනේ මේ මොහොතේ මගේ ඉස්සරහා ඉන්න මේ ගැහැනු ළමයාව විතරයි. මම ආදරේ කළේ ඔයාගේ ඊයේ දවසට නෙවෙයි. මට ඔයාව විශ්වාසයි. ඔයා මමට කවුරු වුණත්, මගේ හිතේ තියෙන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ. මට ඕනේ ඔයාගේ හෙට දවස ලස්සන කරන්න.”
අමායාගේ තොල් අතරට යාන්තම් හිනාවක් ආවා. ඒත් ඒ හිනාව පිටිපස්සේ දරාගන්න බැරි තරම් කඳුළු ගොඩක් හැංගිලා තියෙනවා කියලා නිසල්ට තේරුණා. ඔවුන් හමුවෙලා දැන් මාස හයක්. මේ මාස හය පුරාවටම අමායා තමන්ගේ පවුලේ අය ගැනවත්, ගම ගැනවත් එක වචනයක්වත් කියලා තිබුණේ නෑ. ඇය ෆොටෝ එකක් ගන්න හැම වෙලාවෙම ඒක මඟහැරියා. පාරේ යද්දී පොලිස් ජීප් එකක් දැක්කත් ඇය බය වුණා. නිසල් මේ දේවල් දැක්කත්, ඇයට ඒ අඳුරු මතකයන්ගෙන් මිදෙන්න කාලය දුන්නා මිසක් බල කළේ නැහැ. ඔහු සිතුවේ ආදරයෙන් ඇගේ සියලු තුවාල සුව කළ හැකි බවයි.
කෝපි කඩෙන් එළියට බසිද්දී වැස්ස ටිකක් වැඩි වෙලා තිබුණා. නිසල් තමන්ගේ කුඩය දිග ඇරලා අමායාව තමන්ගේ උරහිසට ළං කරගත්තා. නගරයේ ලයිට් එළි වැහි බිඳු එක්ක එකතු වෙලා පාර පුරාම ලස්සන රටා මවලා තිබුණා. නිසල්ගේ වම් උරහිස වැස්සට තෙමෙද්දීත්, ඔහු කුඩය බර කළේ අමායාගේ පැත්තට.
”මතකද අමායා… අපි මුලින්ම හමුවුණු දවස?” නිසල් පාර දිහා බලාගෙනම ඇහුවා.
”කොහොම අමතක කරන්නද නිසල්… එදත් මේ වගේම මහා වැස්සක්. මම බස් හෝල්ට් එකේ තෙමි තෙමි, යන්න දිහාවක් නැතුව අඬ අඬ ඉද්දි තමයි ඔයා ආවේ. මුළු ලෝකෙම මාව තනි කරපු වෙලාවක ඔයා මට කුඩයක් ඇල්ලුවා. මට එදා හිතුණේ ඔයා දෙවියෙක් මාව බේරගන්න එවපු කෙනෙක් කියලා.”
”ඔව්… එදා ඔයා බයෙන් ගැහි ගැහි හිටපු විදිහ දැක්කම, මට හිතුණේ මේ අහිංසක කෙල්ලව ලෝකෙන් හැමෝගෙන්ම බේරලා මගේ ළඟ තියාගන්න ඕනේ කියලා. එදා ඉඳන් අද වෙනකල් මම ඔයාට පුළුවන් උපරිමයෙන් ආදරේ කළා නේද අමායා? මම කවදාවත් ඔයාගේ හිත රිදෙව්වේ නෑ නේද?”
”මගේ ජීවිතේ මම ලබපු ලස්සනම කාලය මේ මාස හය නිසල්. හැබැයි… සමහර වෙලාවට මට හිතෙනවා මම මේ ලබන්නේ මට අයිති නැති සතුටක් කියලා. මට බයයි, මේ හැමදේම හීනයක් වගේ එක පාරටම බොඳවෙලා යයි කියලා.” අමායා එහෙම කිව්වේ ලොකු සුසුමක් හෙළන ගමන්. ඇය නිසල්ගේ උරහිසට තව තවත් බර වුණේ, මේ උණුසුම තව ස්වල්ප මොහොතකින් අහිමි වේදෝ යන බයක්.
මේ ගතවුණු මාස හය ඇතුළේ නිසල් අමායා ගැන දන්නේ ඉතාම ටිකයි. ඇය වැඩ කළේ ඇඟලුම් කර්මාන්තශාලාවක සුළු රැකියාවක. ඇයට යාළු මිත්‍රයෝ කවුරුත් හිටියේ නැහැ. නිවාඩු දවසට ඇය කළේ තනියම කාමරයට වී පොතක් කියවීම හෝ ජනේලයෙන් පාර දෙස බලා සිටීම පමණයි. නිසල් ඇයව ලස්සන තැන්වලට එක්කගෙන යන්න හැදුවත් ඇය නිතරම කැමති වුණේ සෙනඟ නැති, පාලු තැන්වලට විතරයි.
”නිසල්… දවසක ලෝකයම මට විරුද්ධ වුණොත්, මම වැරදිකාරියක් වුණොත්… එදාටත් ඔයා මාව දාලා යන්නේ නැද්ද? හැමෝම මට ගල් ගසද්දී ඔයා මාව බදාගෙන මාව බේරගන්නවාද?” අමායා ඇහුවේ නිසල්ගේ ඇස්වලින් පිළිතුරක් හොයන ගමන්.
