බැඳපු ගැහැනියකට ආදරේ කළ තරුණයා

සමාජය හැමතිස්සෙම දකින්නේ වැරැද්ද විතරයිනේ. ඒ වැරැද්ද පිටුපස තියෙන හිස්තැන, තනිකම, නැත්නම් හදවත ඇතුළෙන් විඳවන වේදනාව කවුරුවත් දකින්නේ නැහැ.

සමාජයේ ඇස්වලට සඳලී කියන්නේ වගකීමක් තියෙන, වැදගත් විවාහක කාන්තාවක්. ඇගේ කසාද ජීවිතේට අවුරුදු දහයක් පිරෙන්න ළඟයි.

ඒත් ඒ දහඅවුරුද්දෙම ඇය ජීවත් වුණේ හරියට හැඟීමක්, පණක් නැති මැෂිමක් වගේ. හැමදාම උදේට ඇහැරෙනවා, උයනවා පිහනවා, ජොබ් එකට යනවා, ආයෙත් ගෙදර එනවා. හැමදාම එකම විදිහයි.

​එක උදේක කෑම මේසෙදිත් වෙනද වගේම මහා මූසල නිහඬබවක් තිබුණේ.

​රුවන් ඇය දිහා බලන්නෙවත් නැතුව, “සඳලී, මගේ නිල් පාට කමිසෙ මැද්දද? මම අද පොඩ්ඩක් පරක්කු වෙනවා,” කියලා කිව්වා.

​”ඔව්, ඒක අයන් කරලා තියෙන්නේ.” සඳලී වෙනදා වගේම උත්තර දුන්නා.

ඒත් මොහොතක් කල්පනා කරපු ඇය, “රුවන්… අද හවස අපි කොහේ හරි යමුද? කාලෙකින් අපි දෙන්නා එළියට ගියේ නෑනේ,” කියලා හිතේ පුංචි බලාපොරොත්තුවක් තියාගෙන ඇහුවා.

​තමන්ගේ ෆෝන් එක දිහාම බලාගෙන රුවන් දුන්නේ හරිම නොසැලකිලිමත් උත්තරයක්.

“අද බෑ සඳලී. මට කම්පැනි එකේ මීටිමක් තියෙනවා. එන්න රෑ වෙයි. කෑම උයලා තියන්න, මම ඇවිත් කන්නම්.”

​”හරි…” සඳලී දිග සුසුමක් හෙළලා කිව්වා.

​ඔවුන්ගේ කතාබහ එතැනින්ම ඉවර වුණා. රුවන් නරක මිනිහෙක් නෙවෙයි. ඔහු තමන්ගේ යුතුකම්, වගකීම් හැමදේම පැහැර හැරියේ නැතුව කළා.

ඒත් ඔවුන් අතර කිසිම හෘදයාංගම බැඳීමක්, ආදරයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ.

ඔවුන්ගේ සෙක්ස් ලයිෆ් එක පවා කාලෙක ඉඳන් තිබුණේ හරිම යාන්ත්‍රික මට්ටමක. රුවන් ඇයට ළං වුණේ ඔහුගේ අවශ්‍යතාවය ඉටු කරගන්න විතරයි.

ඔහු හැරී නිදාගත්තු පසු, සඳලී සිවිලිම දිහා බලාගෙන කොතරම් රෑවල් තනියම අඬන්න ඇත්ද? ඇය ගැහැනියක් විදිහට මුළුමනින්ම තනි වෙලයි හිටියේ.

​අන්න ඒ වගේ ජීවිතේ ගැන හැම බලාපොරොත්තුවක්ම අතහැරලා හිටපු වෙලාවක තමයි කසුන් ඇයගේ ජීවිතේට ආවේ.

කසුන් ඇය වැඩ කරන ඔෆිස් එකට ආවේ අලුත් ප්‍රොජෙක්ට් එකකට. ඔහු වයසින් සඳලීට වඩා අවුරුදු එකොළහක් බාල තරුණයෙක්.

​දවසක් හවස් වරුවක ඔෆිස් එකේ වැඩ අධික වෙලා සඳලී තනියම මේසෙට ඔළුව තියාගෙන හිටියා. මුළු ඔෆිස් එකම පාලු වෙලා තිබුණේ.

