මධුසමය දවසේ සැකය නිසා බිඳුණු ආදරයක්

සචිනි කියන්නේ හරියට නෙළුම් පොහොට්ටුවක් වගේ හැමෝගෙම ආදරේ දිනාගත්ත කෙල්ලෙක්. ගමේ හැදුණු වැඩුණු, අහිංසක, ඒ වගේම හරිම හැඟීම්බර හිතක් තිබුණු කෙල්ලෙක් ඇය. සචිනිට හිටියේ අම්මයි තාත්තයි විතරයි. පවුලේ එකම දුව වෙච්ච නිසා ඇය හැදුණේ හරිම පරිස්සමට, ආදරේ මැද්දේ.

​දිනෙත් ඇයව මුලින්ම දැක්කේ ටවුන් එකේ තියෙන පන්ති ඉවර වෙලා බස් එක එනකල් ඉන්නකොට. එදා වැස්ස දවසක්. කුඩයක්වත් නැතුව වැස්සට තෙමි තෙමි හිටපු සචිනිගේ ඒ අහිංසක ඇස් දෙක දැක්ක ගමන් දිනෙත්ගේ හිත නතර වුණා. දිනෙත් කියන්නේ ටිකක් සල්ලි බාගේ තියෙන, කොළඹ පැත්තේ පදිංචි වෙලා හිටපු, ඒත් හිත හොඳ කොල්ලෙක්. එදා ඉඳන් දිනෙත් සචිනි පස්සෙන් ආවා. මාස හයක් විතර පස්සෙන් ගිහින් තමයි සචිනිගේ කැමැත්ත ගත්තේ.

​”සචි.. මට මුළු ලෝකෙටම වඩා වටින්නේ ඔයාගේ ඔය පිරිසිදු හිත. මම ඔයාව මගේ පණ වගේ බලාගන්නවා. මට කවදාවත් ඔයාව රිද්දන්න බැහැ මැණික..”

​දිනෙත් නිතරම සචිනිට ෆෝන් එකෙන් කතා කරද්දී කිව්වේ ඒ කතාව. අවුරුදු හතරක් තිස්සේ ඔවුන්ගේ ආදරේ ගලාගෙන ගියේ හරිම ලස්සනට. කිසිම දවසක දිනෙත් සචිනිගෙන් සීමාවන් ඉක්මවා යන්න හැදුවේ නැහැ. වැරදි විදිහකට ඇල්ලුවේවත් නැහැ. ඔහු ඇයට දේවතාවියකට වගේ ගරු කළා.

​”දිනෙත්.. ඔයා මට දෙන මේ ගෞරවයට මම මගේ පණ තියෙනකල් ඔයාට විතරක්ම ආදරේ කරනවා. ඔයා තමයි මගේ හැමදේම,” සචිනිත් හැමදාම දිනෙත්ගේ පපුවට තුරුළු වෙලා කිව්වා.

​කාලය ගෙවිලා ගියා. දෙන්නටම රස්සාවල් ලැබුණා. ඊට පස්සේ දෙපැත්තෙම දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් විවාහය තීන්දු වුණා. සචිනි මනාලියක් වෙන්න පෙරුම් පුරද්දී, දිනෙත් හිටියේ තමන්ගේ හීන කුමාරිව තමන්ගේම කරගන්න ලැබෙනකල් ඇඟිලි ගැන ගැන. මඟුල් ගෙදර ලොකුවටම ලෑස්ති වුණා.

​”අද ඉඳන් ඔයා මගේ විතරමයි සචි.. මගේම විතරයි..”
​රන් මුදු මාරු කරලා, පෝරුවෙන් බහිද්දී දිනෙත් සචිනිගේ කනට කරලා රහසින් කිව්වා. සචිනිගේ මුහුණේ ලස්සන, ලැජ්ජාශීලී හිනාවක් තිබුණා. ඇගේ හිතේ කිසිම පාපයක්, කිසිම රහසක් තිබුණේ නැහැ. ඇය හිටියේ මුළු ලෝකෙම දිනුවා වගේ සතුටකින්.

