කඳුළක ලියැවුණු ආදරය

ජීවිතේ සමහර වෙලාවන් තියෙනවා නේද, අපි හිතන්නෙවත් නැති වෙලාවක, අපි හිතන්නෙවත් නැති කෙනෙක් අපේ ලෝකෙට කඩන් වදිනවා. ඊටපස්සේ මුළු ලෝකෙම වෙනස් වෙනවා. මේකත් අන්න ඒ වගේ වෙනස්ම විදිහක ආදර කතාවක්.

​එදා මහා මූසල හවසක්. අහස පුරාම කළු කරලා කරුවල වෙලා තිබුණේ හරියට මහ වැස්සක පෙරනිමිති කියන්න වගේ. නෙතූ හිටියේ ගොඩක් කලබලෙන්.

එයා ජොබ් එක ඉවර වෙලා ගෙදර යන්න බස් හෝල්ට් එකට එද්දීම මහ වැස්සක් කඩන් හැලෙන්න ගත්තා. කුඩෙත් ගෙදර දාලා ඇවිත් තිබුණු නිසා නෙතූට සිද්ධ වුණේ බස් හෝල්ට් එකේ කොනකට වෙලා බස් එකක් එනකම් බලන් ඉන්න.

“අයියෝ… මේ මඟුල් වැස්සක් වහින්න ගත්තනේ වෙලාවටම. කුඩෙත් නෑ, බස් එකත් මිස් වුණා. දැන් ඉතින් හෝල්ට් එකට වෙලා තමයි ඉන්න වෙන්නේ,” කියලා නෙතූ තනියම මුමුණ ගත්තේ හිතේ තිබුණු පාලුවත් එක්ක.

​අන්න ඒ වෙලාවේ තමයි සහස් එතනට දිවගෙන ආවේ. සහස් ආවේ වැස්සට තෙමි තෙමී, තමන්ගේ ලැප්ටොප් බෑග් එකත් බඩට තද කරගෙන. හෝල්ට් එකට ගොඩ වුණු ගමන් සහස් හති හරිමින්, “අම්මෝ… යාන්තම් බේරුණා. නැත්නම් ලැප්ටොප් එකත් එක්කම ඉවරයි,” කියලා තමන්ගේ ඇඟේ තිබුණු වතුර බින්දු ටික හැලෙන්න තමන්ගේ ජැකට් එක ගසන්න ගත්තා.

හැබැයි සහස් දැක්කේ නෑ ඒ වතුර බින්දු විසි වුණේ එතන හිටපු නෙතූගේ ඇඟට කියලා.

​නෙතූට එක පාරටම කේන්ති ගියා. එයා සහස් දිහා රවලා බලලා, “හලෝ… හලෝ… පොඩ්ඩක් බලලා කරන දෙයක් කරන්න බැරිද? මගේ ඇඟටමයි වතුර හැලුවේ,” කියලා ටිකක් සද්දෙන් කිව්වා. සහස් හොඳටම කලබල වුණා.

එයා නෙතූ දිහා බලලා ලැජ්ජාවෙන් වගේ, “අයියෝ… සොරි, සොරි නංගි. මං දැක්කේ නෑ ඇත්තටම. මේ වැස්ස හින්දා කලබලේට…” කියලා සමාව ඉල්ලුවා.

හැබැයි නෙතූගේ කේන්තිය නිවුණේ නෑ. එයා තවමත් රවමින්, “ම්ම්… දැන් ඉතින් සොරි කිව්වම ඇඳුම වේලෙනවනේ,” කියලා කිව්වම සහස්ට හිනහවක් ආවා.

සහස් ටිකක් කින්ඩියට වගේ හිනාවෙලා, “ඉතින් මං කිව්වේ නෑනේ වේලෙනවා කියලා. හැබැයි මං ගාව ටිෂූ වගයක් තියෙනවා, ඕන නම් පිහදාගන්න,” කියලා ටිෂූ පැකට් එකක් දිගු කළත් නෙතූ, “එපා… ඕන නෑ,” කියලා අහක බලාගත්තා.

​ඊටපස්සේ විනාඩි කිහිපයක් යනකම් දෙන්නම නිහඬයි.

ඇහෙන්නේ වැස්සේ සද්දේ විතරයි. වැස්ස දරුණු වෙද්දී සීතල හුළඟක් එක්ක නෙතූ සීතලේ ගැහෙන්න ගත්තා.

ඒක දැකපු සහස් තමන්ගේ ඇඟේ තිබුණු උණුසුම් ජැකට් එක ගලවලා නෙතූට දික් කරලා, “මේ… මට බනින්න එපා. හැබැයි ඔයා ගොඩක් සීතලෙන් ඉන්නේ. මේක දාගන්න. මේක තෙමිලා නෑ, ඇතුල වේලිලා තියෙන්නේ,” කියලා කිව්වා.