”පිස්සී…” නිසල් හිනාවුණා. “මට මගේ හුස්ම නවත්තන්න පුළුවන් වුණත්, මගේ හදවතින් ඔයාව අයින් කරන්න බෑ. මම හැමදාම ඔයා ළඟ ඉන්නවා. ලෝකයම එක පැත්තක හිටියත් මම ඉන්නේ ඔයාගේ පැත්තේ.”
මේ වචනවලින් අමායාගේ හිත තාවකාලිකව සැනසුණත්, මේ ආදර කතාවට කවදාවත් එකතු වෙන්න ලැබෙන්නේ නෑ කියන කටුක සත්‍යය ඔවුන් දෙදෙනාම යටි හිතින් දැනගෙන හිටියා. දෛවය ඔවුන්ට හොරෙන් වෙනස්ම පිටුවක් පෙරළන්නට සූදානම් වන බවක් ඔවුන් දැන සිටියේ නැත. එදා රෑ ඔවුන් සමුගත්තේ හෙට දවස ගැන ලොකු බලාපොරොත්තුවකින්. හැබැයි දෛවය කියන්නේ අපි හිතන විදිහටම වැඩ කරන දෙයක් නෙවෙයි.
පහුවදා හවස නිසල් ඔෆිස් එකේ ඉඳන් ගෙදර එද්දී, වෙනදා තියෙන සතුටුදායක පරිසරය ගෙදර තිබුණේ නැහැ. සාලයේ ලයිට් පවා නිවලා. නිසල්ගේ තාත්තා සාලයේ පුටුවක වාඩිවෙලා, ඔළුව අත්දෙකෙන් බදාගෙන හිටියේ හරියට ලොකු කම්පනයකට පත්වෙලා වගේ. අම්මා සාරි පොටෙන් කඳුළු පිහදානවා නිසල් දැක්කා. මුළු නිවස පුරාම තිබුණේ මළානික, බියකරු නිශ්ශබ්දතාවයක්.
”අම්මේ… තාත්තේ… මොකද මේ? ඇයි මේ ලයිට්වත් දාන්නේ නැතුව? මොකක් හරි ප්‍රශ්නයක්ද?” නිසල් ඇහුවේ ලොකු බයකින්.
අම්මා හෙමින් නැගිටලා ඇවිත් නිසල්ගේ අතක් අල්ලගත්තා. ඇගේ දෑත් ගල්ගැහිලා වගේ සීතල වෙලා.
”පුතේ… අපේ ලෝකයම කඩාගෙන වැටුණා.” අම්මාගේ හඬ වෙව්ලුවා. “තාත්තගේ ව්‍යාපාර ඔක්කොම බංකොලොත් වෙලා පුතේ. විශ්වාස කරපු අයම තාත්තට ලොකු ලණුවක් දීලා. ගත්ත ණය පියවන්න කිසිම විදිහක් නෑ. අද බැංකුවෙන් ලියුම් එවලා තියෙනවා, ලබන මාසේ වෙද්දී මේ ගේත් වෙන්දේසි කරනවා කියලා. අපි මහ පාරට වැටෙනවා පුතේ. තාත්තට මේ ලැජ්ජාව දරාගන්න බැරුව ඉන්නේ. මිනිස්සු ඉස්සරහා ඔළුව කෙළින් තියාගෙන හිටපු මනුස්සයා අද අඬනවා පුතේ…”
නිසල්ට හිතාගන්න බැරි වුණා. මේ වගේ ලොකු අර්බුදයක් තාත්තා මෙච්චර කල් හැංගුවේ ඇයි කියලා ඔහුට තේරුණේ නැහැ. හැමදාම තමන්ට ශක්තියක් වූ පියෙකුගේ මේ බිඳ වැටීම නිසල්ට දරාගන්න බැරි වුණා.
”අම්මේ බය වෙන්න එපා. අපි මොකක් හරි කරමු. මගේ රස්සාව තියෙනවනේ. අපි ලෝන් එකක් අරන් මේක ෂේප් කරගමු. තාත්තට කියන්න බය වෙන්න එපා කියලා.” නිසල් උත්සාහ කළේ දෙමාපියන්ව සනසන්න.
”බෑ පුතේ… ඒ සල්ලිවලින් මේ කෝටි ගාණක ණය ගෙවන්න බෑ. අපිව හිරේ යන්නයි වෙන්නේ.” අම්මාගේ ඇස්වල එකපාරටම අමුතු බලාපොරොත්තුවක් ඇති වුණා. “හැබැයි… අපිට එකම එක ක්‍රමයක් තියෙනවා. අපේ පවුල බේරගන්න පුළුවන් එකම එක ක්‍රමයක්…”
නිසල් අම්මා දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයකින්.