​හවස වෙඩින් එක ඉවර වෙලා, ඔවුන් දෙන්නා ආවේ නුවරඑළියේ තියෙන හරිම නිස්කලංක, ලස්සන හෝටලයකට. මධුසමය ගත කරන්න. නුවරඑළියට එද්දී හොඳටම රෑ වෙලා. එළියේ සීතල වතුර වගේ ගලාගෙන යනවා.

​කාමරයට ඇතුළු වුණ ගමන් දිනෙත් සචිනිව පිටුපසින් බදාගත්තා. “සචි.. මට තාමත් හීනයක් වගේ. ඔයා අද ඉඳන් මගේ නීත්‍යානුකූල බිරිඳ.”
​සචිනි හිනාවෙලා දිනෙත්ගේ පපුවට අතක් තිබ්බා. “දිනෙත්.. මට හරිම මහන්සියි අනේ. මම වොෂ් එකක් දාගෙන එන්නම්.”

​”හා.. ඉක්මනට එන්න. මම බලාගෙන ඉන්නවා,” දිනෙත් ආදරෙන් කිව්වා.
​සචිනි නාන කාමරයට ගියාට පස්සේ දිනෙත් කාමරේ ලෑස්ති කළා. ඇඳ උඩ රෝස පෙති ඉස්සා. සුවඳ ඉටිපන්දම් පත්තු කළා. මුළු කාමරේම ආදරණීය සුවඳකින් පිරී ගියා. සචිනි නාලා, ලස්සන රාත්‍රී ඇඳුමකින් සැරසිලා එළියට ආවා. ඇගේ තෙත් වුණු කොණ්ඩයෙන් ගලාගෙන ආපු සුවඳට දිනෙත්ගේ ආදරය තවත් වැඩි වුණා.

​එදා රාත්‍රිය හරිම ආදරණීයයි. දිනෙත් සචිනිව තමන්ගේ පපුවට තුරුළු කරගත්තේ මුළු ලෝකෙම ලැබුණා වගේ සතුටකින්. සචිනිත් තමන්ගේ ආත්මයම දිනෙත් ඉස්සරහා පූජා කළා. කිසිම ප්‍රශ්නයක්, කිසිම අඩුවක් එදා රෑ ඔවුන්ට දැනුණේ නැහැ. දෙන්නම ආදරේ සයුරේ කිමිදිලා හෙමින් නින්දට වැටුණා.


​නුවරඑළියේ සීතල මීදුම කාමරේ ජනේලයෙන් ඇතුළට එබෙද්දී දිනෙත් හෙමින් ඇස් ඇරියා. සචිනි තාමත් දිනෙත්ගේ අතක් උඩ ඔළුව තියාගෙන සුවසේ නිදි. ඇගේ මුහුණේ තිබුණේ පුදුමාකාර අහිංසකකමක්. දිනෙත් හෙමින් ඇඳෙන් නැගිට්ටා. ඔහු සාම්ප්‍රදායික මතවල හැදැනු වැඩුණු කෙනෙක් නිසා, නොදැනුවත්වම වගේ ඇඳ ඇතිරිල්ල දෙස බැලුවා.
​ඔහු බලාපොරොත්තු වුණ “පිරිසිදුකමේ සලකුණ” එතැන තිබුණේ නැහැ. සුදුම සුදු ඇඳ ඇතිරිල්ල කිසිම පැල්ලමක් නැතුව ඒ විදිහටම තිබුණා.

​දිනෙත්ගේ හිත එකපාරටම ගැස්සුණා. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. “නෑ.. වෙන්න බෑ.. සචි මට එහෙම කරන්නේ නෑ,” දිනෙත් තමන්ටම කියාගත්තා. ඔහු ඇඳ රෙද්ද හොඳටම පරීක්ෂ කරලා බැලුවා. නෑ.. කොහේවත් කිසිම ලේ පැල්ලමක් නැහැ.
​දිනෙත්ගේ ඔළුවට එකපාරටම යක්ෂයෙක් වැහුණා වගේ වුණා. අවුරුදු හතරක් තිස්සේ තමන් දේවතාවියක් වගේ ගරු කරපු කෙල්ල, තමන්ව රවට්ටලා නේද කියන ක්‍රෝධය ඔහුගේ හිතට ආවා. ඔහු සචිනිගේ උරහිසෙන් අල්ලලා තදින් හොලවලා ඇහැරෙව්වා.