නෙතූ පුදුමයෙන් සහස් දිහා බලලා, “ඕන නෑ… මට කමක් නෑ,” කියලා කිව්වත් සහස් අතඇරියේ නෑ. එයා හිනාවෙලා, “අනේ ගන්න ළමයෝ… මං ඕක හොරකම් කරපු එකක් නෙවෙයි. මගේමයි,” කියලා කියද්දී නෙතූටත් නොදැනිම හිනහවක් ආවා.

ජැකට් එක ඇඟට දාගන්න ගමන් නෙතූ, “තැන්ක්ස්… මං නෙතූ,” කියලා තමන්ව හඳුන්වලා දුන්නා. සහස් තමන්ගේ අත දික් කරලා, “මං සහස්. ඉතින් නෙතූ… කොහෙද මේ මහා රෑ වැස්සේ තනියම?” කියලා අහද්දී ඒ අහඹු හමුවීම ලස්සන කතාවක ආරම්භය බවට පත් වෙලා තිබුණා.


​අන්න ඒ විදිහටයි සහස් සහ නෙතූගේ කතාව පටන් ගත්තේ. එදා රෑ බස් හෝල්ට් එකේදී හුවමාරු කරගත්ත ෆෝන් නම්බර්ස්, සති කිහිපයක් යද්දී රෑ තිස්සේ ඇහැරිලා කරන දිග කතාබස් බවට පත්වුණා.

දෙන්නට දෙන්නා නැතුවම බැරි තරමට යාළුකම සීමාවන් ඉක්මවා යන්න ගත්තා.

​දවසක් රෑ දොළහට විතර නෙතූ නිදාගන්න හදද්දීම සහස්ගෙන් කෝල් එකක් ආවා. නෙතූ ෆෝන් එක ආන්ස්වර් කරලා, “හෙලෝ සහස්… මොකද මේ රෑ දොළහට?” කියලා ඇහුවා. සහස් ඇඳේ එහා මෙහා හැරෙන ගමන්, “නිකන්… නින්ද යන්නේ නෑ නෙතූ. මට එක පාරටම ඔයාව මතක් වුණා. ඔයා නිදිද?” කියලා ඇහුවා. නෙතූ හිනාවෙලා, “අනේ නෑ… ඔයා කෝල් කරපු එක හොඳයි,” කියලා කිව්වා.

​හැබැයි එදා සහස් හිටියේ ටිකක් බැරෑරුම් මූඩ් එකක.

එයා ටිකක් වෙලා කල්පනා කරලා, “නෙතූ… මං ඔයාගෙන් දෙයක් ඇහුවොත් ඇත්තම කියනවාද?” කියලා අහද්දී නෙතූ, “ම්ම්… අහන්න බලන්න,” කියලා කිව්වා. සහස් හිත හයිය කරගෙන, “ඔයා කවදා හරි ආදරය කරලා තියෙනවාද? නැත්නම්… දැන් කෙනෙක් ඉන්නවාද?” කියලා ඇහුවා.

​ඒ ප්‍රශ්නෙත් එක්ක නෙතූ එක පාරටම නිහඬ වුණා. එයාගේ අතීතයේ තිත්ත මතකයන් එයාගේ හිතට වද දෙන්න ගත්තා. නෙතූ දිගු සුස්මක් හෙළලා, “ම්ම්… ඉස්සර කරලා තියෙනවා සහස්. හැබැයි ඒක මට දුන්නු රිදවීම් එක්ක මං ආයෙත් කවදාවත් කාටවත් ආදරේ කරන්නේ නෑ කියලා හිතාගත්තා. ආදරේ කියන්නේ මහා බොරුවක්,” කියලා කිව්වේ හිතේ තිබුණු කලකිරීමෙන්. සහස්ට නෙතූ ගැන ලොකු දුකක් හිතුණා.

එයා නෙතූව සනසන්න හිතාගෙන, “හැමෝම එක වගේ නෑ නෙතූ… සමහර අය ඉන්නවා තමන්ගේ පණටත් වඩා ආදරේ කරන. තමන්ගේ සතුටට වඩා අනෙක් කෙනාගේ සතුට හොයන…” කියලා කියද්දී නෙතූ ඒක කින්ඩියට අරගෙන , “ඒ පොත්වල සහස්. ඇත්ත ලෝකේ එහෙම අය නෑ,” කියලා කිව්වා.

සහස් එතකොට, “ඉන්නවා නෙතූ… ඔයාට ළඟදීම ඒක තේරෙයි,” කියලා කිව්වේ තමන්ගේ හිතේ තියෙන ආදරේ නෙතූට නොකියාමයි.