”තාත්තගේ පරණ යාළුවෙක් ඉන්නවා සුමතිපාල කියලා. එයාගේ දුව සෙනුරි. අද ඒගොල්ලෝ අපේ ගෙදර ආවා. සෙනුරි කාලෙක ඉඳන් ඔයාට ගොඩක් කැමතියිලු. සුමතිපාල මහත්මයා කිව්වා… මේ විවාහය සිද්ධ වෙනවා නම්, අපේ ඔක්කොම ණය බේරලා තාත්තගේ බිස්නස් එකත් ආයෙත් ගොඩදාගන්න උදව් කරන්නම් කියලා. අපේ පවුල, තාත්තගේ ජීවිතය බේරගන්න තියෙන එකම විදිහ මේක විතරයි පුතේ. උඹේ කැමැත්ත විතරයි අපිට ඕනේ. උඹේ එක ‘කැමතියි’ කියන වචනයෙන් අපේ ජීවිත තුනක් බේරෙනවා.”
නිසල්ගේ කන් අගුළු වැටුණා වගේ දැනුණා. මුළු ලෝකයම තමන්ගේ ඔළුවට කඩාගෙන වැටුණා වගේ ඔහුට දැනුණේ. ඔහුගේ හිතේ, පපුවේ, හුස්ම ගැනීමේ පවා හිටියේ අමායා විතරයි. වෙන ගැහැනියක්ව තමන්ගේ බිරිඳ විදිහට හිතන්න ඔහුට කවදාවත් පුළුවන්කමක් තිබුණේ නැහැ.
”අම්මේ… මට ඒක කරන්න බෑ. මම වෙන කෙනෙකුට ආදරේ කරනවා. මට සෙනුරිව බඳින්න බෑ. මම එහෙම කළොත් මගේ ජීවිතේම විනාශ වෙයි අම්මේ. මම මැරුණා වගේ ජීවත් වෙයි.” නිසල්ගේ හඬ බිඳීගෙන ගියා.
ඒත් එක්කම තාත්තා එක පාරටම පුටුවෙන් නැගිටලා නිසල් ළඟට ආවා. ඒ දෑස් කඳුළින් පිරිලා තිබුණා. නිතරම දැඩිව සිටි පියා මෙතරම් දුර්වල වී සිටිනවා නිසල් දැක තිබුණේ නැ.
”මම කවදාවත් උඹෙන් දෙයක් ඉල්ලලා නෑ පුතේ.” තාත්තා කිව්වේ හරිම අසරණ විදිහට. “මගේ මුළු ජීවිත කාලෙම මම දහදුක් වින්දේ උඹලාව ලොකු මහත් කරන්න. උඹලාට හොඳම දේ දෙන්න. අද මම පාරට වැටෙන්න ඉන්නේ. මගේ ආත්මගරුත්වය බේරලා දීපන් පුතේ. උඹ අකමැති වුණොත්… මට සිද්ධ වෙන්නේ වස බොන්න. මට මේ සමාජයේ ලැජ්ජාව දරාගන්න බෑ. මගේ මිනිය මහ පාරේ දාලා යන්න එපා පුතේ…”
තාත්තා නිසල් ඉස්සරහා අත්දෙක එකතු කරලා වඳින්න පහත් වුණා. නිසල්ට පිස්සු හැදෙන්න වගේ ආවා. ඔහු ඉක්මනට තාත්තගේ අත්දෙකෙන් අල්ලගත්තා. එක පැත්තකින් තමන්ගේ පණ වගේ ආදරේ. අනෙක් පැත්තෙන් තමන්ව ලේ කිරි කරලා හදපු, දැන් අසරණ වෙලා ඉන්න දෙමාපියන්ගේ ජීවිත. තමන්ගේ සතුට වෙනුවෙන් දෙමාපියන්ව මහ පාරට වැටෙන්න අරින්න තරම්, නැතහොත් පියාව මරණයට තල්ලු කරන්න තරම් නිසල් ආත්මාර්ථකාමී වුණේ නැහැ. ඔහුගේ හදවත කැබලිවලට බිඳී යද්දී ඔහු නිහඬවම ඒ ඉරණමට හිස නැමුවා.
එදා රෑ නිසල් අමායාව හමුවෙන්න ගියේ හිතේ ගිනි කන්දක් තියාගෙන. නගරයේ පාලු පාරක, සිහින් සීතල හුළඟක් හමද්දී ඔවුන් දෙන්නා මුණගැසුණා. නිසල්ගේ අඳුරු වුණු, ඇඬූ කඳුළින් පිරුණු මුහුණ දැක්ක ගමන් අමායාට තේරුණා මොකක් හෝ ලොකු විනාශයක් වෙලා කියලා. ඇයදිවගෙන ඇවිත් නිසල්ගේ දෑත් දෙකෙන්ම අල්ලගත්තා.
”නිසල්… මොකද වුණේ? ඇයි මේ අඬලා? මට බය නොකර කියන්නකෝ… ඔයාගේ පණ තියෙන ඇස් දෙක අද මැරිලා වගේ.” අමායා ඇහුවේ කලබලයෙන්.
නිසල්ට තවදුරටත් හැඟීම් පාලනය කරගන්න බැරි වුණා. ඔහු අමායාව තදින් බදාගෙන, ඇගේ උරහිස මත හිස තියාගෙන පොඩි දරුවෙක් වගේ අඬන්න ගත්තා. ඔහුගේ කඳුළුවලින් ඇගේ උරහිස තෙත් වුණා.