​”සචිනි! නැගිටපන්! නැගිටපන් දැන්ම!” දිනෙත් වියරුවෙන් වගේ කෑගැහුවා.
​සචිනි බයවෙලා, ගැස්සිලා ඇහැරුණා. “ඇයි.. ඇයි දිනෙත්? ඇයි මේ උදේ පාන්දර කෑගහන්නේ? මොකක්ද වුණේ?” ඇය ඇස් පිසදමමින් ඇහුවා.
​”මොකක්ද වුණේ කියලා තමුසේ දන්නෙම නැද්ද? මෙන්න මේක බලපන්!” දිනෙත් ඇඳ ඇතිරිල්ල අරන් සචිනිගේ මුහුණට දැම්මා. “කෝ තමුසෙගේ පිරිසිදුකම? තමුසේ මාව රැවැට්ටුවා නේද සචිනි? මම තමුසෙට පණ වගේ ආදරේ කළේ තමුසේ පිරිසිදු කෙල්ලෙක් කියලා හිතාගෙන! කෝ.. කෝ සාක්ෂි? තමුසේ මට කලින් වෙන එකෙක් එක්ක බුදියගත්තා නේද?”

​දිනෙත්ගේ ඒ රළු වචන, ඒ කෑගැසීම සචිනිගේ කන් අඩි පුපුරවන්න වගේ ඇහුණා. ඇයට මොකුත් හිතාගන්න බැරි වුණා. ඇය ඇඳ ඇතිරිල්ල දෙසත්, දිනෙත් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවා.

​”අනේ දිනෙත්.. මේ මොකක්ද ඔයා මේ කියන කතාව? මම දිවුරන්නම්, මගේ ජීවිතේට මම පිරිමියෙක් දිහා වැරදි ඇහැකින් බලලවත් නැහැ. මම ඔයාට විතරමයි ආදරේ කළේ. මම පිරිසිදුයි දිනෙත්.. මාව විශ්වාස කරන්න!” සචිනි ඇඳෙන් බිමට බැහැලා, දිනෙත්ගේ කකුල් දෙක ළඟ වැටලා අඬන්න ගත්තා.

​”ඇති නතර කරපන් තමුසෙගේ ඔය බොරු රඟපෑම! ලේ පැල්ලමක් නැතුව මම කොහොමද තමුසෙව විශ්වාස කරන්නේ? ගමේ අහිංසකී වගේ රඟපාලා, මගේ ජීවිතේම විනාශ කළා. තමුසේ මගේ විශ්වාසය කැඩුවා. තමුසේ මහා නරක ගෑනියෙක්!” දිනෙත් කෝපයෙන් වෙවුලමින් සචිනිව තල්ලු කරලා දැම්මා.
​”අනේ දිනෙත්, මම දන්නේ නෑ ඇයි එහෙම වුණේ කියලා.. මම වැරැද්දක් කරලා නෑ.. මාව තනියම දාලා යන්න එපා අනේ..” සචිනි වැලපුණා.

​”තමුසේ එක්ක එක මොහොතක් ඉන්න මට පිළිකුලයි!” දිනෙත් තමන්ගේ බෑග් එකත් අරන්, සචිනිව ඒ හෝටල් කාමරේ තනියම දාලා, දොර තදින් වහගෙන යන්න ගියා.

​සචිනි අසරණ වුණා. නුවරඑළියේ ඒ සීතල කාමරේ ඇතුළේ ඇය පැය ගාණක් බිම වැතිරිලා ඇඬුවා. තමන් කිසිම වැරැද්දක් කරලා නැතුව, තමන් පණ වගේ ආදරේ කරපු සැමියා තමන්ව “නරක ගෑනියෙක්” කරපු එක ඇයට දරාගන්න බැරි වුණා. අන්තිමේදී ඇය තනියම අඬ අඬාම බස් එකක නැගලා තමන්ගේ ගෙදර ආවා.
​දිනෙත් කෙලින්ම ගියේ තමන්ගේ ගෙදරට. ඔහු තමන්ගේ අම්මටයි තාත්තටයි හැමදේම කිව්වා. “ඒකි මාව රැවැට්ටුවා අම්මේ. මම ඒකිව දික්කසාද කරනවා. ආයේ මගේ ජීවිතේට ඒකිව ඕන නෑ,” දිනෙත් තීරණය කළා.