​සහස් නෙතූට ගොඩක් ආදරේ කළා. හැබැයි නෙතූගේ හිතේ තිබුණු අතීත බය හින්දා සහස් කවදාවත් ඒක වචනයෙන් කිව්වේ නෑ.

එයා තමන්ගේ ක්‍රියාවෙන් නෙතූව හැම වෙලාවකම බලාගත්තා. නෙතූට ඕනම දේකට සහස් ළඟින්ම හිටියා. ඒත් ජීවිතේ හැමදාම එක වගේ ගලාගෙන යන්නේ නෑනේ.

​දවසක් සහස් නෙතූට හදිස්සියේම කැෆේ එකකට එන්න කිව්වා. නෙතූ එතනට ගිහින් වාඩි වෙද්දීම සහස්ගේ මූණේ තිබුණේ ලොකු කණගාටුවක්. නෙතූ සහස්ගේ මූණ දිහා බලලා, “සහස්… ඇයි අද මෙතනට එන්න කිව්වේ? ඔයාගේ මූණත් ටිකක් අවුල් වගේ,” කියලා අහද්දී සහස් අමාරුවෙන් හිනාවෙන්න උත්සාහ කළා.

එයා නෙතූගේ ඇස් දිහා කෙළින් බලන්න බැරුව බිම බලාගෙන, “නෙතූ… මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. මගේ කම්පැනි එකෙන් මාව අවුරුදු දෙකකට රට යවනවා. ලබන සතියේ මට යන්න වෙනවා,” කියලා කිව්වා.

​ඒ කතාව ඇහුවම නෙතූගේ මුළු ලෝකෙම නතර වුණා වගේ දැනුණා. එයා බය වෙලා, “මොකක්? රට යනවා? අවුරුදු දෙකකට? ඇයි සහස් මට කලින් කිව්වේ නැත්තේ?” කියලා අහද්දී සහස්, “මට ඔයාට කියන්න ධෛර්යයක් තිබුණේ නෑ නෙතූ. මං කොහොමද ඔයාව දාලා යන්නේ?” කියලා කිව්වා.

නෙතූගේ ඇස්වලින් කඳුළු කඩාගෙන හැලෙන්න ගත්තා.

එයා සහස්ට තිබුණු ආදරේ එයාට තේරුණේ ඒ වෙලාවේ. නෙතූ සහස්ගේ අත් දෙකෙන් අල්ලගෙන අඬමින්, “ඉතින් නොයා ඉන්න බැරිද සහස්? ඔයා දන්නවාද… ඔයා නැතුව මං කොහොමද ඉන්නේ කියලා? මගේ මුළු ලෝකෙම දැන් ඔයා,” කියලා කිව්වා.

​සහස් පුදුමයෙන් නෙතූ දිහා බලලා, “නෙතූ… ඔයා ඔය කියන්නේ…” කියලා අහද්දීම නෙතූ ඒක අනුමත කරමින්, “ඔව් සහස්… මං ඔයාට ආදරෙයි. මට ඒක තේරෙද්දී පරක්කු වැඩියිද? මගේ හිතේ තිබුණු බය නැති කළේ ඔයා. දැන් ඔයත් මාව දාලා යන්න හදනවා,” කියලා හයියෙන් අඬන්න ගත්තා.

සහස් නෙතූගේ කඳුළු පිහදාලා, “මං යන්නේ අපේ අනාගතය වෙනුවෙන් නෙතූ. මං ඔයාට කොච්චර ආදරේද කියලා මං වචනවලින් නොකිව්වට මගේ හිත දන්නවා. මං ආයෙත් එනවා. ඔයා මං වෙනුවෙන් ඉන්නවාද?” කියලා අහද්දී නෙතූ, “මං මැරෙනකම් ඔයා වෙනුවෙන් ඉන්නවා සහස්…” කියලා පොරොන්දු වුණා.

​සහස් රට ගියා. අවුරුදු දෙකක්… දවස් 730ක්. නෙතූ සහස් එනකම් ඇඟිලි ගැන්නා.

හැමදාම රෑට වීඩියෝ කෝල්වලින් හිනා වුණු ඒ දෙන්නා, තමන්ගේ ආදරේ ශක්තිමත්ව තියාගත්තා. අද තමයි ඒ අවුරුදු දෙක ඉවර වෙන දවස. සහස් ලංකාවට එන දවස.

​නෙතූ එයාර්පෝට් එකට වෙලා හරිම නොයිවසිල්ලෙන් එහා මෙහා ඇවිදිමින් හිටියා.

“දැන් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරලත් පැයක් වුණා. තාම සහස් ආවේ නෑනේ. ෆෝන් එකත් වැඩ නෑ,” කියලා නෙතූ තනියම කියවද්දී එයාගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා. ඒ සහස්ගේ අම්මා.