”අමායා… මගේ ගෙදරින් මට කසාදයක් ලෑස්ති කරලා. අපේ පවුල සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලා, තාත්තා පාරට වැටෙන්න ඉන්නේ. මම අර කෙල්ලව බැන්දොත් විතරයි මගේ අම්මයි තාත්තයි බේරෙන්නේ. මට හිතාගන්න බෑ අමායා. මම කොහොමද ඔයාව නැති කරගන්නේ? අපි කොහේ හරි පැනලා යමු අමායා. අපි වෙන පළාතකට යමු. මම කුලී වැඩක් හරි කරලා ඔයාව බලාගන්නම්. මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.” නිසල් හරිම අසරණ විදිහට ඇඬුවා.
නිසල් හිතුවේ මේ දේවල් ඇහුවම අමායා අඬයි, කෑගහයි, තමන්ව දාලා යන්න එපා කියලා බල කරයි කියලා. හැබැයි පුදුමයකට වගේ අමායා හිටියේ හරිම නිශ්ශබ්දව. ඇය නිසල්ගේ පිට හෙමින් අතගාමින් කඳුළු සැලුවා විතරයි. ඇයට මේ ජීවිතයේ තිත්තකම කලින්ම පුරුදුයි වගේ ඇය ඒක දරාගත්තා. ඇගේ ඇස්වලින් ගලාගෙන ගිය කඳුළු නිහඬවම ඇගේ තීරණය කීවා වගේ වුණා.
”මම දන්නවා නිසල්…” අමායා කිව්වේ හරිම සන්සුන්, ඒත් වේදනාත්මක කටහඬකින්. “අපි වැරදි කාලෙක, වැරදි විදිහට හමුවුණු දෙන්නෙක් කියලා මම මුල ඉඳන්ම දැනගෙන හිටියා. අපිට කවදාවත් එකතු වෙන්න බෑ කියලා මගේ හිත හැමදාම මට කීවා. අපි හීනයක් දැක්කා විතරයි නිසල්. දැන් හීනෙන් ඇහැරෙන්න කාලය හරි.”
”ඇයි අමායා ඔයා එහෙම කියන්නේ? ඔයාට මාව තේරෙන්නේ නැද්ද? ඔයාට මාව අතහරින්න මෙච්චර ලෙහෙසිද?” නිසල් ඇහුවා.
”නෑ නිසල්. ඔයාට ඔයාගේ දෙමාපියන්ව මහ පාරට දාලා මාත් එක්ක එන්න බෑ. ඒක මහා පවක්. දෙමාපියන්ගේ කඳුළු උඩ අපිට සතුටු වෙන්න බෑ. අනික…” ඇය ටිකක් නැවතිලා නිසල්ගේ ඇස් දිහා කෙළින්ම බැලුවා. “අනික මම ඔයාට කියන්න බැරි වුණු ලොකු ඇත්තක් තියෙනවා නිසල්. මගේ අතීතය… අද මම ඒක ඔයාට කියන්නම්. එතකොට ඔයාට මාව අතහරින්න ලෙහෙසි වෙයි.”
අමායා ගැඹුරු හුස්මක් ගත්තා.
”මම මෙහෙට ආවේ මගේ ගමෙන් පැනලා නිසල්. මගේ මල්ලිගේ මොළයේ ගෙඩියක් තිබුණා. එයාගේ ඔපරේෂන් එකට ලොකු මුදලක් ඕන වුණා. මගේ අම්මලාට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. ඒගොල්ලෝ මාව වයසක, සල්ලි තියෙන මිනිහෙකුට බලෙන් කසාද බන්ඳලා දීලා ඒ සල්ලි ගන්න හැදුවා. මට ඒ මනුස්සයාව පේන්න බෑ. මම ඒකට අකමැති වෙලා, මගේ නිදහස හොයාගෙන ගෙදරින් හොරෙන් පැනලා ආවා. මම ආත්මාර්ථකාමී වුණා නිසල්. මම මගේ නිදහස ගැන විතරක් හිතුවා. මම මෙහේ හැංගිලා ඉද්දි… මගේ මල්ලි, බෙහෙත් කරගන්න සල්ලි නැතුව වේදනා විඳලා විඳලා මැරිලා ගියා…” අමායා පාර අයිනේ බිම ඉඳගෙන කෑගහලා අඬන්න ගත්තා.
නිසල් දණගහලා ඇයව බදාගත්තා. ඔහුගේ හදවත කීරි ගැහිලා ගියා. ඇය මේ වගේ මහා විශාල රහසක් සහ වරදකාරී හැඟීමක් තනියම දරාගෙන හිටපු හැටි මතක් වෙද්දී ඔහුට ඇය කෙරෙහි තිබුණු ආදරය තවත් වැඩි වුණා.
”මගේ අම්මලා තාත්තලා මට ශාප කරලා තියෙන්නේ නිසල්. මම මල්ලිව මරපු පව්කාරියක්. මම මේ නගරයේ හැංගිලා ජීවත් වෙන්නේ පොලිසියෙන් බේරෙන්නයි, මගේ හෘද සාක්ෂියෙන් බේරෙන්නයි. මට මේ සමාජයේ අයිතිවාසිකම් කියන්න කිසිම කෙනෙක් නෑ. ඔයා වගේ පිරිසිදු, සමාජයේ හොඳ තැනක ඉන්න පවුලකට මාව ගැලපෙන්නේ නෑ නිසල්. මාව කවදා හරි හොයාගත්ත දවසට ඔයාටත් ලැජ්ජා වෙන්න වෙයි. ඔයාගේ නමටත් කැළලක් වෙයි.”