​සචිනිගේ දෙමව්පියෝ දිනෙත්ගේ ගෙදරට ආවා. සචිනිගේ අසරණ තාත්තා දිනෙත්ගේ ඉස්සරහා දණගැහුවා. “පුතා.. මගේ දුව එහෙම වැරැද්දක් කරන කෙල්ලෙක් නෙවෙයි. මම මගේ දුවව හදාගත්තේ ඇහේ කන් කළු වගේ පරිස්සමට. අනේ මගේ දුවව බාරගන්න පුතා..” සචිනිගේ තාත්තා කඳුළු හෙලුවා.

​”ඕවා මට වැඩක් නැහැ . මට සාක්ෂි ඕනෑ. මගේ විශ්වාසය කැඩුණා. මට ආයේ ඒ ගෑනිගේ මූණවත් පේන්න බෑ,” දිනෙත් රළු විදිහට කිව්වා.
​මුළු ගමේම මේ කතාව පැතිරුණා. “සචිනි මධුසමය දවසේම දිනෙත්ට අහුවෙලා.. ඒකි මහා නරක කෙල්ලෙක්,” ගමේ අය හැමතැනම කතා වෙන්න ගත්තා. සචිනිට පාරේ බැහැලා යන්න බැරි වුණා. ඇය හැමදාම කාමරේට වෙලා, දොර වහගෙන ඇඬුවා. දිනෙත්ගේ මේ අසාධාරණ සැකය නිසා ඇගේ මුළු ජීවිතයම කඩා වැටුණා.

​මාස තුනක් විතර ගෙවුණා. දිනෙත්ගෙන් දික්කසාද නඩු ලියකියවිලි සචිනිගේ ගෙදරට ආවා. මේ නින්දාවන් සහ වේදනාව දරාගන්න බැරිම තැන, සචිනි තීරණයක් ගත්තා. ඇගේ ලොකු අම්මා කෙනෙක් රට (ඩුබායි) හිටියා. ඇය සචිනිට කතා කරලා කිව්වා, “දුවේ.. මේ නින්දාවල් මැද්දේ ලංකාවේ ඉන්න එපා. ඔයා මෙහේ එන්න. මෙහේ ඇවිත් රස්සාවක් කරන්න,” කියලා.

​සචිනි රට යන්න ලෑස්ති වුණා. යන්න කලින් ඇය දිනෙත්ගේ ෆෝන් එකට එකම එක දීර්ඝ මැසේජ් එකක් දැම්මා.

​”දිනෙත්.. ඔයා මගේ ශරීරයේ පිරිසිදුකම හෙව්වාට , අවුරුදු හතරක් තිස්සේ මගේ හදවතේ තිබුණු පිරිසිදු ආදරේ දැක්කේ නැහැ. මම කිසිම වැරැද්දක් කරලා නැහැ කියලා මගේ හෘද සාක්ෂිය දන්නවා. දවසක ඔයාට ඒක තේරෙයි දිනෙත්.. එදාට ඔයා පසුතැවෙයි. ඒත් එදාට මම ඔයා ළඟ ඉන්න එකක් නැහැ. මම මේ රට දාලා සදහටම යනවා. බුදු සරණයි ඔයාට!”
​සචිනි ලංකාව අතඇරලා, තමන්ගේ හිතේ තුවාලත් අරන් රට ගියා. දිනෙත් ඒ මැසේජ් එක කියවලා, “වැරැද්දත් කරලා තව වැල් බයිලා කියවනවා,” කියලා උපහාසයට හිනාවෙලා ඒ මැසේජ් එක ඩිලීට් කරලා දැම්මා.

​සචිනි රට ගිහින් මාස හයක් විතර ගෙවිලා ගියා. දිනෙත් හිටියේ තනියම, සචිනි ගැන ලොකු වෛරයකින් සහ ක්‍රෝධයකින්.