නෙතූ කලබලෙන් ෆෝන් එක ආන්ස්වර් කරලා, “හෙලෝ ඇන්ටි… සහස් ආවාද? මං මේ එයාර්පෝට් එකේ ඉන්නේ,” කියලා කිව්වත් ඇන්ටිගේ පැත්තෙන් ඇහුණේ අඬන සද්දයක් විතරයි.

ඇන්ටි කඩවුණු හඬින්, “දුවේ… නෙතූ… සහස්… සහස්ට…” කියලා කියද්දී නෙතූගේ හිත ගැහෙන්න ගත්තා.

“ඇන්ටි… ඇයි මේ අඬන්නේ? සහස්ට මොකද වුණේ?” කියලා නෙතූ බයෙන් අහද්දී ඇන්ටි, “සහස් එයාර්පෝට් එකෙන් එද්දී… එයා ආපු වාහනය ඇක්සිඩන්ට් වෙලා දුවේ… එයා දැන් හොස්පිට්ල් එකේ දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ… ඩොක්ටර්ස්ලා කියනවා…” කියලා කියද්දීම නෙතූගේ අතින් ෆෝන් එක බිමට වැටුණා.

​නෙතූ පිස්සියෙක් වගේ හොස්පිට්ල් එකට දිව්වා. එයා කොරිඩෝ දිගේ අඬමින් දිවගෙන ගිහින් සහස් හිටපු කාමරයට වැදුණා.

සහස්ව යන්ත්‍ර සූත්‍රවලට සම්බන්ධ කරලා තිබුණේ. හෘද ස්පන්දන වේගය දක්වන යන්ත්‍රයේ බීප් සද්දේ මුළු කාමරේ පුරාම ඇහුණා.

නෙතූ සහස්ගේ ළඟින් වාඩි වෙලා එයාගේ අත අල්ලගෙන, “සහස්… සහස්… අනේ ඇස් ඇරලා බලන්නකෝ. මං මේ ආවේ. ඔයා මාව දාලා යන්නේ නෑ කිව්වා නේද? අනේ සහස්… මට බනින්න, හැබැයි මෙහෙම ඉන්න එපා…” කියලා අඬන්න ගත්තා.

​ඒ අඬන සද්දෙට සහස් අමාරුවෙන් ඇස් ඇරියා. ශ්වසන ආවරණය අස්සෙන් ඉතාමත් දුර්වල හඬින්, “නෙ… නෙතූ… ඇඬෙන්න එපා පැටියෝ…” කියලා කියද්දී නෙතූ, “නෑ සහස්, ඔයාට මුකුත් වෙන්නේ නෑ. ඔයා සනීප වෙනවා,” කියලා සහස්ව සනසන්න හැදුවා.

හැබැයි සහස් තමන්ගේ අවසානය ළඟ බව දැනගෙන හිටියා.

එයා අමාරුවෙන් හිනාවෙලා, “මගේ… මගේ ලැප්ටොප් බෑග් එකේ… ඔයාට පොතක් ඇති… ඒක බලන්න… මං ඔයාට… ගොඩක්… ආදරෙයි නෙතූ…” කියලා කියද්දීම හෘද ස්පන්දන යන්ත්‍රයේ ශබ්දය එක දිගට “බීප්” ගාලා ඇහෙන්න ගත්තා.

සහස් හැමදාටම ඇස් පියාගත්තා. නෙතූ, “සහස්ස්ස්ස්ස්….!!!! අනේ මාව දාලා යන්න එපා සහස්…!!!” කියලා මුළු හොස්පිට්ල් එකම දෙදරුම් කන්න කෑගහලා ඇඬුවා.

​සහස් යන්නම ගියා. හැබැයි එයා නෙතූ වෙනුවෙන් ලොකු මතකයක් ඉතුරු කරලා ගියා.

සහස් ලියපු ඒ දිනපොතේ අන්තිම පිටුවේ මෙහෙම ලියලා තිබුණා… ,

“මගේ නෙතූ… මං නැති වුණත් ඔයා ජීවත් වෙන්න ඕනේ. මං ඔයාගේ හදවතේ හැමදාම ඉන්නවා. වැස්සක් වහින හැම වෙලාවකම බස් හෝල්ට් එකක් ගාවින් යද්දී මතක් කරගන්න… ඔයාට පණටත් වඩා ආදරේ කරපු සහස් කෙනෙක් මේ ලෝකේ හිටියා කියලා…”

​නෙතූගේ ඉකිබිඳුම් හඬත්, ජනේලයෙන් එපිටින් ඇහෙන වැස්සේ ශබ්දයත් විතරක් ඉතුරු කරමින් ඒ ආදර කතාව එතනින් නිමා වුණා.

-නිමි-

Leave a Comment

error: Content is protected !!
Exit mobile version