අමායා කියපු දේවල්වලින් නිසල්ට තේරුණා ඇය කොයිතරම් දුකක්, වරදකාරී හැඟීමක් හිතේ තියාගෙනද මේ මාස හයම හිටියේ කියලා. ඒත් ඔහුගේ ආදරේ අඩුවුණේ නැහැ.
”මට කමක් නෑ අමායා. ඔයා මොන ප්‍රශ්නෙක හිටියත් මම ඔයාව බලාගන්නවා. අපි අතීතය අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගමු.”
”නෑ නිසල්…” අමායා තීරණාත්මකව ඔහුගෙන් ඈත් වුණා. “ඔයා මාව අයිති කරගන්න හැදුවොත් ඔයාගේ පවුලම විනාශ වෙයි. ඔයාගේ තාත්තත් මගේ මල්ලි වගේ සල්ලි නැතුව නැති වෙලා යයි. මට ඒ පාපය ආයෙත් කරගන්න බෑ. මගේ නිසල් පව්කාරයෙක් වෙනවා බලන්න මට බෑ. මම ඔයාට ආදරේ කරන්නේ ඔයාගේ සතුට දකින්න මිසක් ඔයාව අමාරුවේ දාන්න නෙවෙයි. මට මේ ලැබුණු මාස හයේ මතකය ඇති නිසල් මගේ මුළු ජීවිත කාලෙටම ජීවත් වෙන්න. ඔයා ගිහින් ඔයාගේ දෙමාපියන්ව බේරගන්න. ඒක මම ඔයාගෙන් ඉල්ලන අවසාන ඉල්ලීමයි.”
එදා රෑ ඔවුන් වෙන් වුණේ ආයෙමත් හමුවීමේ බලාපොරොත්තුවකින් නෙවෙයි. නිසල් ගෙදර ගියේ පණ නැති මිනිහෙක් වගේ. ඔහුගේ ශරීරය විතරක් ගෙදර ගියත් හදවත අමායා ළඟ නතර වෙලා තිබුණා. ඊළඟ දවස් කිහිපය පුරාම නිසල් අමායාට නොනවත්වාම කෝල් කළා. හැබැයි ඇගේ ෆෝන් එක ඕෆ් කරලා තිබුණා. හිතට දැනුණු දරුණු බය නිසාම නිසල් ඇය නැවතිලා හිටපු පුංචි බෝඩිමට දිව්වා.
හැබැයි එතැන කාමරයේ දොරට ඉබි යතුරු දාලා තිබුණේ. කාමරය අවට කිසිම සලකුණක් තිබුණේ නැහැ.
”ඒ ළමයා පෙරේදා රෑම බෑග් එකත් අරන් යන්න ගියා මල්ලි.” බෝඩිමේ අයිතිකාර කාන්තාව නිසල්ට කීවා. “යද්දී මට මේ ලියමන දීලා කිව්වා නිසල් කියලා කෙනෙක් ආවොත් දෙන්න කියලා. ඒ ළමයා ගොඩක් ඇඬුවා යද්දී. මූණත් අළු වෙලා තිබුණේ.
නිසල් ගැහෙන දෑතින් ඒ කුඩා කොළ කැබැල්ල දිග ඇරියා.
ඇගේ අත් අකුරු පවා කඳුළින් බොඳ වෙලා තිබුණා.
”මගේ ආදරණීය නිසල්…
මම යනවා. මාව හොයන්න හදන්න එපා. මම මේ නගරයෙනුත් ඈතට යනවා. ඔයා මට පණ වගේ ආදරය කළා කියලා මම දන්නවා. මමත් ඔයාට මගේ හුස්මටත් වඩා ආදරෙයි. හැබැයි හැම ආදර කතාවකටම ලස්සන අවසානයක් ලියවිලා නෑ. සමහර ආදර කතා තියෙන්නේ ලෝකයා ඉස්සරහා අයිති කරගන්න නෙවෙයි, හිතේ තියාගෙන රහසින් විඳවන්න.
ඔයා ඔයාගේ අම්මලාව බේරගන්න. ඒගොල්ලෝ කියන කෙනාව කසාද බැඳලා සතුටින් ඉන්න. ඔයා සතුටින් ඉන්නවා දැක්කොත් විතරයි මගේ හිතට නිවනක් ලැබෙන්නේ. මගේ හුස්ම පවතින තාක්කල් මගේ හදවතේ අයිතිකාරයා ඔයා විතරමයි. ආයෙමත් ආත්මෙක අපි හමුවෙමු…
මීට, ඔයාගේම අමායා.”
ලියුම කියවද්දී නිසල්ට තමන්වම පාලනය කරගන්න බැරි වුණා. ඔහු පාර මැද දණගහලා අඬන්න ගත්තා. අවට සිටි මිනිස්සු පුදුමයෙන් බලා සිටියත්, ඔහුට ඒ කිසිවක් දැනුණේ නැහැ. ඔහුගේ ලෝකයම ඔහුගෙන් සමුගෙන ගිහින් තිබුණා.