​කසුන් නිහඬවම ඇය ළඟට ඇවිත් උණුසුම් කෝපි කෝප්පයක් තියන ගමන්, “සඳලී අක්කේ… තවමත් වැඩද? ඔයා අද හුඟක් මහන්සි පාටයි. මේ කෝපි එක බොන්න,” කියලා කිව්වා.

​තිගැස්සිලා ඔළුව උස්සලා බලපු සඳලී යාන්තමට හිනා වුණා.

“අහ්… ස්තුතියි කසුන්. ඔව්, මේ රිපෝට් එක හෙට උදේම දෙන්න ඕන. ඒකයි. ඔයත් මොකද මේ රෑ වෙනකන්?”

​ඔහු ඇය අසලින් පුටුවක් ඇදගන්න ගමන්, “මම උදව් කරන්නද ඔයාට? තනියම කරන්න අමාරුයිනෙ,” කියලා ඇහුවා.

​”එපා කසුන්. ඔයා ගෙදරයන්න. මේවා මට පුරුදුයි,” සඳලී කිව්වේ ඔහුව පිටත් කරලා හරින්න හිතාගෙන.

​”ගෙදර ගියත් කතා කරන්න බිත්ති විතරයි තියෙන්නේ සඳලී. මට හදිසියක් නෑ. අනික… ඔයා මෙතන තනියම ඉන්නකොට මට ඔයාව දාලා යන්න හිතුණේ නෑ,” කසුන්ගේ ඒ වචනවලට සඳලී පුදුම වුණා.
​”ඒ මොකද ඒ?” ඇය ඇහුවා.

​කසුන් ඇගේ දෑස් දෙස කෙලින්ම බලාගෙන, “මම දන්නේ නෑ. ඒත් ඔයාගේ හිනාව අස්සේ ලොකු මහන්සියක්, තනිකමක් තියෙනවා කියලා මට දැනෙනවා. මම වැරදි නම් සමා වෙන්න,” කියලා කිව්වා.

​සඳලීට වචන නැති වුණා. ඇයව මුළු ලෝකයටම පෙනුණේ හරිම ශක්තිමත් කාන්තාවක් විදිහට.

ඒත් මේ වයසින් බාල තරුණයා ඇයගේ ඇතුළාන්තය අඳුරගෙන තිබුණා.

​දවස්, සති ගෙවිලා ගියා. ඔවුන් අතර කතාබහ එන්න එන්නම වැඩි වුණා. දවසක් වෙනදාටත් වඩා තදින් වැස්ස වහින හැන්දෑවක, ඔවුන් කාර් එක ඇතුළට වෙලා වැස්ස පායනකන් කතා කර කර සිටියා. ඒක ඔවුන්ගේ ජීවිතවල හැරවුම් ලක්ෂ්‍යයක් වුණා.

​සඳලී වැහි බිඳු වැටෙන වීදුරුව දිහා බලාගෙන, “ඇයි ඔයා මට මෙච්චර ළං වෙන්නේ කසුන්? මට බයයි… ඔයා දන්නවා මම බැඳපු කෙනෙක් කියලා. මට අවුරුදු තිස් හයක්. ඔයාට විසි පහයි. මේක සමාජෙට විහිළුවක්,” කියලා කිව්වා.

​කසුන් හරිම ස්ථාවර හඬකින්, “මට සමාජෙන් වැඩක් නෑ සඳලී. බැඳපු කෙනෙක් වුණාට ඔයා සතුටින් නෙවෙයිනෙ ඉන්නේ. මම ඔයාගෙ ඇස්වලින් ඒක දකිනවා. ඔයා ඇතුළෙන් මැරි මැරී ජීවත් වෙන්නේ,” කියලා කිව්වා.

​”ඒත් කසුන්… ඒක තමයි මගේ දෛවය. මම පවුලක් රකින්න ඕන.”

​”තමන්ගේ ආත්මය මරාගෙන රකින පවුලෙන් ඇති වැඩේ මොකක්ද සඳලී? ඇයි ඔයා ඔයාටම අවංක වෙන්න බය? ආදරේට වයසක් නෑ. මට ඕන ඔයාගෙ ඔය හිනාව අස්සෙ හැංගිලා තියෙන වේදනාව නැති කරන්න විතරයි,” ඔහු ඇයට තේරුම් කරලා දෙන්න හැදුවා.