​දවසක් හදිසියේම දිනෙත්ගේ අම්මා අසනීප වුණා. පපුවේ අමාරුවක් හැදිලා ඇයව පුද්ගලික රෝහලක ඇතුළත් කළා. දිනෙත් රෝහලේ කොරිඩෝ එකේ වාඩි වෙලා හිටියේ හරිම කනස්සල්ලෙන්.
​එතකොටම එතැනින් ගියේ සචිනිලාගේ පවුලේ ඩොක්ටර්. ඔහු දිනෙත්ව දැකලා නතර වුණා.
​”පුතා.. දිනෙත් නේද?” දොස්තර මහත්මයා ඇහුවා.
​”ඔව් දොස්තර මහත්මයා.. මගේ අම්මව ඇඩ්මිට් කළා,” දිනෙත් කිව්වා.

​දොස්තර මහත්මයා බර සුසුමක් හෙලලා දිනෙත් ළඟින් වාඩි වුණා. “පුතා.. මම සචිනි දුවගේ පවුලේ දොස්තර. ඔයාලා දෙන්නා සචිනිව සැක කරලා වෙන් වුණා කියලා මට සචිනිගේ තාත්තා කිව්වා. මම ඒ වෙලාවේ ලංකාවේ හිටියේ නැහැ පුතා.. නැත්නම් මම ඔයාට මේ ඇත්ත කියනවා. ඔයා කරලා තියෙන්නේ මහා ලොකු අපරාධයක් පුතා..”

​දිනෙත් පුදුම වෙලා දොස්තර මහත්මයා දෙස බැලුවා. “ඇයි දොස්තර මහත්මයා එහෙම කියන්නේ? එයා මධුසමය දවසේ.. එයා පිරිසිදු කෙල්ලෙක් නෙවෙයි කියලා ඔප්පු වුණා. මම ඇස් දෙකෙන්ම දැක්කා.”

​දොස්තර මහත්මයා ඔළුව දෙපසට වැනුවා. “නැහැ පුතා.. ඔයා වෛද්‍ය විද්‍යාව ගැන දන්නේ නැති මෝඩයෙක් වගේ හැසිරිලා තියෙන්නේ. සචිනිට වයස අවුරුදු 12ක් විතර කාලේ එයා බයිසිකලයෙන් වැටිලා ලොකු අනතුරක් වුණා. බයිසිකල් පොල්ල වැදිලා එයාගේ යෝනිච්ඡදය (Hymon) එක තුවාල වෙලා සම්පූර්ණයෙන්ම නැති වුණා. එදා ඒ ළමයව මගේ ඩිස්පෙන්සරියට අරන් ආවේ ලේ පෙරාගෙන. මමයි එදා ඒ තුවාලවලට බෙහෙත් කළේ.

​පුතා.. වෛද්‍ය විද්‍යාවට අනුව ක්‍රීඩා කරද්දී, බයිසිකල් පදිද්දී, වැටෙද්දී ඕනෑම ගැහැණු ළමයෙකුට ඒ දේ වෙන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ ළමයා අපිරිසිදුයි කියලා! සචිනි කියන්නේ මම දන්න කියන කාලේ ඉඳන් හරිම චරිතවත්, පිරිසිදු කෙල්ලෙක්. ඔයා සාම්ප්‍රදායික මෝඩ මතයක් අල්ලන් ඒ අහිංසකීගේ ජීවිතේ විනාශ කළා!”
​දොස්තර මහත්මයාගේ ඒ වචන ටික ඇහෙද්දී දිනෙත්ගේ මුළු ඇඟම පණ නැති වුණා වගේ දැනුණා. ඔහුගේ කන් අඩි පැලෙන්න වගේ සද්දයක් ඇහුණා. පපුව ඇතුළෙන් ලොකු ගින්නක් ඇවිලුණා. ඔහුගේ අතේ තිබුණු ෆෝන් එක බිමට වැටුණා.

​”දෙවියනේ.. මම මොකක්ද මේ කළේ? මගේ සචි පිරිසිදුයි.. මමයි මෝඩයෙක් වගේ හැසිරුණේ! මම මගේ අහිංසකීට නරක ගෑනියෙක් කිව්වා..” දිනෙත් රෝහලේ බිම දණ ගහලා පිස්සෙක් වගේ අඬන්න ගත්තා. රෝහලේ හිටපු හැමෝම දිනෙත් දෙස බැලුවා. ඒත් දිනෙත්ට ගාණක් තිබුණේ නැහැ. ඔහු සචිනිට කරපු අසාධාරණය මතක් වෙලා පපුවට ගහගනිමින් ඇඬුවා.