ඊළඟ සති කිහිපය පුරාම ඔහු පිස්සෙක් වගේ නගරයේ හැමතැනම අමායාව හෙව්වා. බස් ස්ටෑන්ඩ්, කෝපි කඩ, රෝහල්… හැමතැනම ඇගේ ෆොටෝ එක පෙන්වමින් ඇහුවා. හැබැයි කවුරුත් ඇය ගැන දැනගෙන හිටියේ නෑ. ඇය හරියට හමාගෙන ගිය හුළඟක් වගේ කිසිම සලකුණක් නොතියාම අතුරුදන් වෙලා තිබුණා.
ඔහු ඇය වැඩ කරපු ගාමන්ට් එකටත් ගියා. නමුත් එතැනිනුත් ඇය අස්වෙලා ගිහින් තිබුණේ කිසිම ලිපිනයක් ඉතුරු නොකරමයි. නිසල් හැමදාම රෑට බෝඩිම ගාවට ගිහින් පැය ගණන් බලාගෙන හිටියා, අමායා ආයෙත් එයි කියලා. හැබැයි එතනට ආවේ අලුත් කුලීකරුවෝ විතරයි.
කාලය කියන්නේ පුදුම දෙයක්. මිනිස්සු කියනවා කාලය හැම තුවාලයක්ම සුව කරනවා කියලා. හැබැයි ඇත්ත නම්, කාලය තුවාල සුව කළත් ඒවයේ කැළැල් ජීවිත කාලෙටම ඉතුරු කරනවා.
අමායා නැති වෙලා මාස කිහිපයකට පස්සේ, දෙමාපියන්ගේ බලකිරීම මත නිසල්ට සෙනුරිව කසාද බඳින්න සිද්ධ වුණා. විවාහ උත්සවය දවසේ හෝටලය පුරාම සතුට, හිනාව පිරිලා තිබුණත් නිසල් හිටියේ හිස් මිනිහෙක් වගේ. මනමාලයෙක් විදිහට හැඩවෙලා හිටියත් ඔහුගේ හිත තිබුණේ අර පරණ කෝපි කඩේ ජනේලය ළඟ. ඔහු සෙනුරිගේ අත ගත්තේ රොබෝවරයෙක් වගෙයි.
පෝරුවේ චාරිත්‍ර කෙරෙද්දී, සෙනුරි හිනාවෙලා නිසල් දිහා බලද්දී නිසල් දැක්කේ අමායාගේ මූණ. ඇඟිල්ලට මුද්ද දාද්දී නිසල්ගේ අත වෙව්ලුවා. හැමෝම හිතුවේ ඒක සතුටට හෝ කලබලයට වෙන දෙයක් කියලා. හැබැයි ඒ වෙව්ලීම පිටිපස්සේ තිබුණේ තමන්ගේ මුළු ජීවිතයම අනුන් වෙනුවෙන් පූජා කරපු මිනිහෙක්ගේ අසරණකමයි.
විවාහයෙන් පසු ගෙවුණු මුල් මාස කිහිපය නිසල්ට අපායක් වගෙයි. සෙනුරි එකම ඇඳේ සිටියත්, නිසල් හැරී සිටියේ අනෙක් පැත්තටයි. ඔහු රාත්‍රිය පුරාම නිහඬව කඳුළු සැලුවා. සෙනුරි මේ කිසිවකට වැරදිකාරියක් නොවන බව ඔහු දැන සිටියත්, තමන්ගේ හදවත පාලනය කරගන්න ඔහුට නොහැකි වුණා.
සමහර දවස්වලට සෙනුරි නිසල් වෙනුවෙන් ලස්සනට කෑම ලෑස්ති කරලා බලාගෙන හිටියා. නිසල් ගෙදර එන්නේ රෑ බෝ වෙලා, ඔෆිස් එකේ වැඩ බහුලයි කියලා මඟහරිමින්. ඔහු කෑම මේසයේදීත් කතා කළේ වචනයක් හෝ දෙකක් විතරයි. ඔහුට ඕන වුණේ සෙනුරිගෙන් ඈත් වෙලා ඉන්න. මොකද ඇයට ළං වෙද්දී අමායාට කරන ද්‍රෝහිකමක් වගේ ඔහුට දැනුණා.
නමුත් සෙනුරි කියන්නේ හරිම කරුණාවන්ත, බුද්ධිමත්, වගේම අවබෝධයක් තියෙන ගැහැනියක්. ඇගේ පවුලේ මැදිහත්වීමෙන් නිසල්ගේ තාත්තගේ ව්‍යාපාර ආයෙමත් ගොඩනැගුණා. පවුලට ආයෙමත් සැනසීම ආවා. නිසල්ගේ දෙමාපියන් සතුටින් සිටිනු දැකීම පමණක් නිසල්ට ඉතිරි වූ එකම සැනසීම වුණා.
සෙනුරි නිසල්ට ගොඩක් ආදරේ කළා. ඇය ඔහුට හොඳ බිරිඳක් වුණා. නිසල් ඇයට හැම සැපපහසුකමක්ම දුන්නා, ඇයට ගරු කළා. හැබැයි ඒ හැමදේම පිටිපස්සේ තිබුණේ යුතුකම සහ වගකීම විතරයි. නිසල්ගේ හදවත ඇතුළේ තිබුණු සැබෑ ආදරය, එදා අමායා යද්දීම අරන් ගිහින් තිබුණා. ඔහු ඇයට කිසිදා ආදරය නොකළත්, ඇය වෙනුවෙන් හොඳ සැමියෙකු වීමට උපරිමයෙන් උත්සාහ කළා.