​සඳලී කඳුළු හලමින්, “ඔයාට මේවා තේරෙන්නේ නෑ කසුන්. ඔයාගෙ අනාගතේ… ඒක මං වගේ ගෑණියෙක් නිසා විනාශ කරගන්න එපා. කරුණාකරලා මගෙන් ඈත් වෙන්න,” කියලා ඉල්ලා සිටියා.

​ඇගේ වෙව්ලන දෑත් තමන්ගේ දෑතට මැදි කරගත් කසුන්, “ඔයා නැති අනාගතයක් මට වැඩක් නෑ. මාව දාලා යන්න එපා සඳලී. මට ඔයාව ඕන,” කියලා රහසින් වගේ මිමිණුවා.
​එදා ඇය කසුන්ගේ උරහිසට හිස තියාගෙන හඬා වැටුණා. කසුන් ඇයගේ හිස පිරිමදිද්දී ඇයට දැනුණේ කවදාවත් නොලැබුණු ආරක්ෂාවක්.

​එදා තද වැස්ස නිසා පාරවල් යටවෙලා තිබුණු හින්දා සඳලීට ගෙදර යන්න බැරි වුණා. ඇය කසුන් එක්ක ඔහුගේ කුඩා නිවසට ගියා. ඒ නිවසේ තිබුණු නිහඬ බව ඔවුන් දෙදෙනාගේ හදවත්වල තිබුණු පාලුව තවත් වැඩි කළා. කසුන් තේ එකක් සාදාගෙන ඇවිත් සඳලී අතට දුන්නා. ඇයගේ දෑත් වෙව්ලනවා ඔහු දැක්කා.

​”ඔයා හරියට වෙව්ලනවා. සීතලද? නැත්තම් බය වෙලාද?” තේ කෝප්පය දෙන ගමන් කසුන් ඇහුවා.
​සඳලී බිම බලාගෙන, “මට බයයි කසුන්… මම මේ කරන්නේ මහා පවක්ද කියලා මට හිතෙනවා. මම මාවම පාවා දෙනවද?” කියලා ඇහුවා.

​තේ කෝප්පය මේසයෙන් තියපු කසුන් ඇය අසලින්ම වාඩි වුණා. “ඔයා පාවා දෙන්නේ නෑ සඳලී. ඔයා අවුරුදු ගාණකට පස්සේ ඔයාගෙම හිතට අවංක වෙනවා විතරයි. කවුරුත් ඔයාට ආදරේ කරන්නැති වුණාට, ඔයා ආදරේ ලබන්න සුදුසු කෙනෙක්.”

​කසුන් හරිම මෘදු විදිහට සඳලීගේ මුහුණ තමන්ගේ දෑතට ගත්තා. සඳලීගේ ඇස්වලින් කඳුළු බිඳක් කඩාගෙන වැටුණා. ඒ කඳුළු බිඳ පිසදමමින් කසුන් ඇයගේ තොල්පෙති මත තමන්ගේ තොල් තැබුවා. ඒක සාමාන්‍ය වැළඳ ගැනීමක් නෙවෙයි, අවුරුදු ගණනාවක් තිස්සේ පිපාසිතව හිටපු ආත්ම දෙකක එකතු වීමක් වගේ.

​කසුන් රහසින්, “ඔයා හරිම ලස්සනයි සඳලී… මට ඔයාව විතරයි ඕන…” කියද්දී, සඳලී හරිම හැඟීම්බරව, “කසුන්… මාව අත්හරින්න එපා…” කියලා කිව්වා.

​එදා රෑ ඔවුන් අතර ඇති වුණු ඒ ශාරීරික බැඳීම සඳලීගේ ජීවිතේ ඇය විඳපු සැබෑම ලිංගික සහ ආත්මීය සතුට වුණා. කසුන් ඇයට ළං වුණේ තමන්ගේ වගකීමක් ඉටු කරන්න හෝ තමන්ගේ අවශ්‍යතාවය විතරක් සපුරන්න නෙවෙයි. එතන තිබුණේ පුදුමාකාර ගෞරවයක්, ආදරයක් සහ මෘදු බවක්.
​නමුත් ඒ හැම සතුටක් පිටුපසම ලොකු බයක් හැංගිලා තිබුණා. පසුදා නිවසට ගිය සඳලීට මුහුණ දෙන්න වුණේ ඇය බලාපොරොත්තු වුණු ප්‍රශ්නයටමයි.