​දිනෙත් එදා රෑම පිස්සෙක් වගේ වාහනය පදවාගෙන සචිනිගේ ගමේ ගෙදරට දිව්වා. රෑ 12ට විතර ඔහු සචිනිගේ ගෙදර දොරට තදින් තට්ටු කළා.
​සචිනිගේ අම්මයි තාත්තයි බයවෙලා දොර ඇරියා. දිනෙත් දොර ඇරපු ගමන් සචිනිගේ තාත්තාගේ කකුල් දෙක ළඟ වැටිලා වැඳලා ඇඬුවා.
​”තාත්තේ.. අම්මේ.. මට සමාවෙන්න! මම මහා මෝඩයෙක්. සචි කිසිම වැරැද්දක් කරලා නැහැ. දොස්තර මහත්මයා මට හැමදේම කිව්වා. අනේ මට සචිගේ නම්බර් එක දෙන්න. මම එයාට වැඳලා හරි මගේ වැරැද්ද නිවැරදි කරගන්නම්. මම එයාව ආයේ කැන්දන් එන්නම් තාත්තේ..” දිනෙත් හඬමින් ඉල්ලා සිටියා.

​සචිනිගේ අම්මා කඳුළු පිසදමමින් දිනෙත් දෙස බැලුවේ පුදුමාකාර වේදනාකාරී බැල්මකින්.
​”දැන් වැඩක් නෑ පුතා.. සචිනි රට ගියේ ආයේ කවදාවත් ලංකාවට එන්නේ නෑ කියලා. එයා එහේ සදහටම පදිංචි වෙන්න ලියකියවිලි හදාගෙනයි ගියේ. එයා ඔයාට පණ වගේ ආදරේ කළා පුතා.. ඔයා එයාගේ ශරීරය ගැන සැක කරලා එයාගේ ආත්මයටම ගැහුවා. මුළු ගමක් ඉස්සරහා මගේ දුව නරක ගෑනියෙක් වුණා. ඒ වේදනාව දරාගන්න බැරුවයි ඒ කෙල්ල රට ගියේ. දැන් ඒ කෙල්ලව හොයන්න එපා.. ඔයාට දැන් සචිනිව සදහටම අහිමි වෙලා ඉවරයි!” සචිනිගේ තාත්තා දිනෙත්ව නැගිට්ටවලා කිව්වා.

​දිනෙත් බිඳුණු හදවතින් යුතුව ආපසු තමන්ගේ කාමරයට ආවා. කාමරේ ඇඳ උඩ සචිනි මධුසමය දවසේ ඇඳගෙන හිටපු, පස්සේ ගෙදර අරන් ආපු මඟුල් ඇඳුම තිබුණා. ඒ මඟුල් ඇඳුමේ සුවඳ තාමත් කාමරේ පුරා රැඳිලා තිබුණා.
​දිනෙත් සචිනිගේ පින්තූරයක් පපුවට තියාගෙන ඇඳ උඩ වැතිරිලා අඬන්න ගත්තා. “සචි.. මට සමාවෙන්න මැණික.. මට සමාවෙන්න..” ඔහු කෑගැහුවා. ඒත් ඒ කාමරේ ඇතුළේ තිබුණේ නිශ්ශබ්දතාවය විතරයි.
​ආදරේ කොච්චර තිබුණත්, අනවශ්‍ය සාම්ප්‍රදායික සැකය සහ එක මොහොතක විශ්වාසය බිඳ ගැනීම නිසා, මුළු ජීවිත කාලෙටම විඳවන්න වෙන වන්දියක් විතරක් දිනෙත්ට ඉතිරි වුණා. ඔවුන්ගේ ලස්සන මධුසමය, ඔවුන්ගේ ලස්සන ජීවිතය සදහටම බොඳ වෙලා ගියා.

​-අවසානයි

🎥 මේ කතාවට අදාළ වීඩියෝව මෙතනින් බලන්න:


Leave a Comment

error: Content is protected !!
Exit mobile version