සෙනුරි මේ බව යටි හිතින් දැනගෙන හිටියා. නිසල්ගේ හිතේ ලොකු හිස්බවක් තියෙනවා කියලා ඇයට තේරුණත්, ඇය කවදාවත් ඒ ගැන අහලා නිසල්ට වද දුන්නේ නෑ. ඇය කවදාවත් රණ්ඩු වුණේ නෑ. ඇය නිහඬවම, ඉවසීමෙන් ඔහුට ආදරේ කළා. ඇය සිතුවේ දිනෙක තමන්ට ඔහුගේ හදවත දිනාගත හැකිවනු ඇති බවයි. ඇගේ ඒ නිහඬ ඉවසීම නිසල් තුළ ඇය කෙරෙහි ලොකු ගෞරවයක් ඇති කළා.
අවුරුදු පහක් ගෙවිලා ගියා.
නිසල් දැන් අවුරුදු තුනක ලස්සන දුවෙක්ගේ තාත්තා කෙනෙක්. ඒ දුවගේ නම “අමාෂා”. දුවට ඒ නම තියද්දි පවා නිසල්ගේ හිතේ රැව් දුන්නේ අමායාගේ නමයි. දුවගේ ඇස් දෙක දෙස බලද්දී ඔහුට මතක් වුණේ අමායාගේ අහිංසක ඇස් දෙකයි. සෙනුරි සිතුවේ එය සාමාන්‍ය ලස්සන නමක් කියා වුවත්, නිසල්ට එය ඔහුගේ මුළු ලෝකයම වුණා.
දුව නිසල්ගේ ඇඟේ එල්ලීගෙන හුරතල් වෙද්දී, නිසල්ට ජීවිතේ ලොකු සැනසීමක් දැනුණා. ඔහු දැන් සමාජයේ ඉහළ තැනක ඉන්න, දියුණු වුණු ව්‍යාපාරිකයෙක්. සල්ලි, යාන වාහන, පවුල… බැලූ බැල්මට ඔහුට හැමදේම තිබුණා. ඔහු සාර්ථක මිනිසෙකු ලෙස සමාජය දුටුවා. ඔහු තම දියණිය වෙනුවෙන් උපරිමයෙන් කාලය කැප කළා. ඇගේ සිනහව මැදින් ඔහු තමන්ගේ පරණ තුවාල තාවකාලිකව අමතක කරන්න උත්සාහ කළා.
හැබැයි හිතේ එක කොනක, කාටවත් නොපෙනෙන තැනක අර පරණ වේදනාව එහෙමම තිබුණා. කිසිවෙකුට ඇතුළු විය නොහැකි ඒ අඳුරු කුටිය තුළ තවමත් රජ කළේ අමායාගේ මතකයන් විතරයි. රෑ මැදට එක පාරටම ඇහැරෙන සමහර දවස්වලට, නිසල් බැල්කනියට වී අහස දෙස බලා සිටියේ අමායා ද මේ අහස යටම කොහේ හෝ සිටිනවා ඇති නේද කියා සිතමිනි.
ඔහු තමන්ගේ ඔෆිස් කාමරයේ ලාච්චුවක අමායා ලියපු ඒ අවසාන ලියුම අදටත් පරිස්සමට තියාගෙන ඉන්නවා. හැමදාම තනියම ඉන්න වෙලාවට ඔහු ඒ ලියුම අරන් කියවනවා. ඒ අකුරු තවමත් එදා වගේම ඔහුගේ හිත පීදීමට පත් කරනවා. ඔහු දන්නවා ඔහුට දැන් හැමදේම තිබුණත්, ජීවිතේ වටිනාම දේ අහිමි වෙලා කියලා.
අවුරුදු ගාණකට පස්සේ නගරයේ පාරවල් ගොඩක් වෙනස් වෙලා. පරණ ගොඩනැගිලි කඩලා අලුත් ඒවා හැදිලා. කොළඹ නගරය තවත් නවීකරණය වෙලා. හැබැයි අර පරණ කෝපි කඩේ තවමත් ඒ විදිහටම තිබුණා. වෙනස් වන ලෝකය හමුවේ වෙනස් නොවූ එකම තැන එය වගෙයි.
එදත් හරියටම අමායාව මුලින්ම මුණගැසුණු දවස වගේම මහා වැස්සක් වැටුණු හැන්දෑවක්. නිසල් තමන්ගේ කාර් එක පාර අයිනේ නතර කළා. වැස්ස නොතකාම ඔහු කාර් එකෙන් බැහැලා හෙමින් අර කෝපි කඩේ ඇතුළට ගියා.
කඩේ ඇතුළේ වෙනදා වගේම නිශ්ශබ්දයි. ලස්සන, පරණ සින්දුවක් හෙමින් වාදනය වෙනවා. කඩේ සේවකයින් පවා වෙනස් වී සිටියත්, එහි තිබූ ලා කහ පැහැති ආලෝකය වෙනස් වී තිබුණේ නැහැ. නිසල් කෙළින්ම ගියේ එදා අමායා වාඩි වුණු, ජනේලය ළඟ තියෙන පුටුවට. ඔහු එතනින් වාඩි වෙලා කෝපි එකක් ඇණවුම් කළා.