​රුවන් සැකෙන් වගේ, “ඊයේ රෑ කොහෙද හිටියේ සඳලී? ඔෆිස් කිව්වට මම කෝල් කළාම ආන්ස්වර් කළේ නෑනෙ,” කියලා ඇහුවා.

​සඳලී බයෙන් වෙව්ලමින්, “ෆෝන් එක බැටරි බැහැලා තිබුණේ රුවන්. වැස්ස නිසා පාරවල් යටවෙලා, මම ඔෆිස් එකේ යාලුවෙක්ගෙ ගෙදර හිටියේ,” කියලා බොරුවක් කිව්වා.

​”බලාගෙන… මිනිස්සු කතා හදන්න බලන් ඉන්නේ. මට මේ තත්ත්වෙට කැළලක් වෙනවට මම කැමති නෑ,” රුවන් තරවටු කළා.

​ඒ වචන ටික සඳලීගේ පපුව පසාරු කරගෙන ගියා. ඇය ඊළඟ දවසේ ඔෆිස් එකේදී කසුන්ව රහසින් මුණගැසුණා.

​ඇය හුස්ම ගන්නත් අමාරුවෙන් වගේ, “කසුන්, මගේ මහත්තයා සැක කරනවා. එයා මගෙන් ප්‍රශ්න කළා. අපි මේක නතර කරමු කසුන්. මට මේ බය දරාගන්න බෑ,” කියලා කිව්වා.

​කසුන් ඇයව සන්සුන් කරන්න හදමින්, “ඇයි සඳලී ආයෙත් බය වෙන්නේ? එයාට ඇත්ත කියන්න. ඔයා අකමැත්තෙන් එයා එක්ක නිදාගන්න හැමදාම රෑට අඬනවා කියලා කියන්න. එයාගෙන් අයින් වෙන්න සඳලී,” කියලා කිව්වා.

​”මට බෑ! මට එහෙම කියන්න බෑ! දික්කසාද වුණු ගෑණියෙක්ට මේ සමාජෙ ඉන්න දෙනවද? අපේ පවුල්වල ගෞරවය? අනික ඔයාගෙ අම්මලා මාව කවදාවත් පිළිගන්නෙ නෑ. ඔයාට මේවා තේරෙන්නෙ නෑ කසුන්.”

​”මට තේරෙනවා සඳලී. ඒත් මට ඔයාව මේ අපායෙන් ගලවගන්න ඕන. මම ඔයාව බලාගන්නම්,” ඔහු ස්ථිරවම කිව්වා.

​”ආදරෙන් විතරක් ජීවත් වෙන්න බෑ කසුන්. ලෝකෙට මුහුණ දෙන්න ඕන. කරුණාකරලා… මට ආයෙ කතා කරන්න එපා.”
​කසුන්ට තේරුණා, ඔහු ඇයගේ ජීවිතේ ළඟින් ඉන්න හැම තත්පරේකම, ඇය ආදරය විඳිනවා වෙනුවට කරන්නේ මැරි මැරී උපදින එක කියලා.

ගෙදර ගියාට පස්සේ අකමැත්තෙන් ස්වාමිපුරුෂයාට අවනත වෙන්න සිදුවෙන හැම මොහොතකම සඳලී විඳින අප්පිරියාව සහ වේදනාව කසුන්ට තේරුණා. නියම ආදරය කියන්නේ අයිති කරගැනීම විතරක්ම නෙවෙයි, තමන් ආදරය කරන කෙනාගේ සැනසීම වෙනුවෙන් අත්හැරීමත් ආදරයක් කියලා ඔහු තේරුම් ගත්තා.

​දින කිහිපයකට පසු ඔහු සඳලීට කතා කළා.

​”සඳලී… මම රස්සාවෙන් අයින් වෙනවා.”

​සඳලී ලොකු කම්පනයකින්, “මොකක්? ඇයි ඒ? ඔයා කොහේද යන්නේ?” කියලා ඇහුවා.

​”මම වෙන පළාතකට යනවා. ඔයා මං නිසා දවසින් දවස විඳවනවා සඳලී. මට ඕන ඔයාව සතුටින් තියන්න. ඒත් මම ළඟ ඉන්නකොට ඔයා තවත් බය වෙනවා. ඔයාගෙ පවුල කැඩෙනවට මම කැමති නෑ.”

​”එහෙම කරන්න එපා කසුන්… ඔයා ගියොත් මම කොහොමද ජීවත් වෙන්නේ? මට ඔයා නැතුව ඉන්න බෑ,” ඇය හඬමින් කිව්වා.

​ඇස්වල කඳුළු පුරවාගත් කසුන්, “මටත් බෑ සඳලී. ඒත් අපි දෙන්නට වෙන විකල්පයක් නෑ. ඔයාගෙ ගෞරවය විනාශ කරන්න මට බෑ. මම ඔයාට හැමදාම ආදරෙයි. ඒත්… මම යනවා,” කියලා පවසමින් නික්ම ගියා.

​ඔහු ඔෆිස් එකෙන් අස්වෙලා තමන්ගේ බඩු බාහිරාදියත් අරගෙන යන අන්තිම දවසේ, සඳලී ඈත ඉඳන් ඔහුගේ දිහා බලාගෙන හිටියා.

ඇයගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටෙනවා ඔහු ඈතදීම දැක්කා. ඒත් ඔවුන් දෙන්නම එකිනෙකා ළඟට ආවේ නැහැ. එක ළඟට ඇවිත් සමුගන්න තරම්වත් ශක්තියක් ඔවුන්ට තිබුණේ නැහැ.

වචනයක්වත් කතා කළේ නැහැ. ඔවුන්ගේ නිහඬතාවය හැම වචනයකටම වඩා බර වුණා.

​අසම්මත ආදරයක තියෙන ලොකුම වේදනාව තමයි, තමන්ගේ පණටත් වඩා ආදරේ කරන කෙනාව තමන්ගේ කරගන්නත් බැරි, ඒ වගේම ජීවිතේ තියෙනකන් කවදාවත් අමතක කරලා දාන්නත් බැරි එක. ඒක හරියට හදවත ඇතුළේ හැමදාම ඇවිලෙන නිහඬ ගින්නක් වගේ.

​අදටත් කසුන් වෙනම නගරෙක, පාලු කාමරයක තනියම ජීවත් වෙනවා. ඔහු තවමත් වෙනත් කෙනෙකුට තමන්ගේ හදවතේ ඉඩක් දීලා නැහැ. සඳලී ඇයගේ අකමැති, ආදරයක් නැති කසාද ජීවිතේ ඇතුළේ බිරිඳකගේ වගකීම් යාන්ත්‍රිකව ඉටු කරමින් තවමත් ජීවත් වෙනවා.

සමහර රාත්‍රීන්වලට ඇය තවමත් තමන්ගේ ස්වාමිපුරුෂයා අසල නිසලව ඉන්නකොට, ඇයට මතක් වෙන්නේ කසුන්ගේ ඒ ආදරණීය, උණුසුම් වැළඳගැනීම් විතරයි.

කසුන් ඇයගේ හිස පිරිමැදපු විදිහ, ඇයට ආදරේ කරපු විදිහ මතක් වෙද්දී ඇය අදටත් කොට්ටයට මූණ තියාගෙන නිහඬවම අඬනවා.

​ලෝකයා දිනුවා. සමාජයේ නීති රීති දිනුවා. ඔවුන් දෙන්නම ලෝකයා ඉස්සරහ පැරදුණා. ඔවුන්ගේ ආදරේ අසම්මතයේ ලේබලයෙන් වැහිලා අළු වෙලා ගියා. ඒත් කසුන්ගේ වගේම සඳලීගේත් හදවතේ එක කොනක, ඒ නොලියවුණු පිටු සදහටම සුරැකිව තියෙනවා.

සමහර ආදර කතා තියෙනවා ලෝකයා ඉස්සරහ, මේ පොළොව උඩ දිනන්න බැරි වුණත්, හදවත ඇතුළෙන් සහ ආත්මයෙන් කවදාවත්ම පරදින්නේ නැති.

Leave a Comment

error: Content is protected !!