ජනේල වීදුරුව දිගේ වැහි බිඳු බේරිලා වැටෙද්දී නිසල් ඒ දිහා බලාගෙන හිටියා. ඔහුට එකපාරටම පෙනුණේ අමායාගේ මූණ. ඇගේ ඒ අහිංසක, බය වුණු ඇස් දෙක… ඇගේ කටහඬ ඔහුගේ කන් අස්සේ ආයෙමත් ඇහෙන්න ගත්තා.
”මට ඔයාගේ ඊයේ දවස වැඩක් නැහැ අමායා… මට ඕනේ මේ මොහොතේ මගේ ඉස්සරහා ඉන්න ඔයාව විතරයි…” නිසල් තනියම හිතින් ඒ අතීත දෙබස මුමුණගත්තා. ඔහුගේ ඇසින් කඳුළු බිඳුවක් කෝපි කෝප්පය තුළට වැටුණා.
ඔහු දැන් ජීවිතය ගැන ගොඩක් දේවල් තේරුම් අරන් ඉන්න, පරිණත මිනිසෙක්. ඔහු දන්නවා, හැම ආදර කතාවක්ම විවාහයකින් කෙළවර වෙන්නේ නැහැ කියලා. සමහර ආදර කතා පවතින්නේ වෙන්වීම් තුළයි. සමහර ආදර කතා තියෙන්නේ ලෝකයාට අයිතිවාසිකම් කියන්න නෙවෙයි, හිතේ ගැඹුරුම තැනක හංගගෙන රහසින් විඳවන්න.
”අයිති කරගැනීමම නෙවෙයි අමායා ආදරය කියන්නේ…” නිසල් කෝපි කෝප්පය අතේ තියාගෙන හිතින් කිව්වා.
”කවදාවත් ලෝකයා ඉස්සරහා අයිති කරගන්න බැරි වුණත්, ජීවිතේ එක පාරක් හරි කාට හරි පණ වගේ, කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව ආදරය කරන්න ලැබීමත්, ඒ ආදරය හිතේ තියාගෙන මුළු ජීවිත කාලයම ජීවත් වීමත්… එක අතකට පුදුම වාසනාවක්. මම අද ජීවත් වෙන්නේ ඔයා එදා දීපු ඒ මාස හයක මතකයන්ගෙන්.”
”ඔයා මට අයිති නැති වුණත් අමායා… මගේ හදවතේ සදාකාලික අයිතිකාරිය ඔයා විතරයි. මේ භවයේ අපි නොලියවුණු කතාවක් වුණත්, මතු ආත්මයක අපි අපේම කතාව ලියමු.”
කෝපි එක බීලා ඉවර වුණු නිසල්, හෙමින් නැගිටලා කඩෙන් එළියට ආවා. ඔහු අහස දිහා බලලා ගැඹුරු hුස්මක් ගත්තා. අමායා මේ ලෝකේ කොහේ හරි තැනක, අර අඳුරු අතීතයෙන් මිදිලා සතුටින්, සැනසීමෙන් ඉන්න ඇති කියලා ඔහු හදවතින්ම ප්‍රාර්ථනා කළා. ඇය කොහේ සිටියත් සුවෙන් සිටීම පමණක් ඔහු පැතුවා.
ඔවුන්ගේ ආදරය මේ භෞතික ලෝකයේදී අයිති කරගන්න බැරි වුණත්, ඒක හැමදාමත් නිසල්ගේ පපුව අස්සේ පණ වගේ ජීවත් වේවි.
කාර් එකට නැගුණු නිසල්, තමන්ගේ බිරිඳ සහ දුව ඉන්න ගෙදර බලා යන්න ආයෙමත් කාර් එක ස්ටාර්ට් කළා. ඔහුට දැන් යා යුතු ගමනක් සහ ඉටු කළ යුතු යුතුකම් තිබෙනවා. සෙනුරි සහ දියණිය තමන් එනතුරු මඟ බලා සිටින බව ඔහු දන්නවා. ඔහු ආත්මාර්ථකාමී සැමියෙකු හෝ පියෙකු වෙන්න සූදානම් නැහැ.
පාරේ ලයිට් එළි මැද්දෙන් කාර් එක ඉස්සරහට යද්දී, වැස්ස තවමත් නොනවත්වාම වැටෙමින් තිබුණා… හරියට කවදාවත් නොමැකෙන ඒ ආදරේ මතකයන් වගේමයි. නගරයේ තද අඳුර මැදින් ඔහු ඉදිරියටම ගියේ, හදවතේ නොලියවුණු ප්‍රේමයක නිහඬ මතකය සදාකාලිකවම සඟවා ගනිමින්.
ඔවුන් වෙන් වුණත්, ඔවුන්ගේ ආදරය කිසිදා මිය නොයන බවත්, එය ලෝකයට රහසක්ව පවතින බවත් වැහි බිඳු දන්නවා ඇති. ජීවිතය කියන්නේ අපිට ලැබෙන දේවල් එක්ක විතරක් නෙවෙයි, අහිමි වෙන දේවල් එක්කත් ජීවත් වෙන්න පුරුදු වෙන එකයි කියා නිසල් දැන් වටහාගෙන ඉවරයි.
කතාව අවසන්…
🎥 මේ කතාවට අදාළ වීඩියෝව මෙතනින් බලන්